බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

කොරෝනා වසංගතය තවම පහව ගොස් නැත. ආසාදිත ලැයිස්තුවද දිනෙන් දින අලුත් වෙමින් ඇත. එවන් වකවානුවකදී අපි අපි ගැනත් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් බොහෝ සෙයින් සිතිය යුතුව ඇත. ඒ කොරෝනා ආසාදනයත් සමඟම දරුවන් අතර තවත් රෝගී තත්ත්වයක් හට ගන්නා බැවිනි.

කොවිඩ් -19 ආසාදනය වීමත් සමඟ දරුවන් අතර ඇති විය හැකි තවත් බරපතළ රෝගී තත්ත්වයක් ගැන මේ දිනවලදී අසන්නට ලැබේ. සයිලන්ට් හයිපොක්සියා silent hypoxia නම් මෙම තත්ත්වයට දරුවන් ගොදුරු වුවද කිසිඳු රෝගී ලක්ෂණයක් බාහිරින් නොපෙන්වන නිසාවෙන් මෙය නිහඬ මාරයකු වශයෙන්ද හැඳින්වීම නිවැරැදිය.

දරුවකුට කොවිඩ් ආසාදිත තාලයේදී මෙන්ම ඉන් සුවය ලද පසුවද මෙකී රෝගය වැළඳීමේ ප්‍රවණතාවක් පවතී.

කොවිඩ් ආසාදිතයකුගේ පෙනහලුවලට හානි කරන අතරම ඉහළ ස්වසන මාර්ගය, පහළ ස්වසන මාර්ගය දුර්වල කර දමයි. පෙනහලුවලට හානි වීමේදී එය කල්තියා දැනගැනීමට නොහැකි වුවත් තරුණ වියේ පසුවන්නන් වන බැවින් පෙනහලු යුගලය ක්‍රියාකාරී වීම ඊට හේතුවයි.

කොවිඩ් රෝගයට ගොදුරුව සුව අතට හැරුණු දරුවන් සුපුරුදු පරිදි දෛනික කාර්යයවල නියැළීම සාමාන්‍ය දෙයකි. විශේෂයෙන් මේ කාලයේදී ඇවිදීම, දිවීම මෙන්ම සෙල්ලම් කිරීමේදී වුවද නොදැනුම්වත්ව රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩු වීම සයිලන්ට් හයිපොක්සියා රෝග තත්ත්වයයි.

සාමාන්‍ය පරිදි දරුවා ක්‍රියාශීලී වුවද මෙකී තත්ත්වයට දරුවා නිහඬවම ගොදුරු වී සිටිය හැකියි. කිසිඳු ලක්ෂණයක් බාහිරින් නොපෙන්වන නිසා කොවිඩ් ආසාදිත දරුවන් දිනකට දෙතුන් වතාවක් හෝ ඔක්සිජන් ප්‍රතිශතය මැන බැලීම කළ යුතුයි.

සාමාන්‍යයෙන් රුධිරයේ නියමිත ඔක්සිජන් ප්‍රමාණය අඩුවූ විට හුස්ම ගැනීමේ අපහසුවක්, කතා කිරීමේ අපහසුවක්, දැඩි ආයාසයකින් කතා කිරීමට සිදු වීම වැනි ස්වභාව පෙන්නුම් කළද මෙකී තත්ත්වයේදී කිසිඳු පූර්ව ලක්ෂණයක් පෙන්නුම් නොකිරීමම විශේෂත්වයකි.

දරුවා සෙල්ලම් කිරීමෙන් අනතුරුව ඔක්සිජන් ප්‍රතිශතය මැන බැලීමේදී එය සියයට 94ත් සියයට 95ටත් වඩා අඩු අගයක් ගනී නම් හෝ දරුවා සාමාන්‍ය පරිදි සිටිනා විට එය සියයට 96ට වඩා අඩු නම් වහාම දරුවා රෝහලක් කරා ගෙන යා යුතුයි.

ඔක්සිජන් මට්ටම මැනීමේ උපකරණය වන පල්ස් ඔක්සිමීටරය සෑම නිවසකම නොමැති වුවත් සිරුරේ ඔක්සිජන් ප්‍රතිශතයේ අඩු වීම් සරලව සොයා ගත හැකි ක්‍රම කිහිපයකි. ඒ අනුව දරුවා දිනකට තත්පර 30ක් වාර 10ක් හෝ 15ක් වන පරිදි හිඳ ගැනීමත් නැගිටීමත් කළ යුතුයි. මෙම ක්‍රියාකාරකමේදී හුස්ම ගැනීමේ යම් වෙනසක් සිදුවේද යන්න නිරීක්ෂණය කළ යුතුයි. තවද හුස්ම අල්වාගෙන එක දිගට එකේ සිට දහය හෝ විස්ස දක්වා ගණන් කිරීම කළ හැකියි. එසේම දිවීම වැනි කාර්යයක නියැළී තත්පර 30ට පසු දරුවාගේ හුස්ම ගැනීමේ යම් අපහසුවක් , වේගයෙන් හුස්ම ගැනීමක් සිදුවනවාද යන්න බැලිය යුතුයි. වරින් වර සිදු කෙරුණු මතක් කිරීමක් ලෙස වසංගත කාලයකදී අපි පෙනහලුවල නිරෝගීතාව රැක ගත යුතුයි.

විශේෂයෙන් මෙම මතක් කිරීම සිගරට් භාවිත කරන පිරිසටයි. සිගරට්වලට ඇබ්බැහි වූ පුද්ගලයන් දිගු කාලයක් පුරාම විස දුම ආඝ්‍රාණය කිරීම නිසා හානි කර ගන්නේ තමන්ගේම පෙනහලු යුගලයයි. සිගරට් දුම එය භාවිත කරන්නා සේම නිවසේ අනෙකුත් සාමාජිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වයටද දැඩි ලෙස හානි කරයි. කොවිඩ් ව්‍යාප්තිය වැඩි මේ කාලයේදී පෙනහලු රැක ගැනීම ඉතාම වැදගත් සාධකයකි.

ඒ අනුව මේ කාලයේදී හතියට ප්‍රතිකාර ගන්නා දරුවන් නිසි පරිදි ප්‍රතිකාර ලබා ගෙන එම තත්ත්වය පාලනය කිරීමට උනන්දු වන්න. ඉන්හේලර් ප්‍රතිකාරය ගන්නා දරුවන්ද තමන්ගේ ප්‍රතිකාර නියමිත පරිදි ලබා ගැනීම ගැන අවධානය යොමු කළ යුතුයි. එසේම හතිය ඇති රෝගී දරුවන් උදෙසා විශේෂයෙන් හඳුන්වා දී ඇති හුස්ම ගැනීමේ ව්‍යායාම් ක්‍රම දිගටම සිදු කළ යුතුවේ. හතිය කල් අල්ලා පවතී නම් ඉක්මනින් වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුයි. මුල් කාලයේදී කොවිඩ් ආසාදනය වූ දරුවන් අතර වඩාත් සුලබව දැකිය හැකි වූයේ ඇල්ෆා ප්‍රභේදයයි. ඒත් අද වනවිට ඩෙල්ටා ආසාදිතයන් වාර්තා වීම වැඩි වී ඇති අතර එහි ඉක්මන් ව්‍යාප්තිය හමුවේ ආසාදිත දරුවන් අතර රෝග සංකූලතාද වැඩි වී ඇත.

කොවිඩ් ආසාදිත දරුවන්ටද මේ වනවිට නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය හඳුන්වා දී ඇති අතර එය ඉතාමත් සාර්ථක වී ඇත. අවුරුදු 02ට අඩු දරුවන් කොළඹ ළමා රෝහලේ නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කෙරේ. වයස අවුරුදු 02ත් 14ත් අතර වියේ පසුවන කොවිඩ් ආසාදිත රෝග ලක්ෂණ නොපෙන්වන හෝ සුළු රෝග ලක්ෂණ ඇති දරුවන් නිවෙස්වල ප්‍රතිකාර සඳහා යොමු කොට ඇත. මෙහිදී හුස්ම ගැනීමේ යම් අපහසුවක්, වමනය යාම, බඩඑළිය යෑම ආදී රෝග ලක්ෂණ ඇත්නම් රෝහල් ගත වීමට උපදෙස් ලබා දී ඇත. නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයේදී අදාල පහසුකම් සපුරා තිබිය යුතු අතර සන්නිවේදන පහසුකම තිබීමද අවශ්‍ය කරුණකි.

රෝගී දරුවාගේ ප්‍රතිශක්තියද මේ මොහොතේදී ඉතාම වැදගත් සාධකයකි. ඒ අනුව ඔහුට හැකි තරම් දියර ජාති ලබා දෙන්න. බත් කැඳ, සුප් වතුර, ස්වාභාවික පලතුරුවලින් සකසා ගත් පාන වර්ග, වතුර වුණත් බීමට හැකි මඳ උණුසුමෙන් පානය කිරීමට ඉඩ හරින්න. කිසිම විටෙක සීතල වූ කෑම රෝගී දරුවාට ලබා දීම සුදුසු නොවේ. කොවිඩ් රෝගයට සේම පසුව ඇතිවන රෝගී තත්ත්ව ආදියටත් ප්‍රතිශක්තිය වඩවා ගැනීම කියන කාරණය ඉතාම වැදගත්ය. විවිධ රෝගවලින් සුරැකිව සිටීමට මෙන්ම සංකූලතා සහ මරණ වලක්වා ගැනීමටත් ප්‍රතිශක්තිකරණය මහත් රුකුලකි.

ළමයින් උදෙසා දැනට යෝජනා වී ඇති පරිදි එන්නත්කරණය ගැන කතා කිරීමේදී අවුරුදු 12ත් 18ත් අතර දරුවන්ට දැනට ලබා දීමට සුදුසු බවට පිළිගෙන ඇති එන්නත් වර්ග දෙකකි. ඒ ‘මොඩර්නා සහ ෆයිසර්‘ එන්නත් ලැබෙන ආකාරය අනුව දරුවන්ට ලබා දීමට ඇකි වනු ඇත. මේ සම්බන්ධව වැඩි දුරටත් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සාකච්ඡා කරමින් සිටී.

ඒ අනුව ඉහත වයස් කාණ්ඩවලට අයත්, විවිධ සංකූලතා සහ නිදන්ගත රෝග ඇති දරුවන්ට ප්‍රමුඛතාව හිමි වේ. ඒ වගේම දැනට වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ගේ එන්නත්කරණ කටයුතු අවසන් වූ වහාම දරුවන්ගේ එන්නත්කරණ වැඩපිළිවෙළද ඇරැඹීමට නියමිතයි. නැවත වතාවක් රටේ ඇඳිරිනීතිය පනවා ඇති නිසා බොහෝ දුරට මෙහි වාසිය ඉදිරි දිනවලදී අපට වඩාත් පැහැදිලිව දැක ගැනීමට හැකි වනු ඇත. දරුවන්ට රෝග ලක්ෂණ පැවසීමට නොහැකි වුණත් මේ අවදානම ඇති මොහොතේදී ඔවුන්ව රැක බලා ගැනීම මවුපියන් සතු වගකීමකි.

-සටහන – මාධවී ධර්මරත්න