2030 වසර වන විට ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික වෙළඳ ඉලක්කය ඇමරිකානු ඩොලර් බිලියන 1ක් දක්වා ළඟා කර ගැනීම දෙරටේම අපේක්ෂාව වී තිබෙන බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන වියට්නාම තානාපති ට්‍රින් ති ටෑම් (Trinh Thi Tam)  මහත්මිය පවසයි. 

ලංකා වාණිජ මණ්ඩලයේ මූලිකත්වයෙන් සිදු වුණු ‘ශ්‍රී ලංකා - වියට්නාම ව්‍යාපාරික මණ්ඩලය‘ (Sri Lanka–Viet Nam Business Council - SLVBC ) දියත් කිරීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් ඇය මෙම කරුණු පවසා තිබේ. 

 “මෙම ඉලක්කය වෙත යාම සඳහා දෙරටේ ව්‍යාපාර අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම වැදගත්. එහිදී විවිධ ප්‍රමාණයේ සමාගම්වලට අවස්ථා නිර්මාණය කර දෙන ලෙස මෙම ව්‍යාපාරික මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙම මණ්ඩලයේ කටයුතු සඳහා සහාය ලබා දීමට තානාපති කාර්යාලය කැපවී සිටිනවා. 

ශ්‍රී ලංකා සහ වියට්නාම ව්‍යාපාර අතර වෙළෙඳාම පුළුල් කිරීමට, ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ශක්තිමත් වාණිජ හවුල්කාරිත්ව ගොඩනැගීමට කැපවූ වේදිකාවක් ලෙස මෙම ව්‍යාපාරික මණ්ඩලය පිහිටුවා තිබේ.
ලංකා වාණිජ මණ්ඩලය යටතේ පිහිටුවන ලද 22 වැනි ද්විපාර්ශ්වික ව්‍යාපාරික මණ්ඩලය වන මෙය, පළමුවෙන් ප්‍රකාශයට පත් කෙරුණේ 2026 මැයි මාසයේ පැවති ‘ශ්‍රී ලංකා - වියට්නාම වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදයේදී‘ ය. 

මෙම මණ්ඩලයේ අභිනව සභාපතිවරයා ලෙස ‘ඇන්ඩෲ ද ට්‍රැවල් කම්පනි‘ (Andrew the Travel Company) හි කළමනාකාර අධ්‍යක්ෂ මහේන් කාරියවසන් මහතා පත් කර තිබේ. 

මෙම අවස්ථාවේදී අදහස් දක්වා ඇති ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා, දෙරට අතර වර්ධනය වෙමින් පවතින ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමේ හැකියාව අවධාරණය කර තිබේ. 

 “නිෂ්පාදන, කෘෂිකර්මාන්තය, සැපයුම් දාම කළමනාකරණය (logistics),  සංචාරක කර්මාන්තය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT),  පුනර්ජනනීය බලශක්තිය සහ වෘත්තීය සේවා යන ක්ෂේත්‍රවල අවස්ථා පවතිනවා. ව්‍යාපාරික පාර්ශව අතර සමීප සම්බන්ධතා ගොඩනඟා ගැනීමෙන් දෙරට අතර වෙළෙඳාම සහ ආයෝජන ප්‍රවාහ ඉහළ නැංවිය හැකියි’’ යනුවෙන්ද පවසා තිබේ.