ඉතා සියුම් මෙන්ම අති සංවේදීම ඉන්ද්‍රිය  ඇස බැවින් ඇස, ඇසක් මෙන් රැක ගත යුතුයි.  ඒ කුමක් හෝ සුළු අතපසුවීමක් නිසා ඇසේ පෙනුමට හානිවිය හැකි බැවිනි. එය ඇස අන්ධ වීම දක්වාද වර්ධනය විය හැකියි. එනිසා ඇස් රැක ගැනීමේ වැදගත්කම අමුතුවෙන් කිව යුතු නොවේ.

ඇස් අන්ධ වීම සඳහා බලපාන හේතු සාධක

ඇස් අන්ධතාව කෙරෙහි බලපාන හේතු සාධක අතරට පුද්ගල වයස් සීමාවද හේතු වේ. එම හේතු වයස් සීමාවන් අනුවද වෙනස් වේ. අන්ධ වීම කෙරෙහි වැඩිපුරම බලපානු ලබන්නේ ඇසේ සුද මතුවීමේ තත්ත්වයයි. එය ලොව අන්ධ ජනගහණයෙන් සියයට හැට හයක ප්‍රතිශතයකගේ ඇස් අඳ වීම සඳහා බලපාන හේතුවද වී ඇත.

ඇසේ කාචය සාමාන්‍යයෙන් විනිවිද පෙනෙන ඇල්බියුමින් ප්‍රෝටීනවලින් සුසැදි වීදුරුවක් වැනි දෙයකි. එම කාචය විවිධ හේතු සාධක මත සුදු පැහැයට හැරේ. ඒ හේතුවෙන් ඇස් පෙනීම ක්‍රමයෙන් අඩුවී යයි. ඇසට දැලක් දැම්මාක් මෙන් අපහසු ගතියක් ඇතිවේ. ලෝකයේ වැඩිම අන්ධභාවයට ලක් වීමට හේතුව වනුයේත් ඇසේ සුද තත්ත්වයයි.

ඇසේ සුද ඉවත් කිරීම සඳහා ඇති ප්‍රතිකර්මය නම් ශල්‍යකර්මයක් මගින් ඇසේ සුද ඉවත් කිරීමයි. අන්තස් අක්ෂීය කාචයක් බද්ධ කිරීම මගින් ඉතා කෙටි වේලාවකින් එය කර ගැනීමටද හැකි වේ. මෙමගින් සියයට 90කගේ පමණ පෙනුම යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකියාව ලැබේ. ඇස් සම්බන්ධව සිදු කරන ශල්‍යකර්ම අතුරින් ලොව වැඩිපුරම සිදු කෙරෙනුයේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයයි. මෙමගින් රෝගියා නිර්වින්දනයකටද ලක් නොකෙරෙන අතර ශල්‍යකර්මය සඳහා වැය වන්නේද ඉතාම අඩු කාලයකි.

ඇසේ සුද තත්ත්වය ප්‍රධාන වශයෙන්ම වයස්ගත පුද්ගලයන් අතර මෙන්ම කුඩා ළමයින්, තරුණ පුද්ගලයන් අතරද දක්නට ලැබේ.

ඇසේ සුද තත්ත්වය දැකිය හැකි වයස් කණ්ඩායම්

කුඩා ළමයින් අතර දැකිය හැකි ඇසේ සුද තත්ත්වය

මේ සඳහා සංජානීය අබාධද හේතුවකි. උපතේදීම වුවත් ,ජානවලින් එන රෝගී තත්ත්ව නිසා , මව රුබෙල්ලා වැනි රෝගී තත්ත්වයෙන් පෙළීම වැනි කාරණාද හේතු විය හැකිය. මෙබඳු තත්ත්ව ආදියට ගොදුරුවූ දරුවකු ඉපදී මුල් මාස කිහිපය ඇතුළත හෝ මුල් අවුරුදු දෙක තුන ඇතුළතදී ඇසේ සුද තත්ත්වය හට ගැනේ. මෙය ශල්‍යකර්ම මගින් සුව අතට පත් කර ගත හැකියි.

අවුරුදු 10 සිට අවුරුදු 25 දක්වා වන තරුණ කණ්ඩායම්

මෙකී වයස් සීමාවල පසුවන දරුවන් අතරද ඇසේ සුද දැකිය හැකියි. ඇසේ ඇතිවූ කුමන හෝ රෝගී තත්ත්වයක් නිසා ඇසට සිදුවූ සුළු අනතුරක් හේතු විය හැකිය. උල් කටු වැනි දෑ, ඇසේ ඇනීම, කැපෙන දෙයකට ඇස තුවාල වීම, ඉරටු වැනි දෑවලින් ඇසට හානි වීම නිසා ඇසේ සුද තත්ත්වය හට ගැනේ.

මැදි වියේ පසුවන්නන්

මේ සඳහා දියවැඩියාව රෝගී තත්ත්වයෙන් පෙළීම ඉවහල් වේ. දියවැඩියාව රෝගය ඇති පුද්ගලයකුට ඇසේ සුද ඇති වීමේ අවදානම වැඩිය.

අවුරුදු 50ට වැඩි පුද්ගලයන්

මේ වයස් කාණ්ඩයට ඇසේ සුද තත්ත්වය ඇති වීමේ ප්‍රදාන හේතු ලෙස වයසට යාමත්,දිගු කලක් පුරාවට අධික හිරු එළියට නිරාවරණය වීම වැනි හේතුද බලපෑ හැකියි. පෙනීමේ මඳ භාවය, බොඳවී පෙනීමට පටන් ගැනීම, මීදුමකින් වැසී ඇති පරිදි අපැහැදිලි පෙනුම, එක රූපය රූප දෙකක් මෙන් පෙනීම වැනි තත්ත්ව ක්‍රම ක්‍රමයෙන් වැඩි වර්ධනය වී අවසානයේදී සම්පූර්ණයෙන්ම අන්ධ වීම දක්වා හේතු වේ.

දියවැඩියාව නිසා ඇස් අන්ධ වීම

බෝ නොවන රෝගයක් ලෙස ලෝකය පුරා ලැව්ගින්නක් සේ දැකිය හැකි ඉතාම බරපතළ තත්ත්වයකි. වැරැදි ආහාර රටාව සේම ඒවායෙහි අන්තර්ගත පෝෂණීය ගැටලු වැනි හේතු දියවැඩියා තත්ත්වයට සෘජුවම බලපා ඇත. කය වෙහෙසා වැඩ කරන පුද්ගලයන්ට දියවැඩියාව අවදානමක් නැතැයි පෙරදී අනාවැකි පළවුණද වර්තමානය වනවිට එම කියමන් මුළුමනින්ම කනපිට හැරී ඇති සෙයකි.

දියවැඩියාව තත්ත්වය බලපෑම් දක්වන ඉන්ද්‍රිය තුනකි. එනම් ඇස, වකුගඩු හා හෘදය වස්තුවයි.

වකුගඩු රෝගීන් ගතහොත් ඉන් සියයට හැටක් හැත්තෑවක්ම දියවැඩියාව තත්ත්වයෙන් පෙළෙන්නන්ය. එසේම දියවැඩියාව නිසා ඇස් නොපෙනීමේ තත්ත්වයක් මතුවුවහොත් එය ඉතාම භයානක තත්ත්වයකි.

දියවැඩියාව නිසා ඇසේ දෘෂ්ඨි විතානයට බරපතළ බලපෑම් එල්ල කරයි. ඒ හේතුවෙන් රුධිරය වහණය වීම, තෙල් වැනි ද්‍රාවණයක් ගැලීම, ඉදිමීම වැනි තත්ත්ව මත දෘෂ්ඨි විතානය ගැලවී යාමට ඇති හැකියාව වැඩිය. එමගින් සම්පූර්ණයෙන්ම අන්ධභාවයට පත්වීම බරපතළ සිදුවීමකි.

මේ සඳහා ලේසර් ප්‍රතිකාර ක්‍රමය, එන්නත්කරණය, ශල්‍යකර්ම පවා තිබුණද ඒවා මුළුමනින්ම පාහේ සාර්ථක නොවිය හැකිය.

එබැවින් ඔබ දියවැඩියාවට ගොදුරුව හිඳිනා පුද්ගලයකු නම් රෝගය මනාව පාලනය කර ගත යුතුය. තවද අඩු වයසින් දියවැඩියාවට ගොදුරු වූ පුද්ගලයකුට පසු කාලයේදී ඇස් නොපෙනීමට ඇති අවදානම ඉතා වැඩියි. මන්ද වයස් ගත වනවිට දිගු කාලයක් පුරාවට දියවැඩියාවට ගොදුරුව සිටීමයි. එබැවින් මෙබඳු පුද්ගලයන් දියවැඩියාවට ගොදුරු වූ මුල් අවදියේ පටන්ම මාස 06කට හෝ අවුරුද්දකට වරක්වත් පළපුරුදු අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු ලවා ඇස් පෙනීම පරීක්ෂා කර ගත යුතුමයි.

දියවැඩියාව නිසා ඇස් අන්ධ වීමේ රෝග ලක්ෂණ කිසිවක් බාහිරට නොදක්වයි. මෙබඳු තත්ත්ව නිරීක්ෂණය කර ගත හැකි වන්නේ අක්ෂි වෛද්‍යවරයකු ලවා ඇස් අභ්‍යන්තරය පරීක්ෂා කරවා ගැනීමෙනි.

එසේම දියවැඩියාව මනාව පාලනය කළ පුද්ගලයකු වුවත් ඇස් අන්ධ වීමේ අනතුරුදායක තත්ත්වය මතුවිය හැකි බැවින් වරින් වර ඇස් පරීක්ෂා කරවා ගැනීම සුදුසු වේ. එවිට ලේසර් කිරණ ප්‍රතිකාරය, එන්නත්, ශල්‍යකර්ම වැනි සංකීර්ණ ප්‍රතිකාර ක්‍රමවලට නොයා මුල් අවදියේදීම හඳුනා ගත හැකිය.

මතක තබා ගත යුතුයි

බාහිරින් කිසියම් හෝ දෙයක් ඇසේ ඇනී තුවාල වූ විටෙක ඒ දෑ ඉවත් කිරීමට නොයන්න. හැකි ඉක්මනින් රෝගියා ළඟම ඇති රෝහලක් වෙත රැගෙන යන්න. ඇසට ඇතිවන රෝගාබාධ බොහොමයකදිම පෙන්නුම් කෙරෙන රෝග ලක්ෂණ බොහෝ විට එක සමාන වේ. එනම් ඇස දන ගතිය, ඇස රතු වීම සහ කඳුළු ඒම රෝග ලක්ෂණ වේ. ඇසේ උෂ්ණයක් නිසා හෝ වෙනත් රෝගී තත්ත්වයක් නිසා වුවද රෝග ලක්ෂණ බෙහෙවින්ද සමාන වුවද බෙහෙත් සහ ප්‍රතිකාර වෙනස් කියන කාරණාව අප තරයේ මතක තබා ගත යුතුයි.

රෝගයකින් රෝගයකට සේම, පුද්ගලයකුගෙන් පුද්ගලයකුටත් බෙහෙත් සහ ඖෂධ වෙනස්ය. ඒ වගේම නියමිත දින ගණන ඉක්මවූ බෙහෙත්, ෆාමසියකින් හිතුමතයට ලබා ගත් බෙහෙත් ඇස්වලට නොදමන්න. ඔබ මේ බෙහෙත් භාවිත කරන්නේ ඔබගේම ඇසටයි. ඔබේ ඇසේ ඇති සුළු ආබාධයක් වැරැදි බෙහෙත් භාවිතය නිසා ඇස තුවාල වීමටත් එමගින් අන්ධ වීම දක්වා ක්ෂණයකින් පරිවර්තනය විය හැකියි.

ඇසේ කළු ඉංගිරියාව මත ඇති කණිනිකාව ඉතා සියුම් මෙන්ම සංකීර්ණ දෙයකි. එය තුවාල වී සියුම් ගතිය නැති වූ විට විනිවිද ගතියත් නැතිවී ආලෝකය ගමන් කිරීමේ හැකියාව නැවතේ. එබැවින් පළපුරුදු අක්ෂි වෛද්‍යවරයකු නිර්දේශ කරන බෙහෙත් හැර හිතුමතයට බෙහෙත් ඇසට දැමීමෙන් වැලකිය යුතුය.

පින් වපර

‘පින් වපර‘ කියා දෙයක් නොමැති අතර සෑම වපරයකටම හේතුවක් පවතී. මෙමගින් ඇසේ පෙනුම අඩු වී යා හැකි බැවින් මෙවන් තත්ත්ව මනාව නිරීක්ෂණය කොට අක්ෂි වෛද්‍යවරයකුගේ පරීක්ෂාවට අනිවාර්යයෙන් යොමු කළ යුතුවේ.

ග්ලුකොමා තත්ත්වය

ඇසේ පීඩනය වැඩිවී ස්නායු දුර්වල වීම නිසා හට ගැනෙන මෙම තත්ත්වය නිසාද ඇස් අන්ධ වීම දක්වාද යා හැකියි. ඇහේ පීඩනය හේතුවෙන් ඇසේ ස්නායු දස දහස් ප්‍රමාණයක් දවසකට විනාශ වී එකවර ඇස් අන්ධතාවට පත් වීම මෙහි භයානකතාවයි. ග්ලුකොමා තත්ත්වය සරල බෙහෙත් බින්දු දැමීමෙන් බොහෝ විට පාලනය කරගත හැකි අතර කලාතුරකින් ශල්‍යකර්ම සඳහා භාජන වීමට සිදුවේ. දියවැඩියාවෙන් පෙළෙන්නකුට ග්ලුකොමා තත්ත්වය ඇති වුවහොත් එය වඩාත් බරපතළ විය හැකියි.

තමන් ග්ලුකොමා තත්ත්වයට ගොදුරු වී ඇත්ද යන්න පෙර ඉඟි කිසිවක්ම දැනගත නොහැකි තත්ත්වයකි. ඇසේ පීඩනය තත්ත්වය පරීක්ෂා කර ගැනීමේදී ග්ලුකොමා රෝගයට අදාල වෙනස්කම් ඇස තුළ ඇත්ද යන්න නිරීක්ෂණය කර ගත හැකිය. ග්ලුකොමා ජානගතව පැවතෙන බැවින් පවුලේ සාමාජිකයකුට රෝගී තත්ත්වය ඇත් නම් සෙසු සාමාජිකයන්ටද අවදානමක් පවතී. එසේම අවිදුර දෘෂ්ඨිකත්වයෙන් පෙළෙන්නන්ටද ( දුර නොපෙනීම නිසා ඇතිවන දෘෂ්ඨි ආබාධ ) අන් අයට සාපේක්ෂව ග්ලුකොමා රෝගී තත්ත්වය හට ගැනීමේ අවදානමක් ඇත. එබඳු පුද්ගලයන් විටින් විට අක්ෂි වෛද්‍යවරයකු හරහා ඇස් පරීක්ෂා කර ගත යුතුය.

ටනල් විෂන් ( tunnel vishion )

ග්ලුකොමා රෝගීන් අතර පැවතිය හැකි තත්ත්වයකි. අන්තිම මොහොත තෙක්ම පෙනීම හොඳට තිබී ඇසේ වටේට පෙනීම පරාසයෙන් පරාසයට අඩු වී යා හැකි තත්ත්වයකි. මෙම තත්ත්වය බිංගෙයක් තුළ සිට දුර බැලූවකුට ආලෝකය නිසා රූප පෙණුනද ඇහැ වටේ ප්‍රදේශය අඳුරු වීමේ සරල සිද්ධිය මගින් පැහැදිලි කරගත හැකිය. මේ සිදුවීම ඇස්වල පෙනීම කෙරෙහිද අදාල වේ.

එබැවින් වයස අවුරදු 40ත් 45ත් අතර වයසේ පසුවන්නන්ට ග්ලුකොමා අවදානමක් ඇති අතර වයස් ගත වීමත් සමග අවදානමේ ස්වාභාවයද ඉහළ යයි.ඔබගේ පවුලේ සාමාජිකයකුට ග්ලුකොමා තත්ත්වය වැළඳී ඇත්නම් ඔබටද එහි අවදානම පවතින බව මතක තබා ගත යුතුය. ඒ අනුව මවුපියන් ග්ලුකොමා තත්ත්වයේ පසුවේ නම් එම අවදානම ඔබට සියයට තිහක් වන අතර සහෝදරයකුට වැළඳී ඇත්නම් එම අවදානම සියයට හැටකි.

ඔබ උපැස් යුවළක් භාවිත කරන්නකු නම් ඒ සඳහා අක්ෂි වෛද්‍යවරයකුගේ උපදෙස් මත ඇස් පරීක්ෂා කරවා ගන්න. ඇසේ අන්ධතාවට තුඩු දෙන මෙවන් තත්ත්ව ආදියට පූර්ව ලක්ෂණ කිසිවක් නොමැති අතර පෙනීමද බොහෝ සෙයින්ම සාමාන්‍ය තත්ත්වයේ පවතී. ඇස් රිදීම, කඳුළු ගැලීම, රතුවීම ආදී කිසිඳු පූර්ව ලක්ෂණයක් නොදක්වන අතරම ඔබටත් නොදැනිම ඇසේ පීඩනය ක්‍රම ක්‍රමයෙන් වැඩි වේ.

එකී තත්ත්වය ඇස් අන්ධවීම වැනි මාරාන්තික තත්ත්ව දක්වා හේතු වේ. එබැවින් ඇස් පරීක්ෂා කර රෝගය කල්තියා හඳුනා ගැනීමෙන් ප්‍රතිකාර මගින් මඟ හරවා ගත හැකිය.

මාර්ග ගත අධ්‍යාපන ක්‍රමයේ නියැළෙන්නන් මතක කබා ගන්න

තවද මාර්ග ගත අධ්‍යාපන ක්‍රමය නිසා කුඩා දරුවාගේ සිටම දිගු වේලාවක් පරිගණක තීරය, ස්මාට් ජංගම දුරකතන තිරය දෙස බලා සිටීමේ අනිටු ප්‍රතිඵලද මේ වනවිට වාර්තා වෙමින් පවතී. හිසේ කැක්කුම , ඇස් වටා ප්‍රදේශය රිදීම, ඇස්වල කැක්කුම් ගතිය මීට උදාහරණ වේ. විවිධ පැති දෙස නොබලා එකම දිශාවක ඇති දෙයක් දෙස දිගු වෙලාවක් බලා සිටීමෙන් ඇස් වෙහෙසට පත් වීම මීට හේතුවයි. ඇහේ මාංශ පේශි සංකෝචනය වීම නිසා ඇහැ රිදීමට පටත් ගැනේ. කඳුළු ගලා ඒම, බෙල්ල රිදීම, වමනය ගතිය, අධික නොරිස්සුම වැනි තත්ත්වද ඇති කරවයි. මෙය ‘Computer vishion syndroma ‘ නමින් හැඳින්වේ. විනාඩි 20 ට වඩා ඩිජිටල් තිරයක් දෙස එක එල්ලේ බලා සිටීමෙන් ඇස් පිල්ලම් නොගසා බොහෝ වේලාවක් සිටීමෙන් ඇස් වේලීම, ඔළුව නවා ගෙන දිගු වේලාවක් සිටීමෙන් බෙල්ලේ මාංශ පේශීන්වලට බලපෑම් එල්ල වේ.

කුඩා දරුවන්ටත් අද දෘෂ්ඨි ආබාධ ඇති වෙන්නේ ඇයි?

අද වනවිට වයස්ගත වීම නිසා සිදුවන ඇස් නොපෙනීමේ තත්ත්වයට වඩා කුඩා දරුවන් අතර පවා ඇස් ආබාධ, දෘෂ්ඨි ආබාධ හට ගත හැකියි. මවුපිය නොදැනුම්වත්භාවය හරහා දරුවාට කුඩා කල සිට තිබූ ඇස් ආබාධ හෙතෙම වයසින් වඩෛත්ම ප්‍රතිකාර මගින් සුව කළ නොහැකි අවධීන් දක්වා පැතිරී යා හැකිය. එබැවින් දරුවා ගැන විමසිලිමත් වනවා සේම දරුවාගේ පෙනීම සම්බන්ධවත් මවුපිය වගකීම, අවධානය ලබා දෙන්න.

මේ අනුව ඔබේ දරුවාගේ ඇස්වල පෙනීම ගැන සුළු හෝ සැකයක් ඇත්නම් වහාම ළඟම පිහිටි අක්ෂි සායනයකට හෝ අක්ෂි විශේෂඥ වෛද්‍යවරයකු වෙතට හෝ දරුවාව යොමු කරවන්න.

‘Computer vishion syndroma ‘වලක්වා ගැනීම

1) 20: 20: 20 පුරුද්දට අනුගත වන්න.

එනම් විනාඩි 20ට වතාවක් තමාට අඩි 20ක් දුරින් පිහිටි දෙයක් දෙස තත්පර 20ක් බලා සිටින්න.

2) පරිගනක තීරය තම මුහුණ මට්ටමට වඩා අංශක 30ක් පහළින් තබා ගන්න.

3) ඔබ ඉන්නා ස්ථානයේ දීප්තියට වඩා අඩු වන පරිදි පරිගණක තිරයේ දීප්තිය සකසා ගන්න.

4) සෑම විනාඩි 10ටම 15කටම වතාවක් ඇස් වසන්න. ඇගිලි තුඩු මගින් ඇස් මෘදුව සම්භාහනය කරන්න.

පෝෂ්‍යදායී ආහාර රටාව

විටමින් ‘ඒ‘ ඌනතාව නිසා රාත්‍රී කාලයට ඇස් නොපෙනීමේ තත්ත්වයක් මතු වේ. පළා වර්ග, කහ පාට එළවළු, පලතුරු , පොඩි මාලු වර්ග ආහාරයට අමතක නොකරම එකතු කර ගන්න. එමෙන්ම මෝර ගුලි, ඔමෙගා ඔයිල්, ෆිෂ් ඔයිල් වැනිදෑ ඇහේ පටකවලට ඇති වන ආබාධ අඩු කරවයි.

-සටහන- මාධවී ධර්මරත්න