සංචරණ සීමා පනවා සමහර ප්‍රදේශ හුදෙකලා කළද කොරෝනා වයිරසය සම්පූර්ණයෙන්ම පාහේ තවමත් පාලනය වී නොමැත.

එනිසා අපේ රටේ අද වෙද්දි කොරෝනා වයිරසය ආසාධිත පුද්ගලයන් සඳහා වෙන් කෙරුණු රෝහල්වල ධාරිතාවද ඉක්මවා රෝගීහු වාර්තා වෙති .

ඒ අතර ඇතැම් රෝගීන්හට රෝහලක් ලැබෙන තුරු නිවසේම රැඳී සිටීමට සිදුවේ. රෝහලකට ඇතුළු කරන තුරු කොරෝනා රෝගීන්ව නිවසේදී රැක බලා ගැනීමට අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැත. වඩා වැදගත් වන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු තිරීමයි.

උණ, හෙම්බිරිස්සාව, බඩේ අමාරුව, උගුරේ අමාරුව, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය දිනෙන් දින වැඩි නම් එය කොරෝනා රෝගයේ රතු එළියක් වීමට පුලුවන. ඒ අනුව ප්‍රථමයෙන්ම ඔබ පවුලේ සාමාජිකයන්ගේ ඇසුරින් ඈත්ව වෙනම කාමරයකට යා යුතුයි. රෝගියා රැඳවූ මේ කාමරයට හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනක් විය යුතුයි.

පවුලේ සාමාජිකයන් සියල්ලෝම කාමරයට යාමත්, කාමරයෙන් පිටතට නිතර දෙවේලේ රෝගියා පැමිණීමත් සිදු නොවිය යුතුයි. සාමාජිකයන් සමග නිරන්තර කතා බහ, වටපිටාවේ ඇවිදීම, නිවසේ බඩු බාහිරාදිය ස්පර්ශ කිරීම, තැන තැන කෙළ ගැසීම නොකළ යුතුයි.

කොරෝනා රෝගයේ ලක්ෂණ පිටතට පැමිණීමට දින දෙකකට පෙර සිට සහ රෝග ලක්ෂණ පහළවී දින දෙකක් ගත වීමෙන් පසුත් රෝගය අන් අයට සම්ප්‍රේශනය විය හැකියි. තමන්ගේ පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත තොරතුරු දන්වා පී.සී.ආර්. පරීක්ෂණයක් හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් ඔබ සිදු කර ගත යුතුයි.

පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු ඔබ පොදු ප්‍රවාහනවල රාජකාරියට වාර්තා කිරීම, ප්‍රදේශයේ ඇවිදීම නොකළ යුතුයි. තම කාමරයේම රැඳී සිටිමින් ස්වයං නිරෝධායනයට යොමු විය යුතුයි.

පී.සී.ආර්. ප්‍රතිඵල පොසිටිව් නම්.

ඔබ පුද්ගලික රෝහලක් හරහා පී.සී.ආර්. පරීක්ෂාව සිදු කර ගත්තේ නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලදාරීවරයාට ඒ බව දැන්විය යුතුයි. එසේම රෝග ලක්ෂණ ඇති වීම කෙරෙහි ඔබේ නිරන්තර අවධානය යොමු කරමින් ඔවුන්ගේ උපදෙස් මත ඔබ නිරෝධායනය විය යුතුයි.

පවුලේ සාමාජිකයන් අතරත් ඔබ අවම වශයෙන් මීටරයක දුරක්වත් රැකිය යුතුයි. රෝගියාට ආවතේව කිරීම සඳහා නිවසේ සිටින නිදන්ගත ලෙඩ රෝග නැති, ගොඩක්ම මැදි වියෙත් නැති එක් පුද්ගලයකුට යොමු විය හැකිය. රෝගියා භාවිත කරන පිඟන්, කෝප්ප, ඇඳ ඇතිරිලි, තුවාය සෙසු අයගේ භාවිතයෙන් ඉවත් කර රෝගියාටම ඒවා වෙන් කර තබන්න. ආවතේව සපයන පුද්ගලයා රෝගියා හමුවට යාමේදී දෙදෙනාම මුඛ ආවරණ නිසි ලෙස පැළඳීම අත්‍යවශ්‍ය වේ. රෝගියාගේ කාමරය, නාන කාමරය, වැසිකිලිය වැනි තැන් ඔහු භාවිත කළාට පසු විසබීජ නාශක දියර යොදා හොඳින් පිරිසුදු කරන්න. රෝගියා මෙන්ම නිවසේ අනෙකුත් අයත් මුඛ ආවරණ නිවැරැදිව පැළැඳීමට අමතක නොකරන්න. මුඛ ආවරණ සේම රෝගියා ඉවතලන දෑ තැන තැන නොදමා ක්‍රමානුකූලව බැහැර කරන්න. ඒවගේම රෝගියා හා සම්බන්ධ වන පුද්ගලයා එම වැඩ කටයුතුවලින් අනතුරුව තමන්ගේ දෑත් සබන් ගා හොඳින් පිරිසුදු කර ගන්න. නිවසේ අන් වැඩවලට යොමු විය යුත්තේ තමන්ද මනාව පිරිසුදු වීමෙන් අනතුරුව බව මතක තබා ගන්න.

මේ කාලයේදී රෝගියාට පෝෂ්‍යදායී ආහාර,ජලය, නින්ද අත්‍යවශ්‍යයි.එය ඔවුන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය හොඳින් ක්‍රියා කිරීමට උදව් කිරීම හරහා රෝගයට එරෙහිව සටන් කිරීමට උදව් ලබා දේ.

රෝගියාට ආහාර ලබා දීමේදී හොඳින් රත් කොට ආහාර ලබා දිය යුතු වේ. දිනපතාම හුමාලය ඇල්ලීම, විජලනයට පත් නොවීමට දියර ජාති උණුසුම්ව පානය කළ යුතුයි. රෝගියාව රෝහලකට ඇතුළු කරන තෙක් ඔහුගේ රෝග ලක්ෂණ පිළිබඳ අවධානයෙන් සිටින්න. විශේෂයෙන් සැලකිලිමත් විය යුතු ලක්ෂණ අතර හුස්ම ගැනීමේ අපහසුතාව, ආයාසයෙන් හුස්ම ගැනීම, කලන්ත ගතිය, හිසේ කැරකිල්ල, පපුවේ වේදනාව, විජලන ලක්ෂණ ඇත්නම් සැලකිලිමත් වන්න. රෝගියා කුඩා දරුවකු නම් ආහාර ගැනීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම, වෙනදා දක්වන හැසිරීමට වඩා වෙනස් වීම, විජලන ලක්ෂණ ගැන උනන්දු වෙන්න. මෛ රෝග ලක්ෂණ ඇත්නම් වහාම ඔබේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ වෛද්‍යවරයකුට දන්වා ඒ උපදෙස් මත කටයුතු කරන්න.

රෝගියාට ස්වසන අපහසුතාවක් ඇති බව දක්වන ප්‍රධාන ඉඟිය වන්නේ මුඛ ආවරණය බොහෝ වේලාවක් කිසි අපහසුවකින් තොරව පැළැඳ සිටීමට හැකි නම් ඔහුට උග්‍ර ස්වසන අපහසුතාවක් නොමැති බව අනුමානයයි. එහෙත් හතිය ඇති පුද්ගලයකු මුඛ ආවරණ දමාගෙන වැර වීරිය යොදමින් කතා කිරීමට උත්සාහ දරයි නම් ඔහුට ස්වසන අපහසුතාවක් ඇති බව නිගමනයයි. එවන් අවස්ථාවකදී ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකට මේ බව දැන්වීමට නිවැසියන් කටයුතු කළ යුතුය.

අනෙකුත් වැදගත් කාරණය තමයි රෝගියා මොනයම් හෝ ලෙඩකට දීර්ඝ කාලීනව ප්‍රතිකාර ගන්නවා නම් ඒ බෙහෙත් නොකඩවාම ලබා ගත යුතුයි. ඒ අනුව දියවැඩියාව, අධිරුධිර පීඩනය සේම හෘදයාබාධ රෝගීන් වෙත්නම් මෙම කාලයේදී සායනවලින් හෝ වෛද්‍ය උපදෙස් මත තමාට ලබා දී ඇති බෙහෙත් නියමිත මාත්‍රාවෙන් ලබා ගැනීමට අමතක නොකරන්න.

රෝගියා නිවසේ සිටින කාලය ඇතුළත පිටස්තර පුද්ගලයන් නිවසට පොපැමිණිය යුතුය. නිවසේ සෙසු පුද්ගලයන්ද පළමු පෙළ ආශ්‍රිතයන් වන බැවින් ඔවුන්ද නිවස තුළම රැඳී සිටිමින් නිරෝධායනය විය යුතුයි.එවිම මෙම වසංගත තත්ත්වය තව දුරටත් සමාජයේ පැතිරීමට අවකාස නොලැබෙනු ඇත.

කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍ය දිනුකා ගුරුගේ

-සටහන- මාධවී ධර්මරත්න