IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


සුළු හා මධ්‍ය ව්‍යවසායවලට ණයදීමට බැංකු දක්වන්නේ අඩු උනන්දුවක්

ප්‍රධාන ක්‍රම දෙකක් අමාත්‍යාංශය හඳුන්වාදී තිබුණත් එම ක්‍රම දෙකම විශාල වශයෙන් භාවිතයට ගෙන නෑ
සියයට 8 ක සහනදායී පොලී අනුපාතය යටතේ ණය ලබාදීමට රැපියල් බිලියන 6 ක් වෙන්කර තිබුණත් ඉන් ඉල්ලා ඇත්තේ රැපියල් බිලියන 2.5 ක් පමණයි
පසුගිය ජූලි මස අවසන් වනවිට රැපියල් මිලියන 458 ක් මුදාහැර අවසන්
ඇප නොමැතිව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට ණය ලබාගැනීමට රැපියල් බිලියන 15 ක් වෙන්කර තිබුණත් ජූලි මාසය අවසන් වනවිට භාවිත කර තිබුණේ රැපියල් බිලියනයක් පමණයි
ණය අර්බුදයට ලක්වූ ව්‍යාපාර 16,000 ක්. එම ව්‍යාපාරවල ශේෂ පත්‍රයේ රැපියලක හෝ ප්‍රාග්ධනයක් නෑ
ඇතැම් ව්‍යාපාර ගොඩගැනීමට අවශ්‍ය වන්නේ රැපියල් ලක්ෂ 10 ක වැනි සුළු මුදලක්
බොහෝ ආයතනවල ශේෂ පත්‍රයේ සියයට 90 ක් තිබෙන්නේ ණය


විමුක්ති එස් රුද්‍රිගු


මෙරට වාණිජ බලපත්‍රලාභී බැංකු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවලට ණය ලබාදීමේදී තිබෙන අවදානම අඩු කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබෙන පහසුකම් පද්ධති තිබුණත් මෙරට බැංකු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවලට ණය ලබාදීමට දක්වන්නේ අඩු උනන්දුවක් බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවැසුවේය.
ඒ සඳහා ප්‍රධාන ක්‍රම දෙකක් අමාත්‍යාංශය හඳුන්වාදී තිබුණත් එම ක්‍රමදෙකම විශාල වශයෙන් භාවිතයට ගෙන නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය. සියයට 8 ක සහනදායී පොලී අනුපාතය යටතේ ණය ලබාදීමට රුපියල් බිලියන 6 ක් වෙන්කර තිබුණත් ඉන් ඉල්ලා ඇත්තේ රුපියල් බිලියන 2.5 ක් පමණක් බවත් පසුගිය ජූලි මස අවසන් වනවිට රුපියල් මිලියන 458 ක් මුදාහැර අවසන් බවත් අබේසිංහ මහතා සඳහන් කළේය.
එසේම ඇප නොමැතිව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට ණය ලබාගැනීම සඳහා මෑතකදී ක්‍රමයක් හඳුන්වා දුන්නත් එම ක්‍රමයද විශාල වශයෙන් භාවිත කර නැතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය. ඒ සඳහා රුපියල් බිලියන 15 ක් මුදලක් වෙන්කර තිබුණත් ඉන් පසුගිය ජූලි මාසය අවසන් වනවිට භාවිත කර තිබුණේ රුපියල් බිලියනයක් පමණක් බවද ඔහු ප්‍රකාශ කළේය.
මෙරට ණය අර්බුදයට ලක්වූ ව්‍යාපාර 16,000 තිබෙන බවත් අර්බුදයට ලක්ව ඇති ව්‍යාපාරවල ශේෂ පත්‍රයේ රුපියලක හෝ ප්‍රාග්ධනයක් නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය ඇතැම් ව්‍යාපාර ගොඩගැනීම සඳහා අවශ්‍ය වන්නේ රුපියල් ලක්ෂ 10 ක වැනි සුළු මුදලක් බවත් නමුත් ඇතැම් ව්‍යාපාර ගොඩ ගැනීම සඳහා රුපියල් කෝටි 100 ක පමණ මුදලක් අවශ්‍ය වන බවත් ඔහු ප්‍රකාශ කළේය.
බැංකු සීමීත ප්‍රමාණයක් ව්‍යාපාරිකයන් ලබා ගෙන ඇති ණය සඳහා සහන ලබාදීම ආරම්භ කර ඇතත් ඇතැම් ණය ප්‍රතිව්‍යූහගත කළ නොහැකි බවද ඔහු පැවැසුවේය. අර්බුදයට පත්ව ඇති බොහෝ ආයතන ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යූගත කිරීමෙන් ඔබ්බට ගොස් තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට අවශ්‍ය ප්‍රාග්ධනය, තාක්ෂණික සහාය, රාජ්‍ය සහාය හා ප්‍රතිපත්ති මෙරට සතුව නොතිබූ බැවින් ආර්ථික අර්බුදයක් ඇතිවූ හැම මොහොතකම එම ව්‍යවසාය කඩා වැටීමට ලක්වූ බවද ඔහු පැවැසුවේය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මෙන්ම ව්‍යවසායකත්වයට සුදුසු පරිසරයක් පසුගිය වසර 40 පුරාවට මෙරට නොතිබූ බවත් එය යථාර්ථය බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කළේය. පසුගිය වසර 40 පුරා සහාය ලැබුණේ මහා පරිමාණ ව්‍යවසායවලට පමණක් බවද ඔහු පැවැසුවේය.
මෙරට ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය වසර 4 ක කාලයේදී බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බොහොමයක් බංකොලොත්භාවයට පත්ව තිබෙන බවත් ඇතැම් ව්‍යාපාර මේ වනවිට වසා දමා තිබෙන බවත් ඔහු පැවැසුවේය. එයට ප්‍රධාන හේතු දෙකක් තිබෙන බවත් මෙරට ප්‍රාග්ධන ක්‍රමය සහ බැංකු ක්‍රමය වෙනස්වීමකට ලක්විය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය. එසේම මෙරට ව්‍යවසායකයන් ව්‍යාපාර කරගෙන ගොස් ඇත්තේ හිමිකරු ප්‍රාග්ධනය පිළිබඳව කිසිම අවබෝධයක් නොමැතිව බවද ඔහු ප්‍රකාශ කළේය.
මෙරට ව්‍යවසායකයන් සිය ආයතනවල හිමිකාරිත්වය බැංකුවලට ලබාදී ඇති බවත් බොහෝ ආයතනවල ශේෂ පත්‍රයේ සියයට 90 ක් තිබෙන්නේ ණය බවත් ඔහු පැවැසුවේය. එය වෙනස්කර ගැනීමට ව්‍යාපාරිකයන් උත්සාහ කළ යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
රටේ ආර්ථිකය තිබෙන තැන අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා අවශ්‍ය ඇතැම් සංශෝධන සිදු කිරීමට රජයට අපහසුතාවක් තිබෙන බවද අබේසිංහ මහතා පැවැසුවේය. බදුවල සිදුකර ගත යුතු මෙන්ම සිදුවිය යුතු වෙනස්කම් කිරීමට රජයට යම්කිසි කාලයක් අවශ්‍ය වනු ඇති බවත් වක්‍ර බදු අඩු කිරීමටද කාලයක් ගත වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගෙන් අය කෙරෙන ආදායම් බදු ප්‍රමාණය අඩු කිරීමට මෙන්ම තීරු බද්ද අඩුකිරීමටද රජයට යම්කිසි කාලයක් ගත වනු ඇති බවද අබේසිංහ මහතා පැවැසුවේය. පසුගිය අවුරුදු කීපයක දුෂ්කර කාලය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ගෙවා දැමූ අයුරින් තවත් අවුරුදු කීපයක් රජයට සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට සහායදීම සඳහා අවශ්‍ය වැඩසටහනක් කර්මාන්ත අමාත්‍යාංශය දියත් කරන බවද අබේසිංහ මහතා පැවැසුවේය. ජාත්‍යන්තරයට යාම සඳහා අවශ්‍ය වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීමට රජය සූදානම් බවත් ඒ සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ අවබෝධය සහ ශක්තිය අවශ්‍ය වන බවත් ඔහු ප්‍රකාශ කළේය. වෙළෙඳපොළ ප්‍රසාරණය කර නොගෙන මෙම ගමන ඉදිරියට යා නොහැකි බවද ඔහු පැවැසුවේය.
වර්තමානයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගෙන් අය කෙරෙන සියයට 30ක බදු ප්‍රතිශතය මෙන්ම ඉහළ එකතු කළ අගය මත බද්ද එම ව්‍යාපාර සඳහා හානිකර බව තමන් පිළිගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය. මෙරට බදු ආදායම 2019 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.5 ක් වූ බවත් එය මේ වනවිට සියයට 13.9 දක්වා වර්ධනය වී තිබෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය. රජය එය සියයට 15.1 ක් දක්වා වර්ධනය කර ගැනීමට ඉලක්ක කර තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
එසේම තවමත් මෙරට බදු නොගෙවන පුද්ගලයන් ලක්ෂ 13 ක් සිටින බවද කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවැසීය.
ලංකා එක්සත් ව්‍යාපාරික සංසදය පිහිටුවීම සනිටුහන් කරමින් පසුගියදා කොළඹදී පැවැති උත්සවයකදී ඔහු මෙම අදහස් පළ කළේය.



අදහස් (0)

සුළු හා මධ්‍ය ව්‍යවසායවලට ණයදීමට බැංකු දක්වන්නේ අඩු උනන්දුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1657 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1404 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 500 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site