රටේ ආර්ථිකයට විනකරන මැති ඇමැතිවරු මේ රටේ ඕනෑතරම් සිටිති. ජනතාව වෙතින් ඒ බව ඇතැම් අවස්ථාවලදී ප්‍රසිද්ධියේ සඳහන් වෙයි. එහෙත් තම ඇමැති සගයන් අතින්ම එවැනි අවර ගනයේ වැඩ එළියට ඇදෙන්නේ කලාතුරකිනි. පසුගියදා පාර්ලිමේන්තුවේදී කලාතුරකින් සිදුවන ඒ වැඩේ සිදුවී තිබිණි.
ලංකා විදුලිබල මණ්ඩලයට වසර හතරක් තුළදී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පමණක් හයදහසක පිරිසක් බඳවාගෙන ඇතැයි රවි කරුණානායක ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්ව මීට හේතුපාදක විය. එකම දිස්ත්‍රික්කයෙන් එම ආයතනයට මෙපමණ සේවක සංඛ්‍යාවක් බඳවාගැනීම ගැටලු සහගත බව ද ඇමැතිවරයා තවදුරටත් කියා තිබිණි.
වසර හතරක් තුළදී විදුලිබල මණ්ඩලයට මෙතරම් සේවක සංඛ්‍යාවක් බඳවා ගැනීම ගැටලු සහගත කරුණක් පමණක් නොව ආර්ථික ඝාතනයක් බව ද පෙන්වාදීමට කැමැත්තෙමු. රාජ්‍ය ආයතනවල රැකියාවලට මෙරට තරුණ තරුණියන් බඳවා ගැනීම වැරැද්දක් යැයි අපි නොකියමු. එහෙත් විදුලිබල මණ්ඩලය වැනි හොම්බෙන් යන ආයතනයකට බස් එකකට සෙනඟ පටවන්නා සේ රැකියාලාභීන් ඇතුළු කිරීම එම ආයතනයේ ගෙල මිරිකීමකි. එසේම එය තමන්ගේ දේශපාලන බලය ව්‍යාප්ත කර ගැනීම සඳහා කිසියම් ඇමැතිවරයකු යෙදූ උප්පරවැට්ටියකි. එකම දිස්ත්‍රික්කයක දහස් ගණනකට මෙවැනි “රැකියා දන්සලක්” දැමීම ආර්ථිකයට හානිකර වැඩක් බව කිවයුතු නැත.
මේ වැඩේ කළ දේශපාලනඥයා ඇමැතිවරයකුම විය යුතුය. රජයේ රස්සා සැපයීමේ ‘කොන්ත්‍රාත්තුව’ තනිකරම ඇමැතිවරුන් අතේ පවතින බවට ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා එල්ලවීම ඊට හේතුවය. මන්ත්‍රීවරයකුට පමණක් නොව නියෝජ්‍ය හෝ රාජ්‍ය ඇමැතිවරයකුට ද රැකියා ලබාදීම මහත් අසීරු කටයුත්තක් බව ද වරින්වර අසන්නට ලැබේ. ඒ අතින් බලන කල විදුලිබල මණ්ඩලයට රැකියා කිහිපයක් නොව හයදහසක්ම ලබාදීමෙන් මේ ඇමැතිවරයා තම ‘බලය’ එළිපිටම පෙන්වා තිබේ.
මේ වැඩේ දේශපාලන සදාචාරය අතින් අවර ගනයට වැටෙන්නේ විදුලිබල මණ්ඩලය එදිනෙදා කටයුතු පවා කර ගන්නේ භාණ්ඩාගාරයේ පිහිටෙන් බව රටම දැන සිටින බැවිනි. පසුගිය වසරේ (2018) මැද භාගයේදී නිකුත් වූ මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට අනුව 2017 වසර අවසන් වනවිට විදුලිබල මණ්ඩලයේ දේශීය ණයගැති භාවය රුපියල් බිලියන 177ක් විය. ‘රැකියා දන්සලේ’ කෙරුම්කාරයා තවත් හයදහසක් මණ්ඩලයට ඔබා ඇත්තේ එතරම් ණයගැති භාවයක් පවතින මේ ආයතනයටය. රාජ්‍ය ආයතනවල අධික ණය බර අවසානයේ වැටෙන්නේ රටේ පොදු මහජනතාවගේ කරපිට මත බව ඇමැතිවරුන් නොදැන සිටිය නොහැක.
රටේ, රජයේ හෝ රාජ්‍ය ආයතනවල හෝ රැකියා ලබාදීමේදී බොහෝ අවස්ථාවලදී නිසි බලධාරියා වන්නේ අදාළ දෙපාර්තමේන්තු හෝ ආයතනවල රේඛීය අමාත්‍යවරයාය. නිසි ලෙස පැවැත්වෙන තරග විභාගයකින් සුදුස්සන් තෝරාගැනීම සිදුවන්නේ කිසියම් නිශ්චිත විෂයයන් සම්බන්ධයෙන් පමණි. එසේ නොවන අවස්ථාවල ඇමැතිගේ ලියුමට සියලු සුදුසුකම් යටවෙයි. එහෙත් කෑගල්ලේ ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරුන් දෙදෙනකුම ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ පාක්ෂිකයන් විදුලිබල මණ්ඩලයට ඇතුළත් කිරීමට අවස්ථාවක් නොලැබුණු බවය. එසේ වූයේ පාඩු ලබන රජයේ ආයතනයකට තවත් පුද්ගලයන් ඇතුළු කර එම ආයතනය තවදුරටත් සුදු අලියකු කිරීමේ පාපකර්මයට හවුල් නොවීමට ගත් තීන්දුවක් නිසාද නැතහොත් රැකියා ඇබෑර්තු කෝටාව තමන්ගේ අතට පත් නොවීම නිසාදැයි අපි නොදනිමු. එහෙත් කබීර් හෂීම් සහ චම්පික ප්‍රේමදාස දෙදෙනාම තමන් විදුලිබල මණ්ඩලයට පාක්ෂිකයන් ඇතුළු නොකළ බවට කර ඇති ප්‍රකාශය අපි පිළිගනිමු. එසේම රවි කරුණානායක විෂයභාර ඇමැතිවරයා කියා ඇති පරිදි මේ සියලු බඳවා ගැනීම් පිළිබඳ සම්පූර්ණ විස්තරයක් විදුලිබල අමාත්‍යංශය වැය ශීර්ෂය පිළිබඳව අය-වැය කාරක සභා විවාදය අවස්ථාවේදී සභාවට ඉදිරිපත් කරන බවට වූ පොරොන්දුව ඒ අයුරින්ම ඉටුකෙරෙනු ඇතැයි ද අපි විශ්වාස කරමු.
මෙහිදී විශේෂයෙන්ම පෙන්වාදිය යුත්තේ මේ ආකාරයේ ලෝකය හිනස්සන ‘රැකියා දන්සල්’ දමා රටේ විරැකියා ප්‍රශ්නයට විසඳුම් සෙවිය නොහැකි බවය. මේ රජය බලයට පත්වූයේ රැකියා දස ලක්ෂයක් ඉදිරි වසර 05ක කාලය තුළදී උත්පාදනය කරන බවට වූ පොරොන්දුවක් ද සමඟිනි. මේ වනවිට එම දසලක්ෂයේ ඉලක්කයට කුමක් වීදැයි සොයාබලන කිසිවකුත් නැත. එහෙත් රැකියා සුලබ කිරීම මේ ආකාරයට සිදුකළ නොහැක. ඒ සඳහා රටේ නිෂ්පාදනය වැඩි වී ආයෝජන වර්ධනය වී කෘෂිකර්මාන්තය ද සැලසුම් සහගතව දියුණු වීම අවශ්‍යය. එවැනි පසුතලයක් නිර්මාණය නොවී පවතින විට රැකියා සැපයීම සිදුකළ හැක්කේ මේ ආකාරයේ ආයතනත් කාබාසිනියා කොට රටේ ආර්ථිකයේ කොඳු නාරටියත් කඩා බිඳ දමන වැඩපිළිවෙළකින් පමණි. මෙය කෑගල්ලේ වුවත් කළුතර වුවත්, මහනුවර වුවත් වෙනත් දිස්ත්‍රික්කයක වුවත් සිදු නොවිය යුතුය.
රාජ්‍ය ආයතන යනු බලයට පත්වන ආණ්ඩුවලට රැකියා ලබාදෙන මෙවලම් බවට පත්කරගන්නා මේ අදූරදර්ශී ක්‍රියාව වහාම නවත්වා දැමිය යුතු යැයි අපි කියමු. එකී ආයතන රටට ආදායම් උපදවන මෙවලම් බවට පත්කරගත යුතුය. ඒ සඳහා උචිත දූරදර්ශී වැඩපිළිවෙළකට රට වහාම සූදානම් කිරීම රජයේ මැති ඇමැතිවරුන්ගේ ප්‍රබල වගකීමක් බව දැඩිව කියා සිටිමු.
ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන පැවතිය යුතු අතර ඒවායේ බලතල ස්වාධීනව පවත්වාගෙන යාම
මෙවර අලුත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රාජ්‍ය මණ්ඩල - සංස්ථා රස්සා කාර්යාල කරනු එපා