• 2025 සැප්තැම්බර් පැවැති රැ.බි. 120.6 ක සිට රැ.බි. 76.3 ක වැඩිවීමක් 
  • මාස තුනක් තුළ ඩොලර් මිලියන 128.8ක ශුද්ධ ආයෝජන පිටතට ගලායෑමක් 

රජය විසින් නිකුත් කරන ලද ලද භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර ඇතුළු රජයේ සුරැකුම්පත් තුළ පවතින විදෙස් ආයෝජන හිමිකාරීත්වයේ වටිනාකම පසුගිය සැප්තැම්බර් 25 වැනිදා වනවිට රුපියල් බිලියන 196.9ක් බවට පත්ව තිබේ.

ඒ අනුව මෙය දැනට වසරකට පෙරාතුව එනම් 2025 සැප්තැම්බර් 26 වැනිදා වන විට පැවැති රුපියල් බිලියන 120.6 ක වටිනාකම හා සැසඳීමේදී රුපියල් බිලියන 76.3 ක එනම් සියයට 63 ක වර්ධනයක් බව කොටස් තැරැව්කාර සමාගමක් වන SenFin Securities පවසයි. 

එහිදී 2025දෙසැම්බර් (ඩො.මි. 4.6ක්), 2026 මාර්තු (ඩො.මි. 63.9ක්) සහ 2026 මැයි (ඩො.මි. 60.3ක්) ලෙස මාස තුනක් තුළ සිදුවුණු එක්සත් ජනපද ඩොලර් මිලියන 128.8 ක ශුද්ධ ආයෝජන පිටතට ගලා යෑමේ එනම් ආයෝජන ඉවත් කර ගැනීමේ අවස්ථාවත් සමගින් මෙම අගය සටහන් වීම කැපී පෙනෙන බවත් එම ආයතනය සඳහන් කරයි. 

විශේෂයෙන්ම මෙම ඉවත් කරගැනීම් හේතුවෙන් රජයේ සුරැකුම්පත් තුළ විදෙස් ආයෝජන වටිනාකම් මාර්තුවේදී පැවැති රුපියල් බිලියන 163.2 ක සිට ජූනි 05 වැනිදා වන විට රුපියල් බිලියන 121.3 ක් දක්වා රුපියල් බිලියන 41.9 කින් එනම් සියයට 26කින් අඩුවී තිබේ.

මේ අතරින් මාර්තු මාසයේදී සිදු වූ ඩොලර් මිලියන 63.9 ක ආයෝජන ඉවත් කර ගැනීම වසර තුළ සිදු වූ විශාලතම ශුද්ධ ආයෝජන පිටතට ගලායෑම වන අතර මැදපෙරදිග යුද ගැටුම් ඊට හේතු විය. අනතුරුව මැයි මාසයේ සිදු වූ ඩොලර් මිලියන 60.3 ක ශුද්ධ ආයෝජන පිටතට ගලා යෑම සඳහා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 2.6 කින් අවප්‍රමාණය වීම හේතුව වී තිබෙන බවත් SenFin Securities පවසයි.

මේ අතර ඉන් පසුව ගත වූ සති 14 ක කාලයකදී රජයේ සුරැකුම්පත් වෙත ගලා ආ රුපියල් බිලියන 92.1 ක ආයෝජනත් සමගින් 2026 සැප්තැම්බර් 11 වැනිදා වනවිට එම වටිනාකම රුපියල් බිලියන 213.4 ක් බවට පත්ව තිබේ. කෙසේ වෙතත් ඉන් පසුව ගත වූ දින කිහිපයේදී මෙම සුරැකුම්පත් වෙළෙඳපොළෙන් රුපියල් බිලියන 16.5ක් ඉවතට ගලා ගොස් ඇති අතර, එම අගයත් සමගින් මෙලෙස සැප්තැම්බර් 26 වැනිදා වනවිට එය රුපියල් බිලියන 196.9ක් බවට පත්ව තිබේ.