IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රිෂාඩ්ට එරෙහි විශ්වාස භංගයට කඹ ඇදිල්ලක්

පාස්කු ඉරිදා සිදුවීම් මාලාවෙන් පසුව ආරක්ෂක අංශ දැඩි ප්‍රයත්නයක් දරා රටේ පැවැති අරාජික තත්ත්වය හා අනාරක්ෂාව තරමක් දුරට හෝ සමනය කිරීමට පියවර රැසක් ගත්තේය. ඒ අනුව යාන්තමින් රටේ සාමය හා ජනජීවිතය යථාතත්වයට පත්වෙමින් තිබියදී සඳුදා රාත්‍රියේ එම තත්ත්වය කනපිට හැරුණේය. තවත් අන්තවාදීන් පිරිසක් මිනුවන්ගොඩ, කුරුණෑගල ඇතුළු ප්‍රදේශ ගණනාවක ප්‍රචණ්ඩත්වය හා අන්තවාදය වැපිරීමෙන් ඒ තත්ත්වය උද්ගතවූයේය. කෙසේ වෙතත් නැවතත් රට සාමාන්‍ය අතට හැරෙමින් පවතී. පාසල්වලට පැමිණෙන සිසුන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන අතර, රජයේ හා පෞද්ගලික අංශයේ කාර්යාල කටයුතු බොහොමයක් සාමාන්‍ය අතට පත්වෙමින් පවතී. අන්තවාදය හා ප්‍රචණ්ඩත්වය මර්දනය කිරීම වෙනුවට අතරමැදට දේශපාලන මැදිහත්වීම නිසා ප්‍රශ්න තවදුරටත් දුරදිග යමින් තිබෙන බවට ද විවිධ ආරංචි පැතිර යමින් තිබේ.

“ත්‍රස්තවාදීන්ගේ කටයුතු බොහෝ දුරට අඩාලයි. ඔය කියන පිරිසට ආයෙත් සංවිධානය වීම අමාරුයි. දැන් ප්‍රශ්නය වෙනත් පැත්තකට යමින් තිබෙනවා. සමහරු දේශපාලන වාසි ගන්න උත්සාහ ගන්නවා” යැයි ආණ්ඩුවේ දේශපාලනඥයෝ විපක්ෂයට ඇඟිල්ල දිගු කරමින් චෝදනා කරති. එහෙත් විපක්ෂය පවසන්නේ ආණ්ඩුවේ නොහැකියාව මෙම සිද්ධීන් මාලාවෙන් පැහැදිලි වෙන බවය. “ආණ්ඩුවට තවමත් රට සාමාන්‍ය අතට පත්කර ගන්න බැරිවුණා. ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැහැ. නායකත්වයක් නැහැ. ඒ නිසා රට දිගින් දිගටම අරාජික තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. ආණ්ඩුව වහා මැදිහත් වී රට ඉතා කඩිනමින් නැවත සාමාන්‍ය තත්ත්වයට පත්කර ගත යුතුයි” යැයි විපක්ෂයේ දේශපාලනඥයෝ පවසති.

මුස්ලිම් රටවල තානාපතිවරුන් ඉකුත් බදාදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සමඟ කොළඹදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ. සෞදිඅරාබිය, බංග්ලාදේශය, තුර්කිය, ඉරානය, ඉරාකය ඇතුළු රටවල් කීපයකම තානාපතිවරු හා තානාපති නිලධාරීහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සමඟ කොළඹදී පැවැති එම විශේෂ සාකච්ඡාවකට එක්ව සිටියහ. එහිදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා රටේ පවතින ආරක්ෂක තත්ත්වය හා අනෙකුත් කරුණු තානාපතිවරුන් හමුවේ සවිස්තරාත්මක විස්තරයක් කළේය. එහිදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඉඟිකර තිබුණේ පාස්කු ඉරිදා සිදුවීමට යම් බාහිර බලපෑමක් තිබෙන්නට ඇති බවය. මේ අතර ආණ්ඩුව දිවයින පුරා සියලුම පොලිස් ස්ථානවලට යතුරුපැදි බලකායක් ලබාදීමට තීරණය කර ඇතැයි ඔහු දන්වා සිටියේය. ඒ අනුව සෑම පොලිස් ස්ථානයකටම අට දෙනකුගෙන් සමන්විත යතුරුපැදි බලකායක් ලබාදීමට නියමිතය. යුද හමුදාවේ සෙබළුන්ට ද එම යතුරුපැදි ලබාදීමට නියමිතය. පොලිස් බල ප්‍රදේශයේ යම් ආරක්ෂක ගැටලුවක් මතුවූ වහාම එම සෙබළුන් යතුරුපැදිවලින් ගොස් තත්ත්වය පාලනය කිරීමට මැදිහත්වීම එහි අරමුණ වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉකුත්දා චීනයේ නිල සංචාරයක නිරත වූයේය. බීජිං අගනුවරදී ඉකුත් බදාදා ආරම්භ වූ ආසියානු ශිෂ්ඨාචාර පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට සහභාගි වීම එහි අරමුණ වූ අතර, එහිදී ජනාධිපතිවරයා චීන ජනාධිපති ෂී-ජින්පින් හමුවී සාකච්ඡා කළේය. සාකච්ඡාවට අමතරව ආරක්ෂක ගිවිසුමකට ද දෙරටේ රාජ්‍ය නායකයෝ අත්සන් තැබූහ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ආරක්ෂාව වෙනුවෙන් චීනය මැදිහත්වන්නේ චීනය සතු දේපොළ පිළිබඳව උනන්දුව නිසා බවය. කොළඹ ෂැංගි÷්‍රලා හෝටලය, චීන දේපොළක් වන අතර, චීනය ශ්‍රී ලංකාවේ රුපියල් කෝටි ගණනක් ආයෝජන ද සිදු කර තිබේ. එම නිසා තමන්ගේ ආයෝජන තිබෙන රටවල්හි ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් චීනය සුවිශේෂී උනන්දුවක් දක්වන බව ද පැවසේ.

ඇමැති රිෂාඞ් බදියුදීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරු කටයුතු කරමින් සිටිති. විශ්වාසභංග යෝජනාවේ පෙරමුණ ගෙන සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝය. රතන හිමියන් පවසන්නේ ඇමැති රිෂාඞ් බදියුදීන් අන්තවාදී හා ත්‍රස්තවාදී කණ්ඩායම්වලට උදව් උපකාර කිරීම නිසා ඔහු ඇමැති ධුරයෙන් ඉවත් කළ යුතු වන බවය. කෙසේ වෙතත් ඇමැති රිෂාඞ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට මේ වනවිටත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අත්සන් තබා තිබේ. එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ තවත් මන්ත්‍රීන් පිරිසක් ඒ පිළිබඳව මත තුනක් දරන බවක් පෙනේ. “රතන හාමුදුරුවෝ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරදවන්න මුල්වුණා. එහෙම කෙනෙකුගේ යෝජනාවකට අපි මොකටද සහාය දෙන්නේ” යැයි එක් කොටසක් සඳහන් කරති. තවත් පිරිසක් සඳහන් කරන්නේ “මේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගේනවා හැරෙන්නට එක් ඇමැතිවරයකුට පමණක් එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමෙන් ඵලක් නොවන බවය”. අනෙක් පාර්ශ්වයේ අදහස වී ඇත්තේ “රිෂාඞ් බදුර්දීන්ට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට එජාප මන්ත්‍රීවරුන් කටයුතු නොකරන නිසා එය පරාජයට පත්විය හැකි බවය.” එම නිසා එවැනි විශ්වාසභංගයකින් ඵලක් නොවන බව ද ඔවුහු කියති. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද දෙලොවක් අතර තනි වී ඇත්තේ එම විශ්වාසභංග යෝජනාවට ඡන්දය ලබා දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීන්දුවක් ගත නොහැකිවය. ඇතැම් එජාප මන්ත්‍රීවරුන්ට රිෂාඞ් ඇමැතිවරයාට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමේ සැබෑ වුවමනාවක් පැවතිය ද පක්ෂය වෙනත් තීන්දුවක් ගතහොත් ඊට එරෙහි විය නොහැකි බව එම මන්ත්‍රී පිරිසගේ අදහසය.

මංගල සමරවීර ඇමැතිවරයා කලින් කලට ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන දේශපාලනඥයෙකි. ඔහු මීට පෙර කාදිනල්තුමා සමඟ මත ගැටුමක් ඇති කර ගත්තේය. මංගල සමරවීර අලුතින්ම ඇති කර ගෙන ඇත්තේ “මේ රට සිංහල බෞද්ධ රටක් නොවන බව” කීමේ අවුලකි. මංගලගේ කතාවට විපක්ෂයේ දේශපාලනඥයෝ පහරපිට පහර දෙමින් සිටිති. ඇතැම් බෞද්ධ නොවන දේශපාලනඥයින් පවා මංගලගේ කතාව අනුමත කරන්නේ නැත. ඇමැති මනෝ ගනේෂන් සඳහන් කරන්නේ “ශ්‍රී ලංකාව බෞද්ධ රටක් තමයි. අපි ඒක පිළිගන්න ඕනේ. ඒක ව්‍යවස්ථාවෙත් සඳහන් වෙනවා” කියාය. මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ ඉන්දික අනුරුද්ධ සහ ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීවරු ඉකුත්දා පොලිස් මූලස්ථානයට ගොස් මංගල සමරවීර ඇමැතිවරයාගේ කතාවට එරෙහිව පැමිණිල්ලක් ද කළහ.

පාස්කු ඉරිදා සිදුවීමෙන් පසුව ඇමරිකාව, නෙදර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ මාලදිවයින යන රටවල තානාපතිවරු විපක්ෂ නායකවරයා හමුවූහ. එම හමුවීම් කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවසෙහිදී පැවැති අතර, ඒ ඒ රටවල තානාපතිවරුන් හා මහින්ද රාජපක්ෂ විපක්ෂනායකවරයා අතර හමුවීම් වෙන වෙනම සිදුවූයේය. ආරංචිමාර්ග සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වර්තමාන ආරක්ෂක තත්ත්වය, සංචාරක ව්‍යාපාරය ආදී කරුණු ගණනාවක් ගැන එම සාකච්ඡාවලදී සාකච්ඡාවට භාජන වූ බවය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉකුත් සිකුරාදා පස්වරුවේ මහනුවර බලා පිටත්ව ගියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේගේ නිවසෙහි රාත්‍රී භෝජනය ගත් මහින්ද පසුදා දළඳා මාලිගාව වැඳ පුදා ගත්තේය. මහින්ද සමඟ මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, දිලුම් අමුණුගම සහ ලොහාන් රත්වත්තේ ද මහින්ද සමඟ දළදා සමිඳුන් වැඳපුදා ගත්හ. ඉන් අනතුරුව මල්වතු මහනාහිමි, මල්වතු අනුනාහිමි, අස්ගිරි මහ නාහිමි, අස්ගිරි අනුනාහිමි බැහැ දැක පසුව ගැටඹේ රාජමහා විහාරයට ගොස් කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. ඉන් පසුව ඉරිදා උදෑසන ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත්තේය. රුවන්වැලි සෑය ද වැඳපුදා ගත් විපක්ෂනායකවරයා, කප්රුක පූජාවක් ද කළේය.

මේ අතර, විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඉකුත් බදාදා විජේරාම නිල නිවසහිදී රැස්වූයේය. එහිදී මහින්ද රාජපක්ෂ විපක්ෂනායක කීවේ “මම අද ඔයගොල්ලන්ට එන්න කිව්වේ රිෂාද් බදුර්දීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගැන කතා කරන්නයි” කියාය.

ඒ අවස්ථාවේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලන්සා මහතා මෙහෙම කතාවක් කළේය.

“සර් මම කතෝලික. මගේ ප්‍රදේශයේ මිනිස්සු හුඟ දෙනෙක් බෝම්බ ප්‍රහාරවලින් මියගියා. මේ විශ්වාසභංග යෝජනාවට අත්සන් කරන්න මට කවුරුත් කිව්වේ නැහැ. ඊයේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මට කතා කළා. පාර්ලිමේන්තුවට එන්න කිව්වා විශ්වාසභංගයට අත්සන් කරන්න. ඊට පස්සේ අද ගෲප් එකට එන්න කිව්වා. දැන් මේක ෆේස්බුක් දාලා. අපේ අත්සන් නැහැ. ඒත් අපේ මිනිස්සු අහනවා මගේ අත්සන කොහෙද කියලා” යැයි ලාන්සා කීවේය.

“මේ වගේ වැඩ කරන්න එපා. මෙහෙම උනාම අපේ මන්ත්‍රීවරු අපහසුතාවයට පත්වෙනවා. මොනවද මේ කරන වැඩ” යැයි මහින්ද කීවේය. පසුව ප්‍රශ්නය නිමාවට පත්වූයේ වෙනත් මාතෘකාවක් කරළියට පැමිණි නිසාය.

මේ අතර එජාපයේ ද ආන්දෝලනාත්මක සිද්ධියක් ඇති වූයේය. පක්ෂයේ මෑත ඉතිහාසයේ නොවුණු ආකාරයේ දෙයක් සිද්ධවිය. වැලිගම නගර සභාවේ සභාපති රෙහාන් විජේරත්න මහතා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට දීර්ඝ ලිපියක් යවමින් එජාප නායකත්වයෙන් අයින් වෙන්නැයි ඉල්ලා සිටියේය.

මේ ලිපිය මාධ්‍යයට ඉදිරිපත් කිරීම නිසා පක්ෂයේ කිනම් තත්ත්වයක් උද්ගත වේ දැයි කිව නොහැක. මේ සම්බන්ධයෙන් එජාපයේ පහළ තලයේ කොටස් තුෂ්නිම්භූත වී විමසිල්ලෙන් බලා සිටිති.

මේ අතර එජාපය වැලිගම නගර සභාපතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණයකර ඇත.



අදහස් (4)

රිෂාඩ්ට එරෙහි විශ්වාස භංගයට කඹ ඇදිල්ලක්

Sisira Friday, 17 May 2019 08:33 PM

වැලිගම නගර සභාවේ නගරාධිපති වගේ කොන්ද පන තියන මිනුස්සු නැති කම එක්සත් ජාතික පක්ෂයේ අභාග්‍යයක්

:       0       0

sena Saturday, 18 May 2019 04:12 PM

බොහෝ මන්ත්‍රීවරුන්ට රනිල්ට හා රිශාද්ට විරුද්දව කට අරින්න බැරුව ඉන්නේ ඔවුන්ගෙන් ඇති පදමට සල්ලි අරගෙන තිබීමය.....

:       0       0

ranjith Saturday, 18 May 2019 11:47 PM

කඹ ඇද ඇද හිටපල්ලා... ඔක්කොම ඡන්ද කෑදරකමට ඡන්දෙ මොවුන් ඔක්කොම ප්‍රතික්ෂේප කරන්නේ ඕනේ...

:       0       0

chandima Sunday, 19 May 2019 02:39 AM

එකට එකතුවෙලා මෙතරම් කාලයක් හොරකපු උන් එකෙකුගේ බෙල්ල කපයිද? අපට පෙනෙන්න සංදර්ශනයක් පෙන්නලා දින වරද්දපු පෙත්සමක් දුන්න. දැන් තව සංදර්ශන පෙන්නනවා.

:       0       72

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 465 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2216 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1667 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site