අන්නාසි හොරෙකුට වූ සිද්ධියක් ගැන වාර්තා වෙන්නේ කුරුණෑගල පැත්තෙ ගමකින්. කුලී වැඩ කරමින් දිවි ගෙවන මොහු සොරකමට ද පුරුදු වූ අයෙකි. ගමේ ඉස්කෝල මහත්තයගෙ අන්නාසි වගාව අක්කර බාගයක් පමණ විය.
වගාවට හොඳට සාත්තු කරන පුද්ගලයාට මේ වගාව ඇස ගැටුණ නිසා සොරකම් කිරීමේ සිතක් පහළ විය.
මෙසේ දින කිපයක්ම රෑ යාමේ සොරකමේ යෙදුනත් හොරා අල්ලා ගැනීමට නොහැකි විය. තමා මහන්සි වී රැකගත් වගාව සොරකම් කිරීම නිසා කම්පාවට පත් වූ ඉස්කෝල මහත්තයා මෙය ඌරන් ඉත්තෑවන් විසින් සිදුකරන දෙයක් යැයි සිතා ගත්තේය.
අන්නාසි හොරා ගනු දෙනු කරන කුඩා ආපන ශාලාවක් ගමේ ඇත. එහි මුදලාලි ඔහුගේ මිතුරෙකු විය. දිනෙක සවස් කාලයේ කඩේට ඇතුළු වී මුදලාලි සමග කැෂියර් මේසය ළඟටම වී කතා කරමින් සිටියේය. ඉස්කෝල මහත්තය ද කඩේට ඇතුළු වූයේ හෙල්මට් එකක්ද හිස රඳවා ගෙනය. මේ නිසා හොරාට ඔහු හඳුනා ගැනීමට නොහැකි වූ අතර කතාව නිසා ඒ ගැන හැඟීමක් ද නොවීය.
මොකද බං උඹ දවස් කීපයක්ම ආවෙ නැත්තෙ ෂොට් එකක් ගහන්න? මම බල බලමයි හිටියෙ. ඒ වගේද මුදලාලි මට හොඳ චාන්ස් එකක් ලැබුණනෙ. කාටවත් කියන්න එපා අපේ ඉස්කෝල මහත්තයාගෙ අන්නාසි කොටුවට ගිහින් ගෙඩි ගෝනියක් විතර ගේනවනෙ. අහුනොවෙන්නයි මම වැඩේ දෙන්නෙ.
මේ කතාව ඇතුළේ තේ බොමින් හිටිය ඉස්කෝල මහත්තයට ඇසුණා. හා හා ඒකත් එහෙමද යාළුව. මමත් බල බල හිටියේ අන්නාසි හොරා අල්ල ගන්න තමයි. මම හිතාගෙන හිටියෙ ඌරො ඉත්තෑවො කියලා. අද අහුවුුණා මහ ඌර. ඉස්කෝල මහත්තයා කාටත් ඇසෙන්න කියන විට හොරාට හීන්දාඩිය දාන්න වුණා.
අනේ මහත්තයො මම ඔබ තුමාට ලොකු වැරැද්දක් කළා තමයි. මින් පස්සේ මේවගේ පල් වැඩ මම කරන්නෙ නෑ. අනේ බුදු මහත්තයො පොලිසි යන්න එපා. මහත්තයා ළඟ ඔහු වැඳ වැටෙන්නට විය.
මේවට තමයි ඉස්කෝල මහත්තයො ‘‘අන්නාසි හොරා කටින් දැනේ’’ කියන්නෙ. මුදලාලි කතාවක් එකතු කළා.
නිකදළුපොත කරුණාදාස සපුතන්ති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd