රිචඩ් පීරිස් සමූහයට අනුබද්ධිත ආයතනයක් සහ ප්‍රමුඛ පෙළේ ජීවිත රක්ෂණ සමාගමක් වන ආර්පිකෝ රක්ෂණ සමාගම, 2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් ධනෝජ් තීක්ෂණ වීරසේකර සිසුවාට සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් Arpico School Fees Plan අධ්‍යාපන රක්ෂණාවරණයක් මෑතකදී ප්‍රදානය කරන ලදී. ලෝක ළමා දිනයට සමගාමීව ක්‍රීයාත්මක වූ මෙම වැඩසටහනේ අරමුණ වූයේ මෙම සිසුවාගේ අධ්‍යාපන ගමන සහ දිගුකාලීන අධ්‍යාපන සුරක්ෂිතභාවය සහතික කිරීම වන අතර, අදාළ රක්ෂණාවරණය නිල වශයෙන් සිසුවාගේ පියා වෙත භාර දෙන ලදී.
මෙම ප්‍රදානෝත්සවය නාවින්න පිහිටි රිචඞ් පීරිස් සමාගම් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ (IRCSL) අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය සහ එම කොමිෂන් සභාවේ වෙළෙඳපොළ සංවර්ධන සහ බාහිර සබඳතා අධ්‍යක්ෂ දීපිකා නවරත්න මහත්මිය සමග ආර්පිකෝ රක්ෂණ සමාගමේ සභාපති රමල් ජාසිංහ මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වූහ. 


මේ පිළිබඳව අදහස් දක්වමින් සමාගමේ සභාපති රමල් ජාසිංහ මහතා මෙසේ පැවසීය. 
‘ආර්පිකෝ රක්ෂණ සමාගම සතු මෙම නව්‍ය සහ කාලීන රක්ෂණ නිෂ්පාදනය ඉස්මතු කර පෙන්වීම සම්බන්ධයෙන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ඇතුළු කණ්ඩායමට මම සුබ පතනවා. මෙම රක්ෂණාවරණය පවුලේ ගෘහමූලිකයාගේ හදිසි වියෝවකදී හෝ දුබලතාවකදී දරුවන්ගේ අධ්‍යාපනයේ සුරක්ෂිත බව සහතික කිරිමට තීරණාත්මක අත්වැලක් වෙයි.”‍
ආර්පිකෝ රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් මහතා මෙම වැඩසටහන පිලිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය.
‘මෙම අධ්‍යාපන රක්ෂණාවරණය පූර්ණ අනුග්‍රහයකින් ලබාදීම හරහා, මෙරට දරුවන්ගේ සුවිශේෂී දක්ෂතා මූල්‍යමය බාධාවකින් තොරව ඉදිරියට ගෙනයාමට ආර්පිකෝ රක්ෂණ සමාගම දක්වන සහයෝගය මැනවින් විදහා දක්වයි. මීට අමතරව, ධනෝජ්ගේ ජයග්‍රහණය ඇගයීම හරහා, දරුවකුගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම අපට කළ හැකි විශිෂ්ටතම ආයෝජනයක් බව වන අපගේ විශ්වාසය තවත් තහවුරු වෙයි.”‍