IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වාහන ආනයනය නැවත ආරම්භ කිරීම ඉදිරි දැක්ම - විශේෂඥ මත

                            


ජනනි කන්දරාමගේ විසිනි


ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සහ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ජනාධිපති උපදේශක දුමින්ද හුලංගමුව දුමින්ද හුලංගමුව මහතා විසින් එච්.එන්.බී. ලීසිං සංසදයේදී රජයේ ආදායම ඉහළ නැංවීම සඳහා වාහන ආනයනයේ ප්‍රධාන කාර්යභාරය පැහැදිලි කළේය.
 
  • 2025 වසරේදී වාහනආනයනයෙන් තීරුබදු, බදුසහ ගාස්තු හරහා රුපියල් බිලියන 300 - 350 ක දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු පවසයි
  • මීට පෙර වාර්ෂිකව ඩොලර්  බිලියන 1-2 ක් පමණ වූ වාහන ආනයනය 2018 දී ඩොලර් බිලියන 2 ක් දක්වා ඉහළ ගිය බව ඔහු අනාවරණය කළේය. 
  • අපේක්ෂිත ආනයනසීමාවන් ඉවත් කිරීමේ අරමුණු වන්නේ විදේශ ආයෝජන වැඩි දියුණු කිරීම, රැකියා නිර්මාණය කිරීම සහ ආයෝජක හිතකාමී පරිසරයක් බිහිකිරීමයි. 
  • වාහන ආනයනය ඉහළ යාමෙන් අලුත් වාහන සහ පාවිච්චි කරන ලද වාහන වෙ​ෙළඳපොළ මිල අඩු කළ හැකි බවත්, බහුතරයක් සඳහා දැරිය හැකි මිල ඉහළ දමා ගත හැකි බවත් ඔහු යෝජනා කරයි
  • ආර්ථික උත්තේජනය සමතුලිත කිරීම, පාවිච්චි කරන ලද වාහන වෙ​ෙළඳපොළේ ආයෝජන ආරක්ෂා කිරීම සඳහා රජය ක්‍රමානුකූල ප්‍රවේශයක් ලබාගන්නා අතර, වාණිජ වාහන සහ පොදු ප්‍රවාහනය සඳහා ප්‍රමුඛතාවය දෙන බව අවධාරණය කරයි.
  • රාජ්‍ය වාහන බලපත්‍ර ලබා දෙනු ලබන්නේ ලබන වසර තුළ ආර්ථිකයේ මූල්‍ය තත්වය වැඩිදියුණු වුවහොත් පමණකි
  • මෙම සංක්‍රාන්තියට සහාය වන ලෙස බැංකු සහ මෝටර් රථ කර්මාන්තයෙන් ඉල්ලීමක්
වාහන ආනයන සීමා ඉවත් කිරීමත් සමග ආර්ථිකයේ සහ මෝටර් රථ කර්මාන්තයේ අනාගත කළමනාකරණය සඳහා වන ඇඟවුම් සහ උපාය මාර්ග සම්බන්ධයෙන් පසුගිය සතියේ දැඩි පරීක්ෂාවට ලක් විය.
 
එච්එන්බී ලීසිං සමාගම විසින් “ශ්‍රී ලංකා මෝටර් රථ කර්මාන්තය: 2025 සඳහා ඉදිරි දැක්ම” යන තේමාව යටතේ පවත්වන ලද සංසදයේදී, මෙම ආනයනය ඉවත් කිරීමත් සමඟම අපේක්ෂිත ආර්ථික ප්‍රගතිය පිළිබඳව වාහන කර්මාන්තයේ ප්‍රධාන කොටස්කරුවන් ශුභවාදී අදහස් පළ කළ අතරම, මෝටර් රථ කර්මාන්තය ඵලදායී ලෙස අධීක්ෂණය කිරීමේ සහ නියාමනය කිරීමේ අභියෝගද පිළිගත්තේය.
 
එහිදී ප්‍රධාන දේශනය පැවැත්වූ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සහ ජනාධිපති ආර්ථික ප්‍රතිපත්ති උපදේශක දුමින්ද හුලංගමුව මහතා, රජයේ ආදායම ඉහළ නැංවීමේදී වාහන ආනයනය ඉටු කරන තීරණාත්මක කාර්යභාරය පැහැදිලිව පෙන්නුම් කළේය. 
 
වාහන ගනුදෙනු ආශ්‍රිත ආනයන තීරුබදු, බදු සහ ගාස්තු හරහා රජයේ ආදායම වැඩි කළ යුතු බවත්, මූල්‍ය විනයට සහාය විය යුතු බවත්, දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට දායක විය යුතු බවත් ඔහු පැවසීය.
 
“ආදායම සහ වියදම් අතර අයවැය හිඟය පියවා ගැනීම සඳහා වාහන ආනයනයෙන් රුපියල් බිලියන 300-350 ක්, එනම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1 ක් පමණ එකතු කර ගැනීමට රජයට අවශ්‍ය වී තියෙනවා. අපගේ විශාලතම ආදායම් මාර්ගය ලෙසින් අපේක්ෂා කරන්නේ වාහන ආනයනයයි” යනුවෙන් ඔහු වැඩි දුරටත් අදහස් දැක්වීය. 
 
2018 වසරේදී ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ඩොලර් බිලියන 2 කට ආසන්න වූ අතර, 2019 දී එය ඩොලර් බිලියන 1.4 ක් දක්වා සුළු අඩුවීමක් පෙන්නුම් කළේය. සාමාන්‍යයෙන්, සෑම වසරකම ඩොලර් බිලියන 1 ත් 2 ත් අතර වටිනාකමකින් යුත් වාහන රටට ආනයනය කරයි. 
 
දළ දේශීය නිෂ්පාදිතයට ඇති බලපෑමට අමතරව, විදේශ ආයෝජන වැඩිවීමේ සම්භාවිතාව පිළිබඳවද විස්තර කළ හුලංගමුව මහතා, ඉදිරියේදී වාහන ආනයන තහනම ඉවත් කිරීම හරහා විවෘත හා ආයෝජකයන්ට හිතකර පරිසරයක් පෙන්නුම් කරන අතරම, තවදුරටත් රැකියා නිර්මාණය කිරීම සහ තාක්ෂණ හුවමාරුව දිරිමත් කරන බවද පැවැසීය.
 
නව වාහන ගලා ඒම හරහා වෙළඳපොළේ තරගකාරිත්වය පුළුල් වීමට ඇති අතර, එමඟින් නව සහ භාවිත කළ වාහන දෙකෙහිම මිල අඩු වීමට ඉඩ ඇති බවත්, එවිට ඒවා බහුතරයකට දැරිය හැකි මිලකට ලබා දිය හැකි බවත් පැවැසූ හුලංගමුව මහතා, පාවිච්චි කරන ලද වාහන වෙෙළඳපොළට ඉන් ඇතිවන බලපෑම ද පිළිගත්තේය.
 
කෙසේ වෙතත්, වෙෙළඳපොළේ ඇති පාවිච්චි කරන ලද වාහන සැලකිය යුතු සංඛ්‍යාවක් පිළිබඳව ජනාධිපතිවරයා තවමත් සැලකිල්ලෙන් සිටින බවත්, ඒවායින් බොහොමයක් කල්බදු විධිවිධාන හරහා මිලදී ගත් ඒවා බවත් ඔහු සඳහන් කළේය.
 
නව මෙන්ම පාවිච්චි කරන සහ කළ වාහන අතර මිල වෙනස ඉතා පටු වුවහොත්, ඉන් වෙළඳපොළ අස්ථාවර විය හැකි බවත්, විශේෂයෙන් පාවිච්චි කරන ලද වාහන කර්මාන්තය තුළ, එම වාහනවල ආයෝජනය කර ඇති පාරිභෝගිකයන්ට මෙන්ම, ලීසිං සමාගම් සහ මූල්‍ය ආයතනවලට ද අහිතකර ප්‍රතිවිපාක ඇති කළ හැකි බවත් ඔහු පැහැදිලි කළේය.
 
“මෙම අවදානම් හැකිතාක් අවම කිරීම සඳහා, වාණිජ වාහන සහ පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාව දෙමින්, අදියර කිහිපයකින් යුතුව ප්‍රවේශයක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කරලා තියෙනවා. ආර්ථික උත්තේජනය සහ පාවිච්චි කළ වාහන වෙළඳපොළේ පවතින ආයෝජන ආරක්ෂා කිරීම අතර සමතුලිතතාවක් ඇති කර ගැනීම සඳහා මෙම ප්‍රවේශය ඉතා වැදගත් වෙනවා. ඊට අමතරව, රටේ බදු ක්‍රමය සෑම කෙනෙකුටම මෙම වාහන මිලදී ගැනීමට හැකි වන පරිදි ව්‍යුහගත කළ යුතුයි” යැයිද ඔහු පැවසීය.
 
අවධානයට ලක් වූ අනෙකුත් කරුණු අතර ඩොලර් සංචිත කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව ද වෙයි. රජය සතුව ඩොලර් බිලියන 6.5 ක පමණ සංචිත තිබුණද, වාහන ආනයනය ඉහළ යාමෙන් ලැබෙන ආදායමට වඩා, ඩොලර් පිටතට ගලායාම වැඩි වුවහොත්, දෙසතියකට වරක් ඩොලර් පිටතට ගලායාම නිරීක්ෂණය කිරීමට මහ බැංකුව මැදිහත් වන බව දුමින්ද මහතා අවධාරණය කළේය. විදේශ විනිමය ප්‍රවාහ කළමනාකරණය කිරීම අරමුණු කරගත් ශක්තිමත් බැංකු පද්ධතියක් ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරන බැංකු යෝජනා ක්‍රමයක් ද මහ බැංකුව හඳුන්වා දීමට නියමිතය.
 
ඉදිරි වසර තුළ ආර්ථිකයේ මූල්‍ය තත්වය වැඩිදියුණු වුවහොත් පමණක් වාහන ආනයන බලපත්‍ර ලබා දෙන බවටද ඔහු සහතික විය.
 
සියලුම වාහන ආනයනකරුවන් ඔවුන්ගේ බදු බැඳීම් ඉටු කරන බවත්, සුදුසුකම් ලත් ආයතනවලට පමණක් ආනයනයේ යෙදීමට අවසර ලබාදී ඇති බවත් සහතික කරමින්, ආනයන ලියාපදිංචි කිරීම් සමීපව නිරීක්ෂණය කිරීම සඳහා යාන්ත්‍රණ බලාත්මක කිරීමට වත්මන් පරිපාලනයේ කැපවීම ඔහු නැවත තහවුරු කළේය.
 
“අනුකූලතාව ශක්තිමත් කිරීමෙන් සහ මෙම අංශයේ අනවසර ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමෙන්, අපගේ ආර්ථික ප්‍රතිපත්තිවල පදනම ශක්තිමත් කිරීමට අපි බලාපොරොත්තු වන අතර මෙම ක්‍රියාවලියේදී අපට සහාය දෙන ලෙස බැංකු සහ මෝටර් රථ කර්මාන්තයේ කොටස්කරුවන්ගෙන් අපි ඉල්ලා සිටිනවා” යැයි හුලංගමුව මහතා සඳහන් කළේය.
 
මෙම අවස්ථාවට ඩේලි එෆ්ටී පුවත්පතේ කර්තෘ සහ ප්‍රධාන විධායක නිලධාරී නිස්තාර් කාසිම් විසින් මෙහෙයවන ලද කීර්තිමත් විද්වත් මණ්ඩලයක් ද සහභාගී විය. මෙම විශේෂඥ මණ්ඩලයට මෝටර් රථ තොරතුරු, සන්නිවේදන සහ තාක්ෂණ (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ) කොමසාරිස් ශිරෝමි ජීවමාලා, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු, ඇඩ්වොකාටා ආයතනයේ සභාපති මුර්තාසා ජැෆර්ජි, එච්. එන්. බී. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත, යුනයිටඩ් මෝටර්ස් ලංකා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී චාරක පෙරේරා සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සහ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ජනාධිපති උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්ම මහත්මීහුද ඇතුළත් වූහ.
 
ආනයන නියාමනය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව, සාමාන්‍ය පුරවැසියන්ට වාහන සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා සපයනු ලබන ප්‍රතිපත්ති සහ ඵලදායී බදු නිරීක්ෂණය සහ එකතු කිරීමේ මාධ්‍යයක් ලෙස තාක්ෂණය ඒකාබද්ධ කිරීම පිළිබඳ එකඟතාවයකින් සංසදය අවසන් විය.
 

“ඩේලි එෆ්ටි” පුවත්පතේ පළවූ ලිපිය සිංහලට පරිවර්තනය කළේ 
අනිල් කරුණාරත්න



අදහස් (0)

වාහන ආනයනය නැවත ආරම්භ කිරීම ඉදිරි දැක්ම - විශේෂඥ මත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site