
ශ්රී ලාංකික ව්යාපාරවලට වැඩි වශයෙන් විදේශීය පාරිභෝගිකයන් වෙත ළඟාවීමට සහ ගෝලීය වෙළෙඳපොළට ප්රවේශය පුළුල් කර ගැනීමට E-commerce (අන්තර්ජාලය මත පදනම් වූ වාණිජ්ය කටයුතු) ඵලදායී ලෙස යොදාගත හැකි බව ODI Global සහ Sri Lanka Association for Software and Services Companies (SLASSCOM) එක්ව නිකුත් කළ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
මෙම සමීක්ෂණ වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය ඉංජිනේරු එරංග වීරරත්න, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්රධාන උපදේශක සහ GovTech Sri Lanka සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය සහ ODI Global හි International Economic Development Group අධ්යක්ෂ මහාචාර්ය ඩර්ක් විලෙම් ටෙ වෙල්ඩේ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ODI Global හි ජ්යෙෂ්ඨ පර්යේෂක ආචාර්ය ගනේෂන් විග්නරාජා මහතා සහ අනීෂ්කා ද සිල්වා මහත්මිය විසින් වාර්තාවේ ප්රධාන සොයාගැනීම් ඉදිරිපත් කරන ලදී. ඉන් අනතුරුව, ශ්රී ලාංකික ව්යාපාරවලට ඩිජිටල් වේදිකා හරහා සාර්ථකව ජාත්යන්තර වෙළෙඳපොළට පිවිසීමට අවශ්ය ප්රායෝගික ප්රතිසංස්කරණ පිළිබඳ මධ්යස්ථ සාකච්ඡාවක් ද පැවැත්විණි.
“E-commerce and International Trade in Sri Lanka: Findings from a Survey of 953 Exporters and Importers” යන වාර්තාව මගින්, ඩිජිටල් වාණිජ කටයුතු ශ්රී ලංකාවේ ජාත්යන්තර වෙළෙඳාම පරිවර්තනය කරමින් පවතින ආකාරය විමසා බලන අතර, එහි පූර්ණ විභවය ප්රයෝජනයට ගැනීම සඳහා අවශ්ය ප්රතිපත්ති සහ නියාමන ප්රතිසංස්කරණ ද හඳුනාගෙන ඇත.
මෙම වාර්තාව 2026 ඔක්තෝබර් 8 වැනිදා කොළඹ පැවති GovTech Sri Lanka වැඩසටහනේදී එළි දැක්විණි. ශ්රී ලංකාව වඩාත් තරගකාරී, සම්බන්ධිත සහ අපනයන කේන්ද්රීය ඩිජිටල් වෙළෙඳ පරිසරයක් ගොඩනැගිය හැකි ආකාරය පිළිබඳව ප්රතිපත්ති සම්පාදකයෝ, කර්මාන්ත නායකයෝ සහ පර්යේෂකයෝ එහිදී අදහස් හුවමාරු කර ගත්හ.
මෙම සමීක්ෂණය ශ්රී ලංකාවේ ඊ-වාණිජ්ය භාවිතය වේගයෙන් වර්ධනය වෙමින් පවතින බව පෙන්වා දෙයි. සමීක්ෂණයට එක්වූ අපනයනකරුවන්ගෙන් දස දෙනකුගෙන් හත් දෙනකු දැනටමත් ඊ-වාණිජ්යය භාවිත කරන අතර, සමීක්ෂණයට ලක්වූ ක්ෂුද්ර, කුඩා හා මධ්ය පරිමාණ ව්යවසාය (MSME) අපනයනකරුවන්ගෙන් සියයට 72ක් ද ඒ අතර වෙති. මෙම ව්යාපාර අපනයනය කරන නිෂ්පාදන හා සේවා, ඔවුන් ළඟා වන වෙළෙඳපොළ සහ ඔවුන්ගේ වර්ධනය සීමා කරන ප්රධාන බාධක පිළිබඳවද වාර්තාව නව සාක්ෂි ඉදිරිපත් කරයි.
සාම්ප්රදායික අපනයනකරුවන් සහ සාම්ප්රදායික වෙළෙඳ මාර්ගවලින් ඔබ්බට ගොස් ශ්රී ලංකාවේ අපනයන පදනම පුළුල් කිරීමට ඊ-වාණිජ්යයට හැකියාව පවතී. විශේෂයෙන් කුඩා ව්යාපාරවලට අඩු පිරිවැයකින් නව වෙළෙඳපොළ අත්හදා බැලීමට, පාරිභෝගිකයන් වෙත ඍජුව අලෙවි කිරීමට සහ ජාත්යන්තර පාරිභෝගික පදනමක් ගොඩනගා ගැනීමට එමගින් අවස්ථාව සැලසේ.
ඊ-වාණිජ්යය භාවිත කරන අපනයනකරුවන් මැදපෙරදිග, යුරෝපය සහ ආසියාව ඇතුළු වෙළෙඳපොළ වෙත වඩාත් පුළුල් ප්රවේශයක් ලබාගෙන ඇති බවද වාර්තාව සඳහන් කරයි. ඒ සමගම, සිල්ලර ආහාර ද්රව්ය, ඇසුරුම් කළ ආහාර, සෞඛ්ය හා රූපලාවණ්ය නිෂ්පාදන සහ ඉලෙක්ට්රොනික භාණ්ඩ ඇතුළු ක්ෂේත්රවල පාරිභෝගිකයා වෙත ඍජුවම සිදු කරන වෙළෙඳාම (Direct-to-Consumer – D2C) ද වර්ධනය වෙමින් පවතී.
“ගෝලීය වශයෙන් තරගකාරී ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමට නම්, අප දැනට සිටින තත්වය සහ ඉදිරියට ගමන් කළ යුතු දිශාව පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබිය යුතුය.
මෙවැනි ව්යාපාර මට්ටමේ ගැඹුරු පර්යේෂණ මගින් අපගේ ප්රගතිය මැන බැලීමට, ව්යාපාර මුහුණදෙන සැබෑ අත්දැකීම් හා අභියෝග අවබෝධ කර ගැනීමට සහ ශ්රී ලංකාවේ ඩිජිටල් වෙළෙඳ තරගකාරීත්වය ඉහළ නැංවීමට අවශ්ය ප්රතිපත්ති සහ මැදිහත්වීම් සකස් කිරීමට අත්යවශ්ය සාක්ෂි සපයයි,” යැයි ශ්රී ලංකා ජනාධිපතිවරයාගේ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්රධාන උපදේශක සහ GovTech Sri Lanka සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පැවසීය.
කෙසේ වෙතත්, ව්යාපාර ඩිජිටල් වේදිකාවලට එක් කිරීම පමණක් ප්රමාණවත් නොවේ. ශ්රී ලංකාවේ ඊ-වාණිජ්ය ව්යාපාර රේගු ක්රියාවලි, ලේඛන සකස් කිරීම, ලොජිස්ටික්ස් සහ ගෙවීම් සම්බන්ධ ඉහළ පිරිවැය සහ ප්රමාදයට මුහුණ දෙන අතර, සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල් කුසලතා සම්බන්ධ හිඩැස් ද පවතී.
සමීක්ෂණයට එක්වූ ඊ-වාණිජ්ය අපනයනකරුවන්ගෙන් සියයට 80කට ආසන්න පිරිසක් සංකීර්ණ ලේඛන ක්රියාවලිය සම්බන්ධයෙන් දුෂ්කරතා ඇති බව සඳහන් කර ඇත. භාණ්ඩ බෙදාහැරීම සඳහා ගතවන කාලය ද තවත් ප්රධාන ගැටලුවකි. ව්යාපාරයෙන් පාරිභෝගිකයා වෙත (B2C) සහ ව්යාපාරයෙන් ව්යාපාරයට (B2B) සිදු කරන බොහෝ අපනයන භාණ්ඩ ප්රවාහන ගමනාන්ත පාරිභෝගිකයා වෙත ළඟාවීමට සති දෙකකට වැඩි කාලයක් ගතවන බවද වාර්තාව පෙන්වා දෙයි.
තවද මෙම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙන්නේ ව්යාපාර ඊ-වාණිජ්යය වෙත යොමු කිරීම පමණක් ඉලක්ක කරගත් සීමිත ප්රවේශයක් වෙනුවට, සමස්ත ඩිජිටල් වෙළෙඳ පරිසරය ආවරණය කරන සම්බන්ධීකෘත ප්රතිසංස්කරණ මාලාවක් අවශ්ය බවයි.
වෙළෙඳ යටිතල පහසුකම් නවීකරණය කිරීම, රේගු හා ලේඛන ක්රියාවලි සරල කිරීම, ලොජිස්ටික්ස් සහ ගෙවීම් පද්ධති වැඩිදියුණු කිරීම, සයිබර් ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ ප්රායෝගික ඩිජිටල් කුසලතා පුළුල් කිරීම ප්රමුඛතා ලෙස හඳුනාගෙන ඇත.
“ආයතන 1,000කට ආසන්න සංඛ්යාවක් ආවරණය කළ මෙම සමීක්ෂණයෙන් ඊ-වාණිජ්ය සහ කුඩා ව්යාපාර දැනටමත් ශ්රී ලංකාවේ වෙළෙඳ ක්ෂේත්රයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව පැහැදිලි වේ. ඩිජිටල් ආර්ථිකය තුළ කුඩා ව්යාපාරවලට සහාය දෙන රාජ්ය ප්රතිපත්ති මෙන්ම ඔවුන් මුහුණ දෙන පිරිවැය පදනම අඩු කිරීමට සහ ව්යාපාර පවත්වාගෙන යාමේ පිරිවැය සම්බන්ධ ගැටලු විසඳීමට ගන්නා ක්රියාමාර්ග, ශ්රී ලංකාවේ තරගකාරීත්වය ඉහළ නැංවීමට තීරණාත්මක වේ,” යැයි ODI Global හි Visiting Senior Fellow සහ මෙම ODI සමීක්ෂණ වාර්තාවේ සම කර්තෘ ආචාර්ය ගනේෂන් විග්නරාජා මහතා පැවසීය.
මෙම වාර්තාවේ පර්යේෂණ සොයාගැනීම් පදනම් වී ඇත්තේ 2025 ඔක්තෝබර් සිට 2026 පෙබරවාරි දක්වා කාලය තුළ දිවයින පුරා අපනයනකරුවන් සහ ආනයනකරුවන් 953 දෙනකු ආවරණය කරමින් සිදුකළ සමීක්ෂණයක ප්රතිඵල මතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd