IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අඹ යහළුවාට ඇටවූ කසාද තොණ්ඩුව බෙල්ලට වැටිලා

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.
ඔහු යුරෝපීය රටක රැකියාවට යන බව මේ අඹ යහළුවාට නොරහසක් විය. ඒ දෙන්නට දෙන්නා කල්යල් යැව්වේ එකට නිසාය. එක බත් පත දෙපැත්තෙන් කෑවේද එකට නිසාය. ඔහුගේ ගෘහය අනෙකාගේද  ගෘහයවූ නිසාය. ඒ විතරක්ම නොව ඔහුට එහිදී ලැබීමට නියමිත ලොකු වැටුප ගැනද මේ අඹයාට නොරහසක් වූවේය.
  මේ සමගම අඹ යහළුවා කඩිමුඩියේ සිය මිතුරාගේ කනේ තැබූවේ අපූරු අදහසකි. ඒ සිය මිතුරාගේ කල වයස හරි බැවින් ඔහුට කරකාරයක් කරදීම ගැනය. රට යන්න කලින් සුදුසු සහකාරියක සොයා දී විවාහය ලියාපදිංචිය පමණක් සිදු කිරීමේ යෝජනාවද ඔහුගෙන්ය. මේ මවුපියන්ද මේ යෝජනාව හිස මුදුනින්ම පිළිගත්හ.
  ඒ අනුව මිතුරාගේ හඳහන මවුපින්ගෙන් ඉල්ලාගත්තේ මිතුරාට ගැළපෙන තැනක් ගැන අඹයා දන්නා බව කියමිනි. මිතුරාටම ගැළපෙන මැස්සෙක්වත් වසා නැති චරිතවත් රූමත් කතක් හොඳ තැනක ඉන්නා බව කියමිනි. අඹ යහළුවා මේ කතගේ සහ මිතුරාගේ හඳහන් දෙක මිතුරාගේ මවුපියන්ට ගෙනත් දුන්නේ ඒවා තකට තක ගැළපෙන බව කියමිනි. ඒ සමගම ඇයගේ ඡායාරූපයක් ද මේ මවුපියන්ට පෙන්වූවේය.
   අඹ යහළුවා පෙන්වූ වාත්තු කළා වැනි ඇයගේ ඡායාරූපයට මිතුරා පමණක් නොව මවුපියන්ද එක පයින්ම කැමති වූහ. ඒ ඇයගේ රූප සොභාවත්, ගති ගුණත්, වාසනාව පිරි වතත් නිසාය. දෙපාර්ශ්වය මේ විවාහයට කැමති වූහ. ඔහුට විදෙස් ගතවීමට තිබුණේ තවත් දින කිහිපයකි. දෙපාර්ශ්වයේම එකඟතාව මත මේ විවාහය ලියාපදිංචි කිරීම පමණක් සිදුවිය.
ඔහු රට ගියේය. අඹ යහළුවාට තම භාර්යාව රැකබලා ගැනීමට අවසර ලබා දුන්නේය. ඒ අනුව ඔහු එවන මුදල්, ත්‍යාග සිය භාර්යාවට ලැබීමට ඔහු සැලැස්වූවේ අඹයා හරහාය.


කාලය කෙමින් ගෙවී යමින් තිබුණි. භාර්යාව විදෙස්ගතව සිටින  සැමියාට රසම රස ලෝකයක් මවා පෙන්නුවාය. විදෙස් රැකියාවෙන් නිවාඩුවට ගම රට ආ පසු ඔහුට සලකන විදිහ, යන ගමන් බිමන්, ගත කිරීමට යන සුන්දර ස්ථාන කියමින් ඇය නිතර නිතර දුරකතනයෙන් මල් කැඩුවාය. ඊට සමගාමීව ඇයට යුරෝපා රටින් එන තෑගිභෝග ද දෙගුණ තෙගුණ විය.
භාර්යාව අඹ යහළුවා සමග රෝන්දේ ගසන බව විදෙස්ගතව සිටි ඔහුගේ කනේ තැබුවේ වෙනත් මිතුරන්ය. ඒවා සනාථ කිරීම ඡායාරූප සහිතවය. සාක්ෂි සහිතවය. ඒ සම්බන්ධයෙන් කරුණු කාරණා සොයා බැලූ ඔහුට තම භාර්යාව අඹ යහළුවා සමග රෝන්දේ ගසන කතාව හරියට හරි බව සනාථ කර ගත්තේය.
ඒ විතරක්ම නොව තමාගේ හඳහනට ඇයගේ හඳහන සකසා ඇති බවද සහතික කර ගත්තේය. ඔහුත් ඇයත් මීට පෙර පෙම්වතුන් ලෙසද කාලය ගතකොට ඇති බවද ඔහු ප්‍රත්‍යක්ෂ කර ගත්තේය.
අඹ යහළුවා තමා දැමීමට ගැඹුරු වළක් කපා ඇති බව ඔහුට අවබෝධ විය. වළේ බාගෙට වැටුණු තමා ඉන් ගොඩට ඇවිත් ඔහු එම වළටම දැමීමට ඔහු කටයුතු කළේ ඔහුගේ දැනුමත් උපයෝගී කරගෙනය. ඒ අනුව ඔහු අඹ යහළුවාට තෑගි පාර්සලයක් යැව්වේය. එහි මංගල ගමනට යන කතකට අවශ්‍ය යට ඇඳුමේ සිට ඇඳුම් පැලඳුම්ය. පාර්සලය ඇතුළේ මිතුරාටත් වෙන්ඩ සිටි භාර්යාවටත් සුබ පතන ලිපියක්ය.



අදහස් (0)

අඹ යහළුවාට ඇටවූ කසාද තොණ්ඩුව බෙල්ලට වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 91 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 142 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 943 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site