IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


දරුවන්ගේ ප්‍රතිශක්තිය බිඳ දමන වැරැදි ආහාර රටා

දරුවකුගේ පෙර පාසල් අවධිය කියන්නේ කායික, මානසික මෙන්ම බුද්ධි වර්ධනයත් ශීඝ්‍රව සිදුවන පරිසරය සමඟ නිරන්තර ක්‍රියාශීලී වන අවධියකි. මේ කාලයේදී දරුවාට ලැබෙන උත්තේජන අනාගත ජීවිතය හැඩ ගස්වා ගැනීම සඳහා මහත් පිටිවහලක් වේ. එබැවින් වැඩිහිටියන් මේ කාලයේදී ඔවුන් උදෙසා කරන ආයෝජනය ඉතා සුබදායී මෙන්ම පලදායී බවින්ද සමන්විත විය යුතුයි.

වර්තමානයේදී කලබලකාරී ජීවන රටාව මධ්‍යයේ පවුලේ සමාජයීය පරිසරයද වෙනස් වී ගොසිනි. ඒ තුළ විශේෂයෙන්ම ආහාර රටාවේ පවා පැහැදිලි වෙනස්කම් දැක ගැනීමට පුළුවන. නාගරික පරිසරයේදී පහසුවෙන් පිළියෙළ කර ගත හැකි ආහාර පාන ලබා ගත හැකි වෙළෙඳසැල් බහුල නිසා සකස් කර ඇති ආහාර ලබා ගැනීමට බොහෝ පිරිස් නිරායාසයෙන්ම පෙළෙඹෙති. ඒවගේම එදවස සිට ආහාරයට ලබා දුන් ප්‍රමුඛත්වය අද වනවිට ගිලිහී ගොස්ය. ඒ වෙනුවට වෙළෙඳ දැන්වීම් මගින් හඳුන්වා දෙන ආහාර ගුණදායක යැයි සිතන්නට තරම් මනස පවා සැකසී ඇත. මෙහි අහිතකර පල භුක්ති විඳිනුයේ මතු පරපුරයි. මේ වනවිට දරුවෝ කුඩා කල සිටම ඒවා ආහාරයට ගැනීම නිසා විවිධාකාරයේ රෝගාබාධවලට ලක් වීමට වැඩි නුඹුරුවක්, විශේෂයෙන්ම බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ අවදානමකට මුහුණ පා සිටිති.

ඒ අනුව ශක්තිය, වර්ධනය, ආරක්ෂාව සපයන සමබල ආහාර වේලක් වෙනුවට ලුණු, තෙල්, සීනි අධික රසකාරක ,කල් තබා ගන්නා කෘතිම ද්‍රව්‍ය ඇතුළත් ,පිරිපහදු කළ අමු ද්‍රව්‍යවලින් (කෙඳි අඩු) තැනූ ආහාරවලට බොහෝ දෙනා ඇබ්බැහිවී ඇත.

මෙවැනි ආහාර අනුභවයේ ප්‍රතිඵලය කෙතරම් භයානකදැයි ඔබ දන්නවාද? කුඩා වයසේ සිටම දරුවන් මේ ආහාර රටාවට ඇබ්බැහි වූවොත් ඉතාම ලාබාල වයසින් ඔවුන්ගේ බර වැඩිවී තරබාරු වීමට පටන් ගැනේ. ඒ නිසාම දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ , ආඝාතය (අංශභාගය) ,ඇදුම වැනි කාලික ස්වසන රෝග ,පිළිකා , අසාත්මිකතා මෙන්ම මානසික අසමබරතාවලටද ගොදුරු වීමට ඇති අවදානම ඉහළ යයි.

පුංචි දරුවන් හොඳින් කය වෙහෙසා දුව පැන සෙල්ලම් කළ යුතුය. එහෙත් වර්තමානයේ දරුවන්ට සෙල්ලම් කිරීමට ඇති අවස්ථාව බොහෝ දුරට මඟ හැරී ඇත. අද දරු පරපුර යන්ත්‍ර මෙනි. ඔවුන් බහුතරයක්ම පරිගණකයට, රූපවාහිනියට, ජංගම දුරකතනයට ඇබ්බැහිව ඇත. ඒවගේම පිරිපහදු කළ ක්ෂණික ආහාර ,බිස්කට් වර්ග අනුභව කිරීමත් නිසා ලබා ගන්නා ශක්තිය වැය නොවී සිරුරේ තැම්පත් වීමෙන් ඔවුන් බර වැඩි තරබාරු දරුවන් බවට පත්වේ. මේ අතර තෙල් සහිත ආහාර අධිකව මෙන්ම නිරන්තරයෙන්ද ගැනීම නිසා රුධිරයේ කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහළ යාමට පටන් ගැනේ. මේ හේතුවෙන් ඉතාම අඩු වයසින් අධික රුධිර පීඩනයට, හෘදයාබාධවලට ගොදුරු වීමේ අවදානමට පත් වේ.

එසේම ලුණු අධික ආහාර එනම් රෝල්ස්, පැටිස්, පිට්සා, රයිස්,කොත්තු මෙන්ම පාන් හා බේකරි නිෂ්පාදන හේතුවෙන් මෙන්ම බත් පිසින විට ලුණු එකතු කිරීමෙන් සෝස් වර්ග නිතර ආහාරයට එකතු කර ගැනීමෙන් රුධිරයේ ජලය රඳන ප්‍රමාණය වැඩි වී අධික රුධිර පීඩනයට ලක්වීමේ ප්‍රවනතාව වැඩි වේ.

වයස අවුරුදු 35 පසුවන විට මෙකී රෝග ඇති වුවද රෝග ඇති වීමේ අවදානම ඇරඹෙනුයේ කුඩා කාලයේ සිට බව වැඩිහිටියන් වශයෙන් අප තරයේ තේරුම් ගත යුතු වේ. දරුවන් වෙළෙඳසැල්වලදී දකින ඉල්ලන හැම ආහාරයක්ම ආදරය වැඩිකමට ලබා දී ඔබේ දරුවා රෝගියකු කරවීමට ඔබ විසින්ම මුල පුරන බව අදම අවබෝධ කර ගන්න. වැඩිහිටි අප මිය යාමට ප්‍රථම අඩු වයසින් දරුවන් මියැදීමට ඇති අවදානම වැඩි වන්නේ මේ වැරැදි ආහාර රටාවයි.

තවද ආහාරවලට එකතු කරන රසකාරක සහ කල් තබා ගැනීමේ ද්‍රව්‍යවල ආදීනව ඔබ දැන සිටියාද? එකී ද්‍රව්‍ය නිසා ශරීරයේ පලු මතු වීම, ඇදුම වැනි අසාත්මිකතා මතු වීමටත් , ගැස්ට්‍රයිටීස් වැනි රෝග ඇති වීමටත්, සමහර දරුණු පිළිකා වර්ග ඇති වීමටත් හේතු කාරක වේ.

එබැවින් දරුවකුට කුඩා කල සිටම ලබා දෙන ආහාර ගැන දැනුම්වත් වන්න. ඔවුනට ආහාර පාන ලබා දීමේදී මෙන්ම නව ආහාර හඳුන්වා දීමේදී පෝෂණය ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වන්න. ස්වාභාවික ආහාරවලට හැකිතාක් හුරු කරවන්න. දරුවාගේ උසට සරිලන බර තිබීම ගැන විශේෂ අවධානයෙන් පසුවන්න.

මෙහිදී උසට සරිලන බර නැති දරුවන්ගේ මෙන්ම වයසට අනුව උස නැති දරුවන් පිළිබඳවද වැඩි අවධානයක් යොමු කළ යුතු වේ. එසේ නොවුණහොත් පාසල් වියට එළැඹෙන කාලය වනවිට දරුවන් මන්දපෝෂණයෙන් පෙළීමට පුළුවන. තව සමහරකු අධි පෝෂණයෙන් යුතු වීමට පුළුවන. මේ තත්ත්වය නුදුරු අනාගතයේදී නිරෝගී දරු පරපුරක් වෙනුවට රෝගී දරු පරපුරක් බිහි කරනු ඇත.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (2)

දරුවන්ගේ ප්‍රතිශක්තිය බිඳ දමන වැරැදි ආහාර රටා

ganegoda Wednesday, 19 October 2022 04:04 PM

මේක අද මුළු ලෝකයටම බලපාමින් තියන ප්‍රශ්නයක්... කළයුත්තේ නම් මෙවැනි ආහාර නිපදවීම සහ විකිණීම තහනම් කිරීමයි.

:       0       2

giranchi Wednesday, 19 October 2022 05:21 PM

ඒකනම් ඇත්ත. පොඩි එවුන් අහුවෙන හැමදෙයක්ම ගිලලා දාන හින්දා ඔය අහිතකර දේවල් තහනම් කරමු...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27954 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18185 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10884 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 656 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 196 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 853 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site