ආරාධනයකින් තොරව මඟුල් ගෙවල්වලින් කෑම කන්නට පුරුදුවී සිටි අයකුට අතේ තිබූ ඔරලෝසුව ඇපයට තබා බේරී යෑමට සිදුවූ පුවතක්, නගරයේ නිවාඩු නිකේතනයකින් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
ඔහු කටට රසට ආහාර වේලක රස විඳීමට මහත් ගිජුකමක් දක්වන අයෙකි. ඒ සඳහා ඔහු තෝරාගෙන ඇත්තේ අනුන්ගේ මඟුල් ගෙවල්ය.
නිවාඩු නිකේතනවල මංගල උත්සව ඔහුට හොඳට හුරු පුරුදුය. ජැන්ඩියට ඇඳ පැළඳ ගෙන ආරාධිතයෙක්සේ උත්සව ශාලාවට පිවිසෙන ඔහු හොඳට කා බී හිමින් සීරුවේ පිටවී යයි.
එදින ඔහුට නගරයේ මංගල උත්සවයක ඉව දැනිණ. පුරුදු පරිදි සූදානම් වී ආරාධිතයෙක් ලෙස එහි ගොස් ඇත. මධුවිත සංග‍්‍රහ කළ ස්ථානයට ගොස් රිසි සේ සප්පායම්වී තිබේ. කෑමට ආරාධනා ලැබ යන අය අතරට එක්වී බඩකට පුරවා ගත් පසු හිමින් සීරුවේ මාරුවී යෑමට සූදානම් විය.
මොහු ගැන හොඳින් දන්නා එහි සිටි කීප දෙනෙක් ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමේදී සියල්ල හෙළිවිය. ආයතනයේ කළමනාකරුට භාරදුන් ඔහුට රුපියල් 2000 ක බිලක් ගෙවීමට නියම විය. අතේ තිබූ ඔරලෝසුව ඇපයට තබා බේරී ගියේ තවත් කිසි දිනක නොඑන පොරොන්දුව පිටලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වැඩෙත් මරු බලන් යද්දී. (අ)
ඔන්න බොලේ නගෙරේ උත්සව වල කෙරුවාව .අපේ ගමවල නම් අරාධනා ඕනේ නැහැ .එනේ ඕනේ කෙනෙකුට කන්න බොන්න ඕනේ තරම් දෙනවා කොච්චර දුප්පත් වුණත්.බටහිර ආරට ගිය මගුලක් තමා (අ)
මමත් මගේ පුතාගේ මංගල්‍යය ගත්තේ හෝටලේ. හරියට අනුන්ගේ මඟුල් ගෙදරක ගිහින් ආවා වගේ, කිසි ගතියක් නැහැ. මම රෑ ගෙදර ඉන්න අයට කෑම 50ක් වැඩිපුර ඕඩර් කළේ මහන්සිවෙලා ආයෙත් ගෙදර උයන්නත් බැරි නිසා.නමුත් මඟුල් ගෙදර වැඩිපුර කෑම වලින් කෑම 5යි ලැබුනේ. ඉතින් මේ එක මනුස්සයෙක් ඇවිල්ලා කෑම එකක් කෑවම මොනවා වෙනවද...? (නි)
හොරෙන් කෑ කෙනා කළ දේ බොහොම වැරදියි. ඒත් මේ අදහස් දැක්වූ ඒවා දැක්කම හිතෙනවා මිනිස්සු මොනතරම් ආත්මාර්ථකාමීද කියලා. (නි)
ලැජ්ජා නැතිකම නේද (අ)
නැවක ඉන්න ඕනෑ නැහැ,පහුරක ඉඳගෙන වුණත් කෙනෙකුට උදව් කරන්න පුළුවන් නම් එයා දිනපු කෙනෙක්. අපේ රට එහෙම මිනිසුන්ගෙන් ඉතිරිලා තිබුන රටක්. ඒත් පුවත්පතේ කියැවෙන හාදයා හරි කියලා නම් මම කියන්නේ නැහැ.රටේ මිනිසුන්ගේ ඇතිවෙලා තියෙන පිරිහීම ගැන කණගාටු හිතුනා (නි)
ජයනි ,අපි අපේ විවාහ උත්සවයට එන අයට මදි නොකියන්න කන්න බොන්න දෙමු . (නි)
ජයනි කියපු වෙඩින් කේක් වලට වුණ වැඩේ නම් අපේ අයියාගේ හෝම් කමින් එකේදී සිද්ධ වුණා. ටිකක් පහුවෙලා ආ කාර්යාලයේ කට්ටියට දෙන්න කේක් ඉතිරි වුණේ නැහැ. (නි)
සාලිය, ඔයා ඉන්නේ නැවකද....? (නි)
සාලිය ඉන්නේ පළවැනි පරාක්‍රමබාහුගේ යුගයේද කොහෙද? මේ එදා වේලා හම්බ කරගන්න බැරුව ඉන්දැද්දී මිනිස්සු මඟුල් ගෙවල් ගන්නේ නොකර බැරි නිසා. එහෙම එකේ හොරෙන් කන අයටත් එක්ක කෑම ඕඩර් කරන්න කියලද කියන්නේ. (නි)
හොඳ වැඩේ (නි)
අසරණයෙකුට ගෙදර උයන දෙයකින් කෑම ටිකක් දෙනවා වගේද මඟුල් උත්සවයක ගිනි ගානට වියදම් කරලා සූදානම් කළ හෝටල් කෑම දෙන එක. අද කාලයේ පින් අතේ වැඩ කරන්නත් පුළුවන් තමන්ගේ ආර්ථිකයේ හැටියටනේ. එහෙම නැතුව මිනිස්සු ලෝබ නැහැ. (නි)
සාලියට දෙවියන්ගේ පිහිටෙන් තවම ආර්ථික අහේනියක් නැතුව ඇති. නැත්නම් පිටරට ඉන්න කෙනක්වද්ද? අපේ ගෙදර මේ දවස් වල තව පවුලක් වැටිලා ඉන්නවා. නෝනාගේ නංගි කෙනෙක්. මට තමයි යුතුකම ගැන හිතලා හරි ඒ අයවත් නඩත්තු කරන්න වෙලා තියෙන්නේ. ඉතින් හිතන්න මම වගේ මාස් පඩිකාරයෙකුට හෝටල් කෑම වේලක් මේ වගේ තත්වයක් යටතේ දන් දෙන්න පුලුවන්ද කියලා. (නි)
ඉස්සර සිංහල ජන සමාජයේ මම අසා ඇති හැටියට කුස්සිය පැත්තෙන් හෝ වැදගත් විදියට ගිහින් කෑමට යමක් ඉල්ලගෙන කනවා. නැතත් ගෙදර ගෘහිනිය අවශ්‍යතාව තේරුම් අරගෙන තේ ටිකක් හරි දෙනවා. ඒත් මෙහෙම හොරෙන් ගිහින් හට්ටි වළං වල තිබුන කෑම කෑවා කියලා නම් මම අහලා නැහැ. (නි)
සාලියට තාම ආර්ථික ප්‍රශ්න වල මුහුණ දෙන්න වෙලා නැතුව ඇති. ගෙදර උයපු දෙයක් නම් කන්න දෙයක් ඉල්ලූ කෙනෙකුට දෙනවා. කාටද අනේ කෑම ඕනෑ කියන කෙනාට ෆයිව් ස්ටාර් කෑම දෙන්න පුළුවන් ? පුවතේ සඳහන් කෙනාට ඇයි ගෙවල් වලින් කෑම ඉල්ලා ගන්න බැරි ? එයාට තියෙන්නේ මුලික අවශ්‍යතාවක් නෙමෙයි. සුඛෝපභෝගී අවශ්‍යතාවක්. (නි)
මේ දේවල් ලංකාවේ පමණක් නොවේ, ඉතාලියේද සිදුවෙනවා. කෑමකට හෝ දානෙකට අරාධනා කළොත් ලංකාවේ අය කරන්නේ හොඳට කාලා 'අපරාදේ කෑම නාස්ති වෙනවා කියා' පොරකමින් දානෙන් පසු ඉතිරිවන කෑම ටික ඔතාගෙන ගෙවල් වලට ගෙනියන එක. (නි)
ඔච්චර මඟුලට වියදම් කළ එකේ ඒ මිනිහ හොරෙන් බත් ටිකක් කෑවා කියල පාඩුවක් වෙන්නේ නැහැනේ. මිනිහට අවවාද කරලා මේ වගේ දේවල් ඉදිරියට කරන්න එපා කිවුවා නම් නේද හරි. (නි)
ඇයි ණය වෙලා මඟුල් කන්නේ? ලෝකෙට පේන්නද? තියෙන විදිහට කළා නම් ඉවරනේ (නි)
මනුස්සයෙකුට කෑම වේලක් දුන්නම මොනවා වෙනවද ...? (නි)
ආශාවට එක පාරක් කෑවාට කමක් නැහැ කියමුකෝ. ඒත් මේ කෙනා පුරුද්දකට මඟුල් ගෙවල් වලින් හොරෙන් කනවාද දන්නෙත් නැහැනේ. ඒක හොඳ දෙයක්ද? (නි)
මේ පුද්ගලයා මෙහෙම පුරුද්දකට හොරෙන් හෝටල් කෑම කෑවා නම් දැන් හොඳ ගානට ඇඟේ කොලෙස්ටරෝල් ඇති. පසු කලක වපුරපු දේවල් නෙලා ගනීවි. (නි)
ලැජ්ජා නැති වැඩ කරනවාට හොඳ වැඩේ (නි)
අපේ අක්කාගේ විවාහ උත්සවයේ එයාගේ කාර්යාල හිතවතුන් ආවේ කෑම වෙලාව ටිකක් ප්‍රමාදවෙලා. හිටිගමන් සංග්‍රහ කටයුතු භාරව හිටි නැන්දා කෙනෙක් දුවගෙන විත් කිව්වා ඔෆිස් එකේ ආපු හතර දෙනෙකුට කෑම නැහැ, ඕඩර් කළ පිගන් ඔක්කොම ඉවරයි කියලා. අපි එවෙලේම කිව්වා වැඩිපුර ගෙවන්නම් කොහොමහරි ආ ආරාධිතයන්ට සංග්‍රහ කරන්න ඕනෑ කියලා. පසුව ආරංචි වුණා ඒ හෝටලයේ පැවති වෙන උත්සවයකදී හොරෙන් කාපු රංචුවක්ම අල්ලාගෙන කියලා. අපේ කෑම පිඟන් වලට වෙන්න ඇත්තෙත් ඒ ටිකම තමයි. (නි)
අද කාලයේ මිනිස්සු මඟුල් ගෙදරකට වියදම් කරන්නේ පුළුවන්කමකට නෙමෙයි. අපේ අක්කාගේ උත්සවයේදී වෙඩින් කේක් දෙවැනි පාරට අල්ලන්න බලනකොට ඉතිරි කේක් දාපු කාඩ්බෝඩ් පෙට්ටි පිටින් කවුද උස්සලා. වේටර් කෙනෙක් දැක්කලු ජැන්ඩි පහට ඇඳගත්ත නෝනලා දෙන්නෙක් පෙට්ටි වගයක් අරගෙන යනවා. (නි)
අනුන්ගේ මගුල ගෙවල් වලට අනාරාධිතව ගිහින් කන බොන උදවිය ගැන කියද්දී මට හොඳ සිද්ධියක් මතක් වුනා. මීට කලකට පෙර එක්තරා මංගල උත්සව සඳහා ප්‍රසිද්ධ හෝටලයක කජු සහ ග්‍රීන් පීස් ව්‍යංජනය නරක වෙලා එහිපැවැතු වූ විවාහ උත්සව තුනක කෑම කාපු අයට බඩේ අමාරුව ඇවිත් එකම ජංජාලයක් වුනා. මිනිස්සු වැසිකිලි සොයමින් ඇඳපු සුට් බුට් ඇඳුම් අතේ අරගෙන හතර අතේ දිව්වා කියල ආරංචි වුනා. හෝටලයේ ඔක්කොම වැසිකිලි පිරිලා නිසා .එහෙම තැනකට මේ හොරෙන් කන අයව සෙට් වුනා නම් හරි. (අ)
මෙහෙම එක්කෙනෙක් නෙමෙයි නඩයක්ම අහුවුණා අපේ නැන්දාගේ දුවගේ විවාහ උත්සවයට ඇවිල්ලා (නි)
අපේ ඥාති අක්කාගේ මගුල් ගෙදරටත් ඔහොම ඇවිල්ලා දෙපාර්ශවයටම අනෙක් පැත්තේ යාළුවො නෑදැයෝ කියා බොරු කියලා කාපු බීපු හතර දෙනෙක් අල්ලා ගත්තා. අවවාද කරලා යැව්වා. (නි)
පාලිත,තව ටික දවසකින් ඔයාගේ ප්‍රශ්නය ඉවරවෙයි කියලා මට හිතෙනවා. (නි)
දැන් කාලේ විවාහ උත්සවයක් ගන්න එක ලේසි නැහැ. අනෙත් මොනවා නොතිබුනත් කෑම ටික හරියට නොතිබුනොත් ඉවරයි. හැමෝගෙන්ම දොස් අහන්න වෙනවා. අපි උනත් මගුල් ගෙදරකට යන්නේ හොඳට කටට රහට කන්න බලාගෙන නේ. (නදී)
ඔයින් බේරුනා ඇති. (නි)
රුපියල් 2000 කින් බේරුනා ඇති. අත් ඔරලෝසුව 2000 ක් වටිනවද දන්නේ නැහැ. රුපියල් 150 කට ගත්ත එකක් නම් මිනිහට සෑහෙන්න ලාබයි. (නදී)
අනේ! අපිට නම් ලැබෙන මාස් පඩියෙන් පන්සලේ සලාක දානය, මඟතොට හමුවෙන යදින්නන්ට කාසි ටිකක් සහ කාර්යාලයේ ගැබිණි කතකට ඉඳහිට රැගෙන යන කැමති ආහාරයක් ඇරෙන්න මේ දවස් වල හෝටල් කෑම වලින් දාන දෙන්න නම් හයියක් නැහැ. (නි)
මම කියන්නේ වෙනත් දෙයක්. සමහරු ඉන්නවා තමන්ගේ අවශ්‍යතා ඉෂ්ඨ කරගන්න මහන්සි වෙන්න කැමති නැහැ. නිතරම හිතන්නේ තමන්ගේ ආශාවල් ඉෂ්ඨ කරන්න ඕන අනිත් උදවිය කියලා. මම බොහොම සුළු තැනින් ජීවිතය පටන් ගත්ත කෙනෙක්. එ්ත් මම සමාජය ට දොස් කිය කියා නිකම් හිටියේ නැහැ. මට රසවත් ආහාර ඕන වුනාම මම පඩියෙන් සල්ලි ටික ටික එකතු කරලා ඒවා අරගෙන රස වින්දා. ඇයි මම හිතන්නේ අනිත් උදවිය ඉපදිලා ඉන්නේ මට ඒවා සපයන්න කියලා. (නදී)
කිංස්ලි - එයාව ගෙනල්ල ඔයාලගේ ගෙදර නවත්තගන්න. (අ)
සාලිය , අද කාලයේ දන් පින් කර ගන්නත් පුළුවන් වෙන්නේ තම තමන්ගේ ආර්ථික තත්ත්වය අනුව තමයි. මම හිතන්නේ නැහැ මෙතන ලියන උදවිය ලෝබ කුණාලා කියලා. පුරුද්දට වඩා තණ්හාවට ගිජු කමට කෑම හොරකම් කරන කෙනෙක් සම්බන්ධව ඉතින් කා තුලත් පැහැදීමක් ඇති වෙන්නේ නැහැනේ. ඔබත් මේ ගැන හිත රිදවා ගන්න එපා. (නදී)
දුන්නොත් දානේ, ලැබෙයි නිධානේ...!! (නි)
දීලා කන්නත් සංසාර පුරුද්දක් තියෙන්න ඕනෑ. (නි)
ඉස්සර කාලේ හිටපු නරියෙකුටත් මෙහෙම කෙලියක් උනා කියල මම අහල තියෙනවා (නදී)
වැඩේ පුරුද්දකට කරන එක නම් ඉතා වැරදියි. මගුල් උත්සවයකට කර ගහපු කෙනෙක් තමයි අද කාලේ ඒ වෙනුවෙන් යන වියදම දන්නේ. යන්තම් කන්න බොන්න දෙන්නත් බැහැ. වියදම් අඩුම උත්සව ශාලාවක ගත්තත් තුන් දාහකට එහා කෑම පිගානක් . අපේ බාල නංගිගේ මගුලට ගත්ත ණය මම තාම ගෙවනවා. (ස)
අනේ අපොයි සිංහල ජන සමාජයද මේ? කාපු කෙනත් - අදහස් දක්වපු අයත් එකම බෝට්ටුවේ නේද ? (අ)
පිනට කන්න ගියාම ඔහොම තමා වෙන්නේ. (ස)
මම දැකලා තිබෙනවා මගුල් උත්සව වලට එන ආරාධිතයනුත් ගෙවල් වල ඉන්න අනාරාධිතයන් එක්ක එනවා. අද දුව තනියම ගෙදර තියල එන්න බැරි නිසා එයාවත් එක්ක ආවා. පුතාටත් එන්න ඕන කියල අඬපු නිසා එයාවත් එක්ක ආවා. ආදී වශයෙන්. උත්සවය සංවිධානය කල උදවිය ඉතා අමාරුවෙන් ආරධිත සංඛ්‍යාව තීරණය කර ඒ අනුව කෑමට පිඟන් ගානට වියදම බජට් කර අද කාලයේ හැටියට අමාරුවෙන් මගුල් ගෙයක් ගන්නවා නේද කියල හිතන්නේ නැහැ. සමහරු වෙඩින් කේක් අල්ලනකොට තව තුන හතරක් ගන්නවා ගෙදර අයට කියලා. අන්තිමේ බලනකොට ටිකක් පරක්කු වෙලා ආපු අයට දෙන්න වෙඩින් කේක් නැහැ. මම මේ ලිව්වේ අපේ නෑදෑයන්ගේ විවාහ උත්සව වල අත් දැකීමෙන්. (අ)
කාපුවා වමාරන්ට පාඩමක් ඉගෙනගත්තා නම් ඇති (නදී)
ආ..........එහෙමත් වෙනවද? (නි)
පව් ඉතින් රටේ වෙන දේවල් වල හැටියට මේ වගේ අහිංසක හොරකමක් ගැන මොනවට හොයනවද? (නදී)
කටවල් වල පම්පෝරිය නම් තියනවා. ඒත් ඔක්කොම එකම බෝට්ටුවේ තමයි. (නි)
බලාගෙන ගියාම අපේ රටේ වැඩිදෙනෙක් මහා පෙරේතයෝනේ. පිනට කන්නයි බොන්නයි තියනවා නම් වෙන මුකුත් ඕනෑ නැහැ. නිකම් ඉඳගෙන අනුන්ගේ දේවල් සුරාගෙන කන්නම තමයි බලන්නේ. (නි)
අද කාලෙ මංගල උත්සවයක් ගන්නෙ කොච්චර අමාරුවෙන්ද? නෑදෑයින්ට වුණත් ආරාධනා කරන්නේ කිරලා මැනලා. වැඩිපුර කෑම වලට වැඩිපුර ගෙවන්න ඕනෑ. (නි)
වැඩේ නම් වැරදියි. එත් ඉතින් කීමට දානයක් දුන්න කියල හිතාගන්නකෝ, මේවා අහිංසක වැරදි. (ස)
නියමයි! (නි)