හිඟු‍රාණ නවරත්න සමරතුංග 



අමුතු දොස්තර කෙනකු කළ විහිළුවක් හේතුවෙන් බාහිර රෝගී අංශයේ ගෙබිම හත්වතාවක් සෝදා පවිත්‍ර කිරීමට එහි කාර්ය මණ්ඩලයට සිදුවූ පුවතක් අම්පාර ප්‍රදේශයේ ප්‍රාදේශීය රෝහලකින් වාර්තාවේ. 
සිද්ධිය මෙසේය.
එම රෝහලේ වසර ගණනාවක් සේවය කරන මෙම වෛද්‍යවරයා එහි පවිත්‍රතාවය ගැන සැලකිලිමත්වූ අයකු වන අතර, ඔහු කාර්ය මණ්ඩලය සමග සුහදව කටයුතු කළේය. ඒ අතර ගජ මිතුරන් කීප දෙනෙකු සිටින බව කියති. 
පසුගිය දිනවල රෝහල් පරිසරය හා වාට්ටුවල බිම සේදීම ඇතුළු පවිත්‍ර කටයුතු රෝහල් කාර්ය මණ්ඩලය විසින්ම සිදුකරනු ලබයි. ඒ අනුව එහි බාහිර රෝගී අංශයේ බිම සෝදා පවිත්‍ර කිරීමට පියවර ගෙන තිබුණු අතර, කාර්ය මණ්ඩලය හත් අට දෙනෙක් එම කාර්යයේ නිරතව සිටියහ. 
බිම සේදීම සඳහා පිටතින් ඇති කරාමයකට පයිප්ප බටයක් සවිකර වතුර ඇතුළට ගෙන තිබිණි. 
වෙනත් දිනවල මෙම ගෙබිම සෝදන ආකාරයට මෙදින බටය යොදා වතුර දමා කරාමය වසා දැමූ නමුත්, සුළු කාලයකින් නැවත ගෙබිම වතුරින් පිරී ගොස් තිබිණ. 
තුන් හතර වතාවක්ම වතුර කරාමය වසා තැබුවත් ටික වේලාවකින් නැවත ගෙබිමට වතුර ඇවිත් තිබෙනු දුටු සේවකයෝ පුදුම වූහ. ‘‘හරි වැඩේනේ අද මේ ඕ.පී.ඩී. එක හෝදනවා හෝදනවා ඉවරයක් නැහැ ආයෙමත් වතුර පිරෙනවා’’ යයි ඔවුහු ඒගැන කතිකා කළහ. 
කීප වාරයක් කරාමය පරීක්ෂා කර බැලු‍වත් එය වසා තිබිණි. 


 මේ අතර එක් සේවකයකු ජනේලයකට මුවාවී කරාමය දෙස බලාගෙන සිටිද්දී පිටත සිටි එහි වෛද්‍යවරයා වටපිට බලා හෙමින් සීරුවේ පැමිණ කරාමය විවෘත කර තබා මඳ වෙලාවකට පසු එය නැවත වසා එතනින් යන ආකාරය දක්නට ලැබිණි. 
සිද්ධිය දුටු සේවකයා මේ බව අනෙක් සේවකයින්ට පැවසීය. එවිට සේවකයෝ කීපදෙනෙක්ම වෛද්‍යවරයා වෙත ගොස් ‘‘අපි දැක්කා සර් සැරින් සැරේ කරාමය අරිනවා. අපි හත් වතාවක් වතුර පිසදැමුවා”‍ යැයි කීහ. 
‘‘ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන හරියට ක්‍රියාත්මක වෙන්න ඕනෑ නිසයි මම හතර පස් වතාවක්ම ඕ.පී.ඩී. එක හෝදන්න තීරණය කළේ’’ යැයි එවිට වෛද්‍යවරයා ගානට නොගෙන පැවසුවේය. 
‘‘නියමයි සර්! අමුතුම දොස්තර මහත්තයෙක්”‍ යැයි කියා සේවකයෝ සිනාසෙමින් විසිර ගියහ.