කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න



නිවසේ ඇති දැඩි කරන බලු‍ පැටියාගේ බත් ටික කා යමින් සිටි අල්ලපු නිවසේ බල්ලාට දමා ගැසූ ගලක් මාළු ටැංකියක වැදී බිඳී මාළු ටික මිදුලේ උඩ පැන පැන නටද්දී ඔවුන් බේරා ගැනීම පසෙකලා අල්ලපු නිවැසියන් සමග ගේමක් ඉල්ලා ඇතැයි කියන වයෝවෘද්ධ මවක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 78 හැවිරිදි සිවු දරු මවක් දරුවන් පිරිසක් සමග පදිංචිව සිටියාය. ඇගේ 22 හැවිරිදි මුනුපුරා කාලක සිට නිවසේ විවිධ විසිතුරු මාළු වර්ග කිහිපයක් වීදුරු ටැංකි කිහිපයක වෙන වෙනම ඇති කරයි. නිවසට ගොඩ වෙන ප්‍රධාන උළුවැස්ස දෙපස මාළු ටැංකි දෙකක ලොකු මාළුන් ද නිවස පිටුපසට වන්නට ටැංකි හතරක පැටව් මාළු වෙන වෙනම දමා තිබේ.


මෑතකදී මුණුපුරා බලු‍ පැටවකු ද ගෙනත් නිවස පිටුපස කණුවක බැඳ ඇති කරයි. බලු‍ පැටවා නාවා තුන් වේලටම කන්න දෙන්නේ 78 හැවිරිදි වයෝවෘද්ධ මවයි. මෙම බලු‍ පැටවාට කෑමට දෙන බත් ටික දින කිහිපයක සිට අල්ලපු නිවසේ තඩි බල්ලා ඇවිත් බලු‍ පැටවාට ගොරවා ඔහුගේ බත් ටික කා හෙමින් සැරේ දිව යන අයුරු වයෝවෘද්ධ කාන්තාව දිනක් දුටුවාය.
නිවසට පැමිණ බලු‍ පැටවාට දෙන බත් ටික ගොරවා බල්ලා කා යන බවත් බල්ලා ගැට ගසා ගන්නා ලෙසත් දිනක් අල්ලපු නිවසේ හිමිකාරියට වයෝවෘද්ධ කාන්තාව කේන්තියෙන් පැවසුවාය. පසුව වයෝවෘද්ධ කාන්තාවයි අල්ලපු නිවසේ කාන්තාවයි අතර බලු‍ ප්‍රශ්නය දුර දිග යාමෙන් අසම්මත වචන හුවමාරුවක් ද සිදුව එදින සිට ගෙවල් දෙක අතර අමනාපකමක් ද ඇති විය.
බලු‍ පැටවාට දෙන බත් ටික ඊළග දවසේ කන්න ආවොත් හොද වැඩක් කරනවා යැයි වයෝවෘද්ධ කාන්තාව අවසන් වරටත් අසල්වැසි නිවසේ හිමිකාරියට එදින කෝපයෙන් පැවසුවාය. 
ඉකුත් දිනක සුපුරුදු පරිදි අල්ලපු නිවසේ බල්ලා යළි පැමිණ බලු‍ පැටවාට ගොරවා දී තිබුණු බත් ටික කා යමින් සිටිය දී වයෝවෘද්ධ කාන්තාව ගල් කැට කිහිපයකින් දමා ගැසුවාය. එක ගලක් බල්ලාගේ වැදී කෑ ගසමින් නිවසට දිව ගියේය. තවත් ගලක් නිවසේ කොනක තබා තිබුණු මාළු ටැංකියක වැදී ටැංකිය බිදී මාළු මිදුලේ එහා මෙහා උඩ පනින්නට වූහ. මාළු උඩ පනින්නට හැර දමා වයෝවෘද්ධ කාන්තාව අල්ලපු ගෙදර කාන්තාවට පරුෂ වචනයෙන් වැට අද්දරට ගොස් බැන ගේමක් ඉල්ලු‍වාය. අල්ලපු නිවසේ කාන්තාව ද මිදුලට පැමිණ වයෝවෘද්ධ කාන්තාවට කට වහා ගන්නම ඊට පිළිතුරු දුන්නාය.
දෙදෙනා බැණ ගෙන අවසන් වෙද්දී බිදුණු ටැංකියේ මාළු ටික මිදුලේ හතර අතේ වැටී මිය ගොස් සිටියේය. මුනුපුරා සවස වැඩ ඇරී නිවසට පැමිණ මාළු ටැංකි කිහිපයට කෑම දැමීමට යද්දී ටැංකියක් බිදී මිදුලේ මාළු මිය ගොස් කූඹි වසාගෙන සිටින අයුරු දැක තිබේ. පසුව මුනුපුරා මිත්තණියගෙන් වීදුරු ටැංකිය බිදුණු ආකාරය පිළිබඳ විමසීය. වයෝවෘද්ධ කාන්තාව සිදු වු සියල්ල අකුරක්වත් නෑර මුනුපුරාට හෙළි කළාය. 
අන්තිමේ දී මුනුපුරත් වයෝවෘද්ධ කාන්තාවට බැණ වැදුණාය. මිය ගිය මාළු ටිකයි ටැංකියකුයි ගන්න මුනුපුරා වයෝවෘද්ධ මිත්තණි⁣යගෙන් රුපියල් 55000 ක මුදලක් ඉල්ලු‍වේය. රුපියල් 55000 ක් දී මුනුපුරාගෙන් වයෝවෘද්ධ කාන්තාව බේරී ඇත්තේ අනු නවයෙනි.