2025 අවසන් මාස තුනේ නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 2.6 ක අඩුවීමක් 


මෙම පුරෝකථනයත් සමගින් 2026 දී කිලෝ මිලියන 255.85ක තේ නිෂ්පාදනයක් 


මෙම වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා වන ඉදිරි මාස තුනක කාලයේදී මෙරට තේ නිෂ්පාදනය කිලෝ මිලියන 63.23ක් (63,234,735ක්) වනු ඇතැයි පුරෝකථනය කරන බව තේ වෙන්දේසි ආයතනයක් වන Forbes & Walkers  පවසයි. 

ඔක්තෝබර් මාසයේදී සිදු කරන කිලෝ 21,316,579ක්, නොවැම්බරයේදී කිලෝ 21,146,889ක් සහ දෙසැම්බරයේ කිලෝ 20,771,267ක් ලෙස මෙම ඉදිරි නිෂ්පාදන පුරෝකථනය සටහන්ව ඇත. 

කෙසේ වෙතත් මෙම අගය 2025 වසරේ එම මාස තුන තුළදී වාර්තා කළ කිලෝ මිලියන 64.96 ක තේ නිෂ්පාදනය හා සැසඳීමේදී සියයට 2.6 ක අඩු වීමක් ලෙසද සටහන්ව තිබේ. 

විශේෂයෙන්ම තේ වගාව වෙත බලපා ඇති දේශගුණික සාධක මෙන්ම, පොහොර ගැටලු‍ ඇතුළු කාරණා හේතුවෙන් මෙම නිෂ්පාදනය අඩු වනු ඇතැයි අදහස වී තිබේ. 

ඒ අනුව සැප්තැම්බර් මාසය අවසන් වන විට පැවැති සමස්ත තේ නිෂ්පාදනය වූ කිලෝ 192,620,127 සහ මෙම කිලෝ 63,234,735 ක පුරෝකථනයත් සමගින් 2026 වසරේ සමස්ත තේ නිෂ්පාදනය කිලෝ මිලියන 255.85ක් (කිලෝ 255,854,862ක්) වනු ඇතැයි මෙම වාර්තාව පෙන්වා දෙයි. 

කෙසේ වෙතත් මෙය 2025 වසරේ වාර්තා වූ කිලෝ මිලියන 264.12 ක (264,122,455ක) තේ නිෂ්පාදනය හා සැසඳීමේදී සියයට 3.13 ක අඩුවීමක් ලෙසද සටහන්ව තිබේ.