ශ්රී ලංකා පරිගණක සංගමය (CSSL) විසින් සංවිධානය කරනු ලබන 44 වැනි ජාතික තොරතුරු තාක්ෂණ සමුළුව (NITC 2026) 2026 ඔක්තෝබර් 14 සිට 16 දක්වා කොළඹ ෂැංග්රි-ලා (Shangri-La) හෝටලයේදී පැවැත් වේ. මෙවර සමුළුව "සමාජය 5.0" (Society 5.0) වෙත පිවිසීම සඳහා මිනිසා කේන්ද්ර කරගත් කුසලතා යන තේමාව යටතේ පැවැත් වේ. NITC සමුළුව, හුදු තාක්ෂණික සමුළුවකට එහා ගිය වැදගත්කමකින් යුක්ත එකක් වේ. ශ්රී ලංකාවට ඩිජිටල් ආර්ථිකයකට විශ්වාසයෙන් යුතුව පිවිසීම සඳහා අවශ්ය හැකියාව, ප්රතිපත්ති සහ මානසිකත්වය ගොඩනගාගත හැක්කේ කෙසේද යන්න විමසා බැලීමට මෙය කදිම අවස්ථාකි.
ශ්රී ලංකාව ඉදිරියේ ඇති ප්රශ්නය ඩිජිටල් පරිවර්තනය අත්යවශ්යද යන්න පිළිබඳ ගැටලුව නොවේ. ඊට වඩා වැදගත් වන්නේ, එම පරිවර්තනයට අනුගත වීමටත්, තාක්ෂණය සැබෑ ආර්ථික හා සමාජීය වටිනාකමක් බවට පරිවර්තනය කිරීමට රටේ ජනතාව, ශ්රම බලකාය, ව්යාපාර සහ ආයතන සූදානම් බව සහතික කිරීමට රටට හැකිද යන්නයි. මෙහිදී 'මිනිසා කේන්ද්ර කරගත් ඩිජිටල් අනුවර්තනය' (Human-Centric Digital Adaptation) අතිශය තීරණාත්මක සාධකයක් බවට පත් වේ.
එබැවින් අද ඩිජිටල් කුසලතා ඇති ශ්රමිකයන් පමණක් නොව, තාක්ෂණය පරිණාමය වන විට ඊට අඛණ්ඩව අනුවර්තනය වීමට හැකියාව ඇති ශ්රම බලකායක් ගොඩනැගීම ශ්රී ලංකාවට අවශ්ය වේ. 2030 වන විට ඩොලර් බිලියන 15 ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ ශ්රී ලංකා අභිලාෂය තුළ මෙය වඩාත් වැදගත් වේ.
ජාතික තොරතුරු තාක්ෂණ සමුළුවේ සභාපති ඉන්දික ද සොයිසා මෙසේ පැවසීය.
"ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම පිළිබඳ ශ්රී ලංකාවේ අභිලාෂය අවසානයේදී රඳා පවතින්නේ රටේ ජනතාවගේ සූදානම මතය. හුදෙක් තාක්ෂණය පමණක් යොදාගෙන ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගිය නොහැකිය. ආර්ථිකයේ සෑම අංශයක් තුළම තාක්ෂණය භාවිතයට ගැනීමටත්, ක්රියාත්මක කිරීමටත් සහ එමගින් ආර්ථික වටිනාකම් නිර්මාණය කිරීමටත් හැකි ඩිජිටල් තාක්ෂණය පිළිබඳ නිපුණතාවක් සහිත ශ්රම බලකායක් අපට අවශ්ය වේ. එබැවින්, ශ්රම බලකායේ සූදානම යනු ඩිජිටල් ආර්ථිකයේ හුදු අනුබද්ධ අංගයක් නොව, එහි ඇති අතිශය තීරණාත්මක මූලික පදනම්වලින් එකකි."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd