කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
ඇහිලූ ජංගම දුරකතනය ලබාදී අඩියක් ගසා රත්වීමට සිහින මැවූ අයකුට සිය කන් අඩිය පමණක් රත් කරගන්නට සිදුවූ අපූරු පුවතක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ.
නගරයේ වාණිජ බැංකුවක් අසල බිම වැටී තිබුණු වටිනා ජංගම දුරකතනයක් ඔහු අසුලා ගත්තේය. තමා වටිනා ජංගම දුරකතනයක් අහුලා ගත් බව ඔහු එසැණින්ම වාගේ මිතුරකුට පෙන්වා කීවේය.
“මේක මාර වටින ජංගම දුරකතනයක්. අයිති එක්කෙනාට මේක නම් නිකන් දෙන්න හොඳ නැහැ. මේ ජංගම දුරකතනය දෙන්න නම් හවසට අඩියක් පුඩියක් ගහන්න ගානක් ඉල්ලගමු” යැයි මිතුරා ඔහුට කීවේය.
“හැබෑනේ ඒකනම් යස අදහස. මේ දවස්වල හවසට හවසට වහින හින්ද අද හවසට ඇඟ රත්කර ගන්න කීයක් හරි ඉල්ලගමු” යැයි කියමින් ඔහු ද ඒ අදහස අනුමත කළේය.
ගතවූවේ ටික වේලාවකි. අහුලාගත් ජංගම දුරකතනයට ඇමතුමක්ය. සම්බන්ධ වූයේ ඔහුය. ඇමතුම දුරකතනය හිමි ළඳගෙනි. ‘ඔය මගේ ජංගම දුරකතනය, මට ඒක දෙන්න පුළුවන්දැ’ යි ළඳ ඇසුවාය. “හපොයි දෙන්න පුළුවන්. මේක මම ඇහින්දේ බැංකුව ළඟ තිබිලා... ඉතින් අපට මොනවා හරි කරන්න ඕනෑ” ඔහු කීවේය. “ඔයාට කීයක් විතර ඕනැ ද..?” ඇය ඇසුවාය. බෝතලය සහ බයිට් එකට යන ගණන් සංසදනය කළ ඔහු ඒ සදහා රුපියල් තුන් දහසක මිලක් නියම කළේය.
“අයියෝ තුන්දහසට පන්දාහක් දෙන්නම්. කොතනද ඔයා ඉන්නේ...?” ඇය යාප්පුවෙන් ඔහුගෙන් ඇසුවාය. ඉන්න තැන ඇය අසා ගත්තාය. ඔහුත් මිතුරාත් දැන් ඉන්නේ ජංගම දුරකතනය අයිති කාන්තාවගෙන් ලැබෙන මුදලින් අඩියක් පුඩියක් ගසා හවසට ඇඟ රත් කර ගැනීමේ සිහින මව මවමිනි.
අපේක්ෂාවෙන් සිටියේ ළඳකි. එහෙත් ඔහු දුන් තොරතුරු ඔස්සේ එතැනට ආවේ අඩියක් ගසා සිටි හැඩි දැඩි තරුණයෙකි. “මගේ නෝනගේ ජංගම දුරකතනය තමයි ඔයා අහුලලා තියෙන්නේ... ඒක මට දෙන්න” තරුණයා ඉල්ලීය. “මල්ලී එහෙම නිකම්ම කරන්න බැහැනේ ....අපට ඉතින් තුන්දාහක්වත් දෙන්න. අපිත් ඉතින් කනබොන මිනිස්සුනේ...” කියමින් ඔහු තරුණයාගෙන් මුදල් ඉල්ලීය.
“හරි.. හරි.. සල්ලි දෙන්නම්... ඉස්සරවෙලා දුරකතනය දෙන්න...” තරුණයා ඔහුගෙන් ඉල්ලීය. ඒ අනුව ඔහු අහුලාගත් ජංගම දුරකතනය තරුණයා අත තැබීය. ජංගම දුරකතනය අතට ගත් තරුණයා එතැනින් යෑමට සූදානම් වූවේය.
තරුණයාගෙන් ඔහු යළිත් මුදල් ඉල්ලුවේය. තරුණයාට මල පැන්නේය. ඒ සම්බන්ධයෙන් ඇතිවූ පොඩි කතා බහකින් අනතුරුව තරුණයා අඩියක් ගැසීමට සිටීමට සිටි ඔහුගේ කන් අඩිය අත ගෑවේ උතුර දකුණ මාරු වන්නටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd