රැපියල් මිලියන 667කට ‍කොටස් මිලියන 34.74ක් මිලදී ගනී


වැලිබල් වන් සහ පරිපාලිත සමාගම් සතු කොටස් ප්‍රතිශතය සියයට 53.89 ක් වෙයි


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන ද ෆෝර්ට්‍රස් රිසෝට්ස් පීඑල්සී සමාගමේ සියයට 49.93ක කොටස් හිමිකරුවා බවට පත්වීමට වැලිබල් වන් පීඑල්සී සමත් වූ බව පවසයි. පසුගිය ඔක්තෝබර් 21 වැනිදා එම සමාගම සිදු කළ කොටස් 34,747,249ක මිලදී ගැනීමත් සමගින් මෙලෙස එම කොටස් හිමිකම ඉහළ නැංවී තිබේ.

වැලිබල් වන් පීඑල්සී සමාගම ඊයේ (22) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් මෙම කරුණු අනාවරණය කර ඇත.

මෙහිදී වැලිබල් ලෙෂර් (පෞද්) සමාගම සතුව තිබූ කොටස් 24,417,932ක් (සියයට 22.02ක්) සහ ධම්මික පෙරේරා මහතා සතුව තිබූ කොටස් 10,329,317ක් (සියයට 9.32ක්) මිලදී ගත් බව වැලිබල් වන් සමාගම පවසයි.

ඒ අනුව සමස්ත කොටස් ප්‍රමාණය 34,747,249ක් (සියයට 31.34ක්) බවට පත්ව තිබේ. එහිදී එක් කොටසක් රුපියල් 21 බැගින් ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 667ක් (666,692,229) ලෙස සටහන්ව ඇත.

මෙම ගනුදෙනුව සිදුවන අවස්ථාව වනවිට ෆෝර්ට්‍රස් රිසෝට්ස්හි විශාලතම කොටස් හිමිකරුවා වූයේ එම්.ජේ.එෆ්. හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමයි. එය කොටස් 28,616,411ක් එනම් සියයට 25.81 ක් විය. වැලිබල් වන් පීඑල්සී යනු ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් 2010 දී පිහිට වූ ආයෝජන සමාගමකි.

මේ අතර මෙම කොටස් මිලදී ගැනීමත් සමගින්ම වැලිබල් වන් පීඑල්සී සමාගමේ තවත් පරිපාලිත සමාගම් දෙකක් වන එල්බී ෆිනෑන්ස් පීඑල්සී සහ රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී යන සමාගම් සියල්ලම සතු ෆෝර්ට්‍රස් රිසෝට්ස්හි කොටස් හිමිකම සියයට 53.89 ක් දක්වා ඉහළ යන බවත් පවසයි.