(ටෝනි කරුණානායක )

ගම්පහ ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්ත විමර්ශන ඒකකයකින් කොවිඩ්  ආසාදිතයින් පොකුරක් නිර්මාණය වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අද (06) සඳහන් කළේය .

එම විමර්ශන ඒකකයේ  ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් සහ  නිලධාරිනියන් 06ක් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බවත් එම ආසාදිතයින්  හය දෙනා රෝහල්ගත කිරීමට පියවර ගත් බවත් සෞඛ්‍ය අංශ නිලධාරීහු පැවසූහ .

එම ආසාදිත පොලිස් නිලධාරීන් සහ නිලධාරීනියන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන්  මෙන්ම ඔවුනගේ පවුලේ උදවිය ඇතුළු 50 කට ආසන්න පිරිසක් නිරෝධායන ට යොමු කිරීමට කටයුතු කළ බව ද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසයි .

එසේ නිරෝධායනයට යොමු කළ පිරිස අතර ගම්පහ පොලිස් නිල නිවාස 04 ක පදිංචි පොලිස්   නිලධාරීන් හා නිලධාරිනියන් ඇතුළු ඔවුනගේ පවුලේ උදවිය සිටින බව සෞඛ්‍ය අංශ පවසයි .