මානසික ආතතිය නොඑසේනම් ඉංග්‍රීසියෙන් ‘ Stress ‘ නමින් හඳුන්වන තත්ත්වය වර්තමානයේදී සුලබව අසන්නටත්, දකින්නටත් ලැබෙන්නකි. මානසිකව රෝගී වූ හා රෝගී නොවූ සැමටම මුහුණ පාන්නට සිදුවන අවස්ථාවකි. අපට එදිනෙදා ජීවිතයේ මුහුණ පාන්නට සිදුවන සිදුවීම් හමුවේ සිතේ ඇතිවන ප්‍රතික්‍රියාව මානසික හා ශාරීරික ආතතිය නමින් හැඳින්වේ.

විභාගයකට මුහුණ දීමේදී, ප්‍රේම සම්බන්ධතාවක් බිඳ වැටීමේදී, තම හිතවතකුගේ මරණයකදී ,රැකියාව අහිමි වීමේදී, අධික කාර්ය බහුලත්වය මේ කුමන අවස්ථාවකදී වුවත් අපට ආතතිය ඇතිවිය හැකිය. එදිනෙදා ජීවිතයේ අපට බලපාන කවරම හෝ සබඳතාවක් ආතතියක් විය හැකිය.

මෙම ආතති තත්ත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. එනම් අපට ආතතිය ගෙනදිය හැකි අවස්ථාවක් තවත් පුද්ගලයකුට ආතතියට හේතුවක් නිර්මාණය නොකෙරෙනු ඇත. දරු උපතක්, විවාහයක් වැනි අවස්ථාවක් ඇතැම් පුද්ගලයන්ට ආතතියක් විය හැකි නමුත් එය තවත් කෙනෙකුට ආශිර්වදයක් විය හැකිය.

දිගුකාලීනව පවතින ආතතිය අපගේ සිරුරට කෙතරම් හානිකරද යන්න දැන් විමසා බලමු. අපට සමීප පුද්ගලයකු සමග අප නුරුස්නාවෙන් කල් ගත කරන විට ඒ තත්ත්වය නිරන්තරයෙන්ම වර්ධනය වේ. එය අපේ ශරීරයට ඉතා අහිතකර තත්ත්වයකි. අපි නොදැනුම්වත්ව මානසික සුවතාව මෙන්ම ශාරීරික සුවතාවද ගිලිහී යයි.

එසේම මේ ගත වන්නේ කොරෝනා වසංගතය දැඩිව ව්‍යාප්ත වන කාලයකි. මුල් කාලයේ මෙන් නොවුණත් තවමත් කොරෝනා අවදානම පවතින නිසා අපි ඒ පිළිබඳ පුවත්වලට වැඩි අවධානයක් යොමු කරන්නෙමු. කොරෝනා වසංගතයේ ඊළඟ අදියර, කොරෝනා මරණ, වසංගතයට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව මේ පිළිබඳව අප තුළ ඇත්තේ දැඩි කුහුලකි. මෙයාකාරයෙන් බියෙන් ජීවත් වීමද ආතතිය ඇති වීමට හේතුවකි. මෙවන් අපහසු අවස්ථාවකදී වුව මානසික සමතුලිතතාව රැක ගනිමින් පවත්වා ගෙනයාම ඉතා වැදගත්ය.

තමන්ට ආතතිය ඇත්නම් එය තමාට වුවද පහසුවෙන් හඳුනා ගත හැකිය. ආතතියකදී ශාරීරික සේම මානසික වෙනස්කම්ද හට ගැනේ. අන් කවරදාටත් වඩා මහන්සිය දැඩිව දැනෙන්නට පටන් ගනී. කාර්යය ඉටු කිරීමේදී එතරම් උනන්දු ගතියක් ඇති නොවේ. සමහර අවස්ථාවලදී සුවසේ නින්ද නොයයි. සමහර පුද්ගලයන්ට කුසගිනි නොදැනේ. ආහාර අරුචිය ඇතිවේ. එසේම සමහරු පවසන පරිදි ඔළුව පටියකින් තද කොට හිර කරන්නාක් වැනි දරාගත නොහැකි හිසරදයක් ඇතිවේ. මළ මුත්‍ර පිට කිරීමේ වාර ගණන පවා වැඩිවේ. මේ ආතතිය අවස්ථාවේදී ශාරීරිකව අපට දැනෙන ලක්ෂණවලින් සමහරකි.

ආතතිය තත්ත්වය අපි විද්‍යාත්මකව බැලුවොත් සිරුරේ ඇතිවන මෙම වෙනස්කම පහරදීම හෝ පළා යාම ‘fight or flight response’ නම් ප්‍රතික්‍රියා තත්ත්වයකි. ‘Coristol, Adrenaline ‘ නම් හෝමෝන ද්විත්වය සිරුර අභ්‍යන්තරයේ වැඩි වීමක් සිදුවේ. මෙහිදී අපේ හදවත වේගයෙන් ස්පන්දනය වීමට පටන් ගනී. වේගයෙන් හුස්ම වැටේ. හුස්ම ගන්නා වාර ගණනද වැඩිවේ. තොල කට වියැළේ. වැඩිපුර දහදිය දමයි. මෙයාකාරයෙන් සිරුරේ අභ්‍යන්තරය ප්‍රතික්‍රියා දක්වයි. ඉතා සුළු කරුණකදි පවා මොවුන් දැඩි ලෙස කිපෙනු දැකිය හැකිය. ඒ මානසිකව දක්වන ප්‍රතික්‍රියාවයි.

ආතතිය වැඩි වීමේ ප්‍රතිඵල ලෙස පොඩි දෙයකටත් කඳුළු වගුරවන්නට පටන් ගැනීම, මානසික ඒකාග්‍රතාව බිඳ වැටීම, පොත් කියෙව්වත් කිසිම දෙයක් ඔළුවට නොවැටහීම, හාස්‍යජනක දෙයකදී වුවත් ඔවුන් සිනහ නැගීමට තරම් සංවේදී නොවීම යන කාරණා දැක්විය හැකියි. මන්ද ඔවුන් දැඩි ආතතිකාරී තත්ත්වයකින් පසුවන බැවිනි. දැඩි පීඩාවකින් පසුවන හෙයින් බාහිර පාර්ශව මෙන් විනෝදාස්වාද හැඟීම් ඔවුන්ට නොදැනේ. ඒවගේම දීර්ගකාලීනව හිතේ පැසව එන ආතතිය ඔබව රෝගියකු බවට පත් කරයි. විසඳා නොගත් ගැටලුවකින් පෙළේ නම් ශාරීරිකව නිදන්ගත රෝග ඇති වීමටම හේතුවකි. ආතතියෙන් රුධිර සංසරණ පද්ධතියටද හානි පමුණුවයි. එපමණක්ද නොව දිගුකාලීනව ආතතිය පැවතීමෙන් සිරුරේ එක් එක් පද්ධතිවලට කෙරෙන බලපෑම කුමක්දැයි දැන් විමසමු.

රුධිර සංසරණ පද්ධතිය

අධික රුධිර පීඩනය , රුධිරයේ කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහළ යයි. හෘදයාබාධ ඇති කරයි. අංශභාග තත්ත්ව ඇති කරයි. අනපේක්ෂිත මරණ නිසා හෘදයාබාධ පවා හට ගනී.

ඔවුනට එකවරම ඇති වන දරා ගත නොහැකි ආතති තත්ත්වය නිසා හෘදයාබාධ වැනි රුධිර සංසරණ පද්ධතියේ දුර්වලතා හට ගනී.

ප්‍රතිශක්තීකරණ පද්ධතිය පවා දුර්වල කරයි. විසබීජවලට වැඩි නැඹුරුතාවක් දක්වයි. වැඩිපුර ස්වසන ආබාධවලට ලක්වේ. ඒ වගේම හතිය හෝ ඇදුම රෝගීන්ගේ රෝගී තත්ත්වය තවත් වර්ධනය කරයි.

අපේ හම හෙවත් චර්මයටද මෙය බලපෑම් එල්ල කරයි. දැඩි පීඩනය හේතුවෙන් අපේ හමේ කුරුළෑ ඇති වීම, විවිධ චර්ම රෝගද ඇති කරයි. ආහාර මාර්ග පද්ධතිය ගත්තත් ආහාර දිරවීම වෙනස් වේ. නිරන්තරයෙන් මළ පහ කිරීමට අවශ්‍ය වීම මළ පහ කිරීමේ පුරුද්දේ යම් යම් වෙනස්කම් ඇති වීම සිදු විය හැකියි. අඹු සැමියන්ගේ ලිංගික ජීවිතය පවා සාමාන්‍ය පරිදි ගත කිරීමට ඉඩ නොලැබේ. මද සරු භාවය, දරුපල නොමැති වීම ආදී තත්ත්ව දිගුකල් ආතතියෙන් පෙළෙන පුද්ගලයන් අතර සුලබව දක්නට ලැබේ.

ආතතිය තත්ත්වය අපේ සිරුරේ සෑම පද්ධතියකටම හානි කළ හැකි බව ඔබට වැටහෙනු ඇත. ආතතිය අඩු කර ගැනීමෙන් ඉහත සියලුම සංකූලතාවලින් මිදිය හැකිය. ආතතිය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමෙන් ශාරීරික වශයෙන් ඉහත කී පද්ධතිවල කඩා වැටීම් සිදු නොවන අතර චිත්ත ඒකාග්‍රතාවද පවත්වා ගැනීමට හැකි වනු ඇත.

ආතතියෙන් තොර ඉතා සැහැල්ලුවෙන් සිටින ඔබගේ මුහුණ පවා ප්‍රියමනාප වේ. ඔබ සෙසු පිරිස අතර ඉතා ප්‍රියමනාප වනු ඇත. බොහෝ පුද්ගලයන් ආතතිකාරී පුද්ගලයන් සමග ජීවත් වීමට පවා අකමැතිය.

ආතති කළමනාකරණය කරන්නේ කෙසේද යන්න අත්‍යවශ්‍ය අංගයකි. විද්‍යාත්මක වශයෙන් නිවැරැදිව ආතති කළමනාකරණය පිළිබඳ ක්‍රමෝපාය 02ක් මගින් දක්වා ඇත. එනම් ගැටලු මත පදනම් වූ ආතති කළමනාකරණය සහ හැඟීම් මත පදනම් වූ ආතති කළමනාකරණය යන්නයි.

ගැටලු මත ආතති කළමනාකරණයේදී ක්‍රියා කළ යුතු අයුරු ප්‍රධාන පියවර කිහිපයකි.

01)  ගැටලු විස්තරාත්මකව විසඳා ගැනීම හා තීරණ ගැනීම

අප හැමෝටම එදිනෙදා ජීවිතයේ විවිධ ගැටලුකාරී අවස්ථා ඇතිවේ. මෙම ගැටලු, ඒවායේ ස්වභාවය, නිසි පරිදි හඳුනා ගැනීම කළ යුතු වේ. ප්‍රශ්නය කුමක්ද කියා නිවැරැදිව අර්ථ නිරූපණය කර ගැනීමෙන් ප්‍රශ්නය නිරාකරණය කිරීමට පහසු වනු ඇත.

02)  එදිනෙදා ජීවිතය සංවිධානාත්මක කර ගැනීම

ප්‍රශ්නවලට ඇති විසඳුම් මොනවාද යන්න ලැයිස්තු ගත කිරීමයි. මින් ප්‍රශස්ථම විසඳුම තෝරා ගත හැකිය.

03)  කාල කළමනාකරණය

මෙහි පියවර කිහිපයකි. තමන්ට දවසින් කොපමණ නිදහස් වෙලාවක් තිබේද කියා දැන ගත හැකිය. ඒ අනුව කාලයට වටිනාකමක් දිය හැකිය. ප්‍රමුඛතා අනුපිළිවෙළක් සැකසිය හැකිය. තමාට නිම කළ හැකි කාර්යය පමණක් සටහන් කර ගැනීම. වැඩ කල් දැමීමද ආතතියට හේතුවකි. අදාල කාර්යය නියමිත කාල වේලාව තුළදී නිම කිරීම පියවර කිහිපයයි.

04)  තමන්ට විශ්වාස පාර්ශවයකගේ උදව් ලබා ගැනීම

05)  මනෝ චිකිත්සක ප්‍රතිකාර සඳහා යොමු වීම,

06)  ඵලදායී සන්නිවේදනය දියුණු කර ගැනීම

හැඟීම් මත පදනම් වූ ආතති කළමනාකරණයේදී ක්‍රියා කළ යුතු ආකාරය , ක්‍රමෝපාය පහත පරිදි වේ.

සතුට ගෙන දෙන කරුණක් වෙත සිත යොමු කරමින් සිත වෙනතකට ගැන්ම

තම විශ්වාසවන්තයකුට ගැටලුව පැවසීම

යම් ව්‍යායාමයක නිරත වීම

ගැඹුරින් ආශ්වාස ප්‍රාශ්වාස කිරීම

වර්තමානයේ සිහිය තබා ගැනීම

අතීතයේ දුක්බර මතකවලින් සිත නිදහස් කර වර්තමානයේ ජීවත් වීමයි.

තම චිත්ත වේග සඳහා සහාය ලබා ගැනීම

ආතතියෙන් මිදීම සඳහා පිටරටවල භාවිත ජනප්‍රිය ක්‍රමයක් වන සුරතල් සතෙකු ඇති කිරීම ‘Pet therophy ’ක්‍රමය අනුගමනය කිරීම.

ආතතියෙන් මිදීම සඳහා වැරැදි ආකල්ප පසුපස හඹා යාම නවතන්න. එනම් මත්ද්‍රව්‍ය, මත් පැන් පසුපස නොයන්න. තාවකාලික සුවය කෙසේ වෙතත් දිගුකාලීන ශාරීරික මානසික රෝගවලට මත් ද්‍රව්‍ය ප්‍රධාන සාධකයකි. සමහරු අන්තර්ජාලයට යොමු වී වඩියෝ ක්‍රීඩාවල අසීමාන්තිව එල්බ සිටිනවා දැකිය හැකියි. එයද මානසික රෝගී තත්ත්වයකි. අනවශ්‍ය ආකාරයේ බියද ආතති තත්ත්වයට හේතු වන බැවින් ඔබගේ මානසික සෞඛ්‍යය යහපත් කර ගැනීමට හැකි සෑම විටෙකම උනන්දු වන්න.

-සටහන- මාධවී ධර්මරත්න