මත්පැන් භාවිතකර අසැබි වදන් කියමින් අන් අයට හිරිහැර වන අයුරින්  හැසිරුණු පුද්ගලයකුට ගමේ තරුණ පිරිස එකතුවී අමතක නොවන පාඩමක් ඉගැන් වූ පුවතක් මාතර දිසාවෙන් වාර්තා වෙයි.
දරුවන් තිදෙනකුගේ පියකු වූ ඔහුට  ස්ථිර ආදායම් මාර්ගයක් නොතිබු අතර කුලී වැඩක යෙදී ලැබෙන මුදලින්  සවස් වන විට මත් වතුර තොල ගෑම ඔහුගේ සිරිත විය. මෙම බේබදුකම හේතුවෙන් ගේ දොර අවශ්‍යතා සපුරා ගැනීම ද ඔහුගේ බිරිඳට මහත් ගැටලුවක් විය. දිනපතා ඇඳිරි වැටීගෙන එන විට මත් වතුරෙන් හොඳහැටි සප්පායම් වී ගීතයක කොටසක් ශබ්ද නගා කියවමින් ඇඳසිටි සරමද තම දණහිසටත් වඩා ඉහළට උස්සාගෙන ගමන් කිරීම ඔහුගේ පුරුද්ද විය. මෙය පාරේ ගමන්කරන අයට මෙන්ම අවට නිවැසියන්ටද මහත් කරදරකාරී විය. මෙලෙස නොහැසිරෙන ලෙසට ඔහුට කොතෙකුත් අවවාද කළත් ඉන් කිසිදු ඵලක් නොවීය.


ඔහුගේ බිරියගේ දැඩි ඉල්ලීම මත මෙය නැවැත්වීම සඳහා කතිකා කරගත් ගමේ තරුණ පිරිස  දිනක් ඔහුගේ නිවසට යාමට ඇළ උඩින් දමා තිබූ ඒදණ්ඩෙහි දෙපස සකසා තිබූ අත්වැල ගලවා දමා අසල පිහිටි ගසකට මුවා වී බලා සිටියේ කුමක් වේදැයි සිතමිනි. එදිනද සුපුරුදු පරිදි මත් වතුරෙන් සප්පායම් වී ඔහු  සරමද ඉහළට ඔසවාගෙන බමන මතින් එතැනට පැමිණ ‘‘කවුද යකෝ මේකෙ අත්වැට ගලවලා දැම්මෙ. හිතුවද මට යන්න බැහැයි කියල. ඔන්න බලාගනියව් මම යන හැටි”‍ යනුවෙන් පවසමින්  ඔහු ඒදණ්ඩෙහි ගමන් කරන්නට විය. එහෙත් ඔහුට වැඩි දුරක් යාමට නොහැකි  විය. සිරුරෙහි සමබරතාවය ගිලිහී යාමෙන් කැරකී ගොස්  ඔහු දිය මතට ඇද වැටුණද ඔහුට හානියක් නොවුයේ දොළෙහි වැඩි ජලයක් නොතිබුණු  නිසාවෙනි.  එකෙනෙහිම දනිපනි ගසමින් දියෙන් ගොඩ ඒමට දඟලන ඔහු මත් බව නිසාම නැවත දිය මතට ඇද වැටුණි. මෙය දුටු තරුණ පිරිස වහාම ක්‍රියාත්මක වී දියට පැන ඔහුව ගොඩට රැගෙන  පවසා සිටියේ මාමේ මින් මතුවටවත් මත් වතුර බීම අත්හරින ලෙසයි.  
දැඩි වෙරි මතින් සිටි ඔහු තරුණ පිරිසට බැන වැදුනද පසුවදා සිට නරක පුරුදු අත්හැර තිබු අයුරු දැකගත හැකි විය.

කඹුරුපිටිය විශේෂ කේ. අජිත්.