සීත කාලයත් සමගම වර්ෂාපතනය ඇරැඹීම ආදී දේශගුණික සාධකවල වෙනස් වීම් මත කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඉන්ෆ්ලුවන්සා රෝගී තත්ත්වය දැඩිව පැතිර යාමේ අවදානමක් මතු වෙමින් පවතී. කොළඹ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලින් වාර්තා වන ඉන්ෆ්ලුවන්සා රෝගී දරුවන්ගේද යම් වැඩිවීමක් මේ වනවිට කොළඹ ළමා රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර අංශයෙන් වාර්තා වේ.

රෝගයේ අවදානම

ඉන්ෆ්ලුවන්සා යනු වයිරස් උණ තත්ත්වයකි. මෙය වැඩිහිටි පුද්ගලයන්ටත් දරුවන් අතරත් එකසේ පැතිර යා හැකියි. විශේෂයෙන් පෙර පාසල්, පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථානවල රැඳෙන දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ මේ දිනවලදී වැඩිපුර දක්නට ලැබේ. දරුවන් අතර ඉතා ඉක්මනින් සහ පහසුවෙන් රෝගී තත්ත්වය පැතිර යාමට හැකි ඉඩකඩද වැඩියි.

රෝග ලක්ෂණ

මෙහි රෝග ලක්ෂණ බොහෝදුරට කොවිඩ් -19 රෝග ලක්ෂණ හා සමානවේ. උණ , ඇඟපත රිදීම, කැස්ස, හෙම්බිරිස්සාව මෙහි මූලික ලක්ෂණ වන අතර ඇතමකුට වමනය යාම වැනි තත්ත්වද තිබිය හැකියි.

රෝගී දරුවන් පාසල් යවන්න එපා

ඉහත රෝග ලක්ෂණ ඇති දරුවන් පාසල්, පෙර පාසල් නොයවා නිවසෙහි තබා ගත යුතුයි. වැඩිහිටි ඔබට ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ ඇත්නම් නිවැරැදිව මුව ආවරණය පැළැඳීමට ක්‍රියා කරන්න. දරුවන් මෙන්ම වැඩිහිටියන් අතරත් මෙහි ව්‍යාප්තිය වේගවත් බැවින් එම තත්ත්වය පාලනය කර ගත යුතුයි. එසේ නොකළහොත් පවුල් පිටින් රෝහල් ගොස් ප්‍රතිකාර ලබා ගැනීමේ තත්ත්වය දක්වා දරුණු වී යා හැකියි.

අවදානම් කණ්ඩායම්

වැසි කාලයේදී ස්වසන රෝග අවදානම කාටත් පොදු වන අතර ස්වසන රෝගවලින් දැනටමත් පීඩා විඳින්නන්ගේ රෝග සංකූලතාද වැඩි වන කාලයකි. එනිසා ස්වසන රෝගවලට ගොදුරු වූවන්, ඇදුම රෝගයෙන් පීඩා විඳින්නන්, දියවැඩියා රෝගීන්, පීනස රෝගීන් මෙන්ම ගර්භනී කාන්තාවන්ද ඉන්ෆ්ලුවන්සා අවදානම් කණ්ඩායම් වශයෙන් හඳුනා ගෙන ඇත. ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය අඩු මට්ටමක පැවැතීම ඊට හේතුවයි.

රෝගීන්ව රැක බලා ගැනීම,පෝෂණය සහ ප්‍රතිකාර

ඉන්ෆ්ලුවන්සා රෝගී ලක්ෂණ පෙන්නුම් කරන දරුවන්ට වෛද්‍ය උපදෙස් මත පැය 6න් 6ට පැරසිටමෝල් ලබා දීම කළ යුතුයි. හෙම්බිරිස්සා ගතිය ඇති රෝගීන් නිතරම පිරිසුදු ලේන්සුවක් භාවිත කිරීමටත් එය සෙසු සාමාජිකයන් හා පරිහරණයෙන් ඉවත් කර තැබීමටත් කටයුතු කරන්න. ඒ වගේම උණ ගතිය පවතීනම් මඳ උණුසුම් ජලයෙන් ඉකිලි සහ කිහිලි තෙත මාත්තු කොට දැමිය හැකියි.

අනෙකුත් දිනවලට වඩා රෝගියාගේ පෝෂණය ගැන අවධානය යොමු කළ යුතුම කාලයකි. සිරුර වයිරසයකට එරෙහිව ප්‍රතික්‍රියා දක්වන බැවින් හොඳ පෝෂණයක් ලැබිය යුතුමයි. උෂ්ණ සහ සිසිල් යනුවෙන් ආහාර වර්ගීකරණයක් සිදු නොකොට සාමාන්‍ය පරිදි රෝගියාට ආහාර ලබා දීම කළ හැකියි. දිනකට බත්, එළවළු සමග බිත්තරයක් හෝ ප්‍රෝටීනමය ආහාරයක් ලබා දීමෙන් ප්‍රතිශක්තිකරණය දුර්වල නොවී පවත්වා ගත හැකිවේ.

නිවසේදී පිස ගත් ආහාර මඳ උණුසුම තිබියදීම රෝගියාට පිළිගැන්වීම සුදුසුය. විශේෂයෙන් මේ කාලයේදී රෝගියාට දියර ආහාර වැඩිපුර ලබා දෙන්න. නියමිත පරිදි දෛනික වතුර පරිමාවත් සපුරා ගැනීමට වගබලා ගන්න. සීත කළ ජලය වෙනුවට මඳ උණුසුම් වතුර හැකිතාක් පානය කිරීම සුදුසුයි.

ප්‍රතිශක්තිකරණ එන්නතක්

ලෝකයේ සෙසු රටවල නම් සෑම වසරක් පාසාම සීත සෘතුවේ උදාවත් සමඟ ඉන්ෆ්ලුවන්සාවෙන් වැලකීමට ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා දේ. මේ සඳහා නිර්දේශිත කාණ්ඩ වන්නේ අවුරුදු 60ට වැඩි පුද්ගලයන්, කුඩා දරුවන් ,රෝහල් සේවකයන් සහ පෙනහලු ආසාදනවලින් පෙළෙන්නන්ය.

මෙම එන්නත අපේ රටේද ඇතැම් රෝහල්වල ඇතත් දැනට රටේ උද්ගතව ඇති බේත් හිඟය මත එන්නත තිබේද නැද්ද යන්න නිශ්චිතව කිව නොහැකියි.

සෞඛ්‍ය පුරුදු නතර කරන්න එපා

ඉන්ෆ්ලුවන්සා වයිරස් රෝගය කාලෙන් කාලෙට වෙනස් වෙමින් හා වැඩි දියුණු වෙමින් පැතිර යයි. එබැවින් තව දුරටත් කොවිඩ් වසංගත සමයේදී සෞඛ්‍ය අංශ විසින් හඳුන්වා දුන් සෞඛ්‍ය පුරුදුවලට අනුගත විය යුතුයි. ඒ අනුව ජනයා ගැවසෙන තැන්වලදී නිවැරැදිව මුව ආවරණය පැළැඳීම, සමාජ දුරස්තභාවය සේම දෑත් පිරිසුදුව තබා ගැනීම තවත් කාලයක් යනතුරු කළ යුතුවේ. යහපත් සෞඛ්‍ය පුරුදුවලට වැඩිහිටියන් සේම කුඩා දරුවන්ද නතු වීම තුළ විවිධ රෝග ව්‍යාප්තිය හමුවේ අනවශ්‍ය ආකාරයට බිය වීමට හේතු නිර්මාණය නොවනු ඇත.

-සටහන- මාධවී ධර්මරත්න