IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


විදුලිය ගාස්තුව සංශෝධනයේදී විනිවිදභාවය ඉතාමත් අවමයි

  • ආසියානු සංවර්ධන බැංකුවෙන් පසුගිය වසරේදී ඩො.මි. 808 ක මූල්‍ය සහායක්
  • මෙම වසරේදී ඩොලර් මිලියන 790 ක මූල්‍ය සහායක්
  • 2027 වන තෙක් අඛණ්ඩව ප්‍රතිපත්ති මත පදනම් වූ ණය ගිවිසුම් මගින් අයවැය සහාය
  • රාජ්‍ය අංශයේ කළමනාකරණය සහ බලශක්තිය වැනි අංශවල ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිමට රජය පියවර ගත යුතුයි
  • විදුලිය ගාස්තුවේ තිබෙන අස්ථාවරත්වය අඩු කිරීමට පියවර ගත යුතුයි
  • නව විදුලි පනත සහ තවත් ප්‍රතිපත්තිමය ක්‍රියා මාර්ග කීපයක් ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන තුරු ආසියානු සංවර්ධන බැංකුව විමසිල්ලෙන්

විමුක්ති එස් රුද්‍රිගු


ආසියානු සංවර්ධන බැංකුව පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 808 ක මූල්‍ය සහායක් මෙරටට ලබාදී තිබෙන බවත් මෙම වසරේදී ඩොලර් මිලියන 790 ක මූල්‍ය සහායක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ටකෆුමි කඩොනෝ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

එලෙස ලබාදීමට බලාපොරොත්තු වන මිලියන 790 ක මූල්‍ය සහාය යටතට ප්‍රතිපත්ති මත පදනම් වූ ණය ගිවිසුම්ද අදාළ වන බවත් ඒ සඳහා රජය ප්‍රතිපත්තිමය කරුණු කීපයක් සම්පූර්ණ කළ යුතු බවත් ඔහු පැවැසුවේය. ප්‍රතිපත්ති මත පදනම් වූ ණය ගිවිසුම් මූල්‍ය හිඟය පියවීම සඳහා මූල්‍ය සහාය සපයනු ඇති බවත් ඒ සඳහා මූල්‍ය, රාජ්‍ය අංශයේ කළමනාකරණය සහ බලශක්තිය වැනි අංශවල ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිමට රජය පියවර ගත යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

අවම වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන අවසන් වන 2027 වන තෙක් අඛණ්ඩව ප්‍රතිපත්ති මත පදනම් වූ ණය ගිවිසුම් මගින් අයවැය සහාය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව බලාපොරොත්තු වන බවද ඔහු පැවැසුවේය.

ඒ යටතේ ආසියානු සංවර්ධන බැංකුව අවධානය යොමුකරන එක් කරුණක් වන්නේ මෙරට විදුලිය ප්‍රතිපත්තිය බවද කඩොනෝ මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව විදුලිය ගාස්තු සංශෝධනය කරන ප්‍රතිශතයට වඩා ආසියානු සංවර්ධන බැංකුව අවධානය යොමු කරන්නේ මෙරට විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමේ ප්‍රතිපත්තිය පිළිබඳව යැයි ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ටකෆුමි කඩොනෝ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව විදුලිය ගාස්තුව ඉහළ දමන හෝ වෙනස් කරන ප්‍රතිශතය ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට වැඩසටහනට අදාළ නොවන බවත් ආසියානු සංවර්ධන බැංකුවට වැදගත් වන්නේ ඉදිරියේදී විදුලිය ගාස්තුව අඩු හෝ වැඩි කිරීමට ශ්‍රී ලංකාව භාවිත කරන ක්‍රමය සහ මෙරට විදුලිය ප්‍රතිපත්තිය යැයි ඔහු ප්‍රකාශ කළේය.

එලෙස අවධානය යොමුකරන්නේ මෙරට විදුලිය ගාස්තුව වීම සහ ඉතා ඉක්මනින් වෙනස්වන සුළු නිසා හේතුවෙන් බවත් අධ්‍යක්ෂවරයා පැවැසුවේය.

මෙරට විදුලිය ගාස්තුවට සංශෝධන සිදු කිරීමේදී විනිවිදභාවය ඉතාමත් අවම බවත් විදුලිය ගාස්තු සංශෝධනය විනිවිදභාවයකින් සිදුවනු දැකීමට ආසියානු සංවර්ධන බැංකුවට අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කළේය.

විදුලිය ගාස්තුවේ තිබෙන අස්ථාවරත්වය අඩු කිරීමට පියවර ගත යුතු බවත් උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව වරක් සියයට 20 කින් විදුලිය ගාස්තුව ඉහළ දැමුවහොත් තවත් වරකදී සියයට 10 කින් විදුලිය ගාස්තුව පහළ දමන බවත් අධ්‍යක්ෂවරයා පැවැසුවේය.

එවිට මෙරට ව්‍යාපාරවලට සිය ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා ඉදිරිය සැළසුම් කිරීම ඉතාමත් අපහසු බවද ඔහු පෙන්වා දුන්නේය.

ගෝලීය ඉන්ධන මිල ඇතුළු කරුණු කීපයක් විදුලිය ගාස්තුවට බලපාන බවත් ඒ හේතුවෙන් විදුලිය ගාස්තුව ස්ථාවර කිරීමට කිසියම් යාන්ත්‍රණයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇති බවත් අධ්‍යක්ෂවරයා පැවැසුවේය.

එසේම නව විදුලි පනත සහ තවත් ප්‍රතිපත්තිමය ක්‍රියා මාර්ග කීපයක් ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන තුරු ආසියානු සංවර්ධන බැංකුව බලා සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.
නැවතත් විදුලිය ගාස්තුව සියයට 6.8 කින් වැඩි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට මහජන උපයෝගීතා කොමිසම යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් කඩොනෝ මහතා මෙම අදහස් පළ කළේය.
එසේම රාජ්‍ය අංශය කළමනාකරණය කිරීම සඳහා රජය දැනටමත් දැඩි ක්‍රියා මාර්ග ගෙන තිබෙන බවද ඔහු පැවැසුවේය.
කෙසේ නමුත් ගෝලීය බදුකරණය, තොරතුරු හුවමාරු කර ගැනීමේ පද්ධති ඇතුළු තවත් අංශ කීපයක් පිළිබඳව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට තිබෙන බවද අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය. තවද මහවැලි සංවර්ධන ව්‍යාපෘතියට ආසියානු සංවර්ධන බැංකුව අඅඛණ්ඩව සහාය ලබාදෙනු ඇති බවත් එහිදී උතුරු මැද පළාතේ කාණු පද්ධතිය පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුව විශේෂ අවධානයක් යොමු කරනු ඇති බවද කඩොනෝ මහතා පැවැසුවේය.
රජය මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආධාර ලබා ගැනීමට සෞදි රජය සමග සාකච්ඡා කරමින් සිටින බවත් සෞදි රජය සමග ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කර තිබීම පිළිබඳව තමන් සතුටට පත්වන බවත් ඔහු ප්‍රකාශ කළේය.
මහවැලියට ලැබිය යුතු මූල්‍යය සහායේ ප්‍රමාණය තවමත් ආසියානු සංවර්ධන බැංකුව ඇස්තමේන්තු කර නොමැති බවත් නමුත් එය ඇමෙරිකානු ඩොලර් මිලියන 100ට වඩා වැඩිවනු ඇති බවත් අධ්‍යක්ෂවරයා පැවැසුවේය. එය විශාල ආයෝජනයක් වනු ඇති බව නිසැකවම තමන්ට පැවැසිය හැකි බවද ඔහු ප්‍රකාශ කළේය. ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව ලබාදෙන සහාය අඩු සංවර්ධනය වූ ප්‍රදේශ සංවර්ධනය කිරීමේ රජයේ ප්‍රමුඛතාවටද අනුකූල වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
එසේම වාණිජ කෘෂිකර්ම සංවර්ධනය නම් සංකල්පය මෙරටට හඳුන්වා දීමට ආසියානු සංවර්ධන බැංකුව බලාපොරොත්තු වන බවද කඩොනෝ මහතා කීය.
ගොවියන් ඉදිරියටත් වී පමණක් වගා කළහොත් ඔවුන්ට දුප්පත්කමින් මිදීමට කිසිම දිනක හැකියාවක් නොලැබෙනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය. ක්‍රමවත් වාරි මාර්ග පද්ධතියක් තිබෙන විට වසරකට දෙවරක් අස්වැන්න ලබා ගැනීමට ගොවින්ට හැකියාව ලැබුණත් ඉන්ද ප්‍රමාණවත් පරිදි ආදායම ඉහළ දමා ගැනීමට ඔවුන්ට හැකියාව නොලැබෙන බව කඩොනෝ මහතා පැවැසුවේය.
ඒ හේතුවෙන් වාණිජ කෘෂිකර්ම සංවර්ධන සංකල්පය යටතේ ඉහළ වටිනාකමක් ඇති බෝග වගා කිරීමට ගොවීන් යොමු කිරීමට ආසියානු සංවර්ධන බැංකුව බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කළේය.
එසේම ඩිජිටල් රාජ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියකටද ආසියානු සංවර්ධන බැංකුව සහාය ලබාදීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව රජය සමග සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු පැවැසුවේය.



අදහස් (0)

විදුලිය ගාස්තුව සංශෝධනයේදී විනිවිදභාවය ඉතාමත් අවමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30533 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12543 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10905 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 788 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 242 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 888 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site