පෝද්දල සරත් ආනන්ද ගමගේ



දේශීය කෑම වර්ගවලට ආදරය කරන පුද්ගලයකු වැල් අල වර්ගයක් මිලට ගෙන නිවසට ගෙනැවිත් ඒවා පිළියෙල කරගන්නට ගොස් සිදුවූ අකරතැබ්බයක් ගැන දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි.
හෙතෙම ගුරු වෘත්තියේ යෙදෙන්නෙකි. ඒ අතරේම ටියුෂන් ද කරන නිසා අතමිටද සරු අයෙකි. විෂය හෙළ බසය. ඔහුගේ සියලු‍ වැඩ හෙළ සිරිතට අනුවය. ඒ නිසා ඔහුගේ ආහාරය සඳහා බොහෝ විට තෝරා ගත්තේද දෙශීය කෑම වර්ගය. එවැනි කෑමක් මගතොටදී දුටුවහොත් ඔහු අනිවාර්යයෙන්ම එය මිලට ගනී.
දුරුතු මස යනු අල වර්ග ගලවන කාලයයි. ඒ හේතුවෙන් මේ දිනවල දකුණේ බොහෝ ප්‍රදේශවල වැල් අල වර්ග ගලවා අලෙවියට තබා තිබෙනු දැකිය හැක. මාර්ගය අසල තිබෙන නිවෙස් ඉදිරිපිටද එසේ ගැලවූ අල වර්ග අලෙවියට තබා තිබේ. 


මෙසේ නිවසක් ඉදිරිපිට ගොඩගසා තිබුණු අතක ඇඟිලි මෙන් දිස්වෙන වැල් අල ගොඩක් දකින අපේ හෙළ බස් ගුරුවරයා ඉන් කිලෝ දෙක තුනක් මිලට ගත්තේ වේල් තුන හතරක්ම කෑමේ බලාපොරොත්තුවෙනි.
මෙම අල වර්ගය නිවසට ගෙනැවිත් දින දෙකක් ගතවුවද ඒවා තම්බා මේසෙට එවා තිබුණේ නැත. ඒ ගැන බිරිඳගෙන් විමසීමේදී ඇය පැවසුවේ ඔය අල සුද්ද කිරීමේදී අත කසන නිසා තමාට ඒවා සෑදීමට නොහැකි බවයි.
‘‘බම්බුව තමයි. ඔය අල වර්ගයට එහෙම අත කසන්න වෙන්නෙ නෑ. මං විකුණන කෙනාගෙන් අහල ගත්තේ”‍ යැයි ඔහු පිළිතුරු දුන්නේය. එවිට ඇය පැවසුවේ අසල්වැසි හිතවත් ගෙදරකට ඔය අල වර්ගය ගෙනැවිත් ඒවා සුද්ද කරන්නට ගොස් ඒ නිවැසි කාන්තාවගේ අත් කැසීමට ලක්වූ බවයි.
‘‘අනේ ඒ ගොං ගෑනුන්ගෙ කතා අපට වැඩක් නෑ. හරි මං ඔහේට අල ටික සුද්ද කරල දෙන්නම්”‍ යැයි කියමින් ඔහුම අල සුද්ද කරන රාජකාරිය බාර ගත්තේය. ‘‘හරි සුද්ද කරල හෝදල දෙනවා නම් මම තම්බලා දෙන්නම්”‍ යැයි කියමින් ඇය ඊට අනුමැතිය දුන්නාය.
ඒ අනුව අල සුද්ද කිරීමේ වගකීම බාර ගත් ගුරුවරයා ඒවා සුද්ද කරන්නට පටන් ගත්තේය. ඒවා සුද්ද කරනවිට යම් නානු වැනි ලාටු ගතියක් තිබුණද අල ගොඩ සුද්ද කළද ඔහුගේ අතේ කිසිම කැසිල්ලක් නම් ඇති නොවීය. අනතුරුව ඔහු සුද්ද කළ අලටික සෝදා පිරිසිදු කර බිරිඳට දුන්නේ ‘‘දැන් ඉතිං ඔයාට තියෙන්නෙ තම්බන්න විතරයි”‍ කියාය.
ගතවූයේ සුළු මොහොතකි. ඔහුගේ පිටි අල්ලේ යම් කැසීමක් ඇති විය. එක අතකින් පටන්ගත් කැසිල්ල තවත් ටික වේලාවකින් අත් දෙකටම පැතිරී ගිය අතර එකවිට අත් දෙකම කසන්නට නොහැකි නිසා නිවසේ උලු‍වස්සක අත් දෙකම අතුල්ලමින් ඔහු යම් සහනයක් පැතීය.
අල සේදූ වතුර ගෑවුණු සෑම තැනැකම මේ කැසිල්ල පැතිරී තිබුණි. මේ කැසිල්ල නිසා දැඩි පීඩාවට පත්වී සිටි ඔහු පසුව අසල්වැසියකු විසින් ත්‍රීරෝද රථයකින් වෙද ගෙදරකට ගෙන ගොස් යම් තෙල් වර්ගයක් ආලේප කිරීමෙන් පසු සහනයක් ලැබී ඇත.
මේ සිද්ධිය දැන් ගම පුරාම ආරංචි වී ඇති අතර ඔහු දන් වැල් අල නොව අර්තාපල් අල දිහාවත් බලන්නේ නැතැයි තතු දත්තෝ පවසති.