IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලක්ෂ 30 ක සංචාරක ඉලක්කයට වසර මැදදී සංචාරකයන් ලක්ෂ තුනක අඩුවක්

  • ජ්‍ූනි 26 වැනිදා වනවිට මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 1,146,272 ක්
  • මුල් මාස හයේ පැමිණෙතැයි පුරෝකථනය කර තිබූ සංචාරකයන් සංඛ්‍යාව 1,486,512 ක්
  • සැබෑවටම පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 1,164,182 ක්

භානුක අමරසිංහ

2025 වසරේ මුල් මාස හය තුළ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව අනුව 2025 වසරේ ලක්ෂ 30 ක (මිලියන 3 ක) සංචාරක ඉලක්කය සඳහා යන ගමනට තවත් ලක්ෂ 3 ක පමණ සංචාරකයන්ගේ අඩුවක් පවතින බව සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි. එසේම වසර තුළ අවම සංචාරක පැමිණීම් ප්‍රමාණය සඳහා ද සංචාරකයන් එක්ලක්ෂ හැට දහසක පමණ අඩුවක් පවතින බවත් සඳහන් වෙයි.

සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ අලු‍ත්ම දත්ත අනුව පසුගිය ජූනි 26 වැනිදා වනවිට මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 1,146,272 කි. එහිදී ජූනි 01 සිට 26 දක්වා පැමිණ ඇති සංඛ්‍යාව 116,469 ක් වන අතර, එම මාසයේ දෛනික සංචාරක පැමිණීම්හි සාමාන්‍ය වන 4,480 අනුව ඉතිරි දින හතර තුළත් පැමිණෙන සංචාරකයන් 17,920 ගත් විට ජූනි මාසය තුළ එම සංඛ්‍යාව 134,389 ක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එසේම මුල් මාස හයේදී පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 1,164,192 ක් බවට ද පත් වෙයි.

කෙසේ වෙතත් සංචාරක සංවර්ධන අධිකාරිය මේ වසරේ බලාපොරොත්තු වන ලක්ෂ 30 ක සංචාරක ඉලක්කය යටතේ මුල් මාස හය තුළ පැමිණෙතැයි පුරෝකථනය කර තිබූ සංචාරකයන් සංඛ්‍යාව 1,486,512 කි. එහෙත් සැබෑවටම පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 1,164,182 ක් වීමත් සමගින්ම සංචාරකයන් 322,330 ක අඩුවක් සටහන්ව තිබේ. 

එසේම වසර තුළ අවම සංචාරක පැමිණීම් ලෙස බලාපොරොත්තු වන සංචාරකයන් ලක්ෂ 26.7 ක (මිලියන 2.67 ක) ඉලක්කයේදී මුල් මාස හය තුළ බලාපොරොත්තු වූ සංචාරකයන් 1,326,264 අනුව ද මෙය සංචාරකයන් 162,082 ක අඩුවක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර මෙතෙක් මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි වසර ලෙස සටහන් වන 2018 දී පැමිණි සංචාරකයන් ලක්ෂ 23 අතරින් මුල් මාස හය තුළදී ද පැමිණ තිබුණේ සංචාරකයන් 1,164,644 ක් පමණකි. ඒ අනුව වර්තමාන සංචාරක පැමිණීම් සංඛ්‍යාව සහ 2018 එම කාලසීමාවේ පැමිණීම අතර එක සමාන අගයක් දැකගත හැකිය.

වසර ආරම්භයේ සිටම ගෝලීය සංචාරක කර්මාන්තයේ පිබිදීමක් පෙන්නුම් කළ ද, මේ වසරේ අප්‍රේල් මාසයේදී එක්සත් ජනපදය ලොව රටවල් රැසකට පැනවූ තීරු බදු ඉහළ දැමීම් සහ ජූනි මාසයේදී මැදපෙරදිග ඇතිවූ යුද ගැටුම් තත්වය සංචාරක කර්මාන්තය වෙත දැඩි බලපෑමක් එල්ල කර තිබේ. 

මේ අතර ඉදිරි කාලය ශ්‍රී ලංකාවට සංචාරකයන් වැඩි වශයෙන් නොපැමිණෙන කාලසීමාවක් වීම හේතුවෙන් සංචාරක පැමිණීම්හි ඉලක්කය පිළිබඳව ද යම් ගැටලු‍ ඇතිකර තිබේ. එහෙත් මෙම කාලසීමාවේදීද මෙරට වෙත සංචාරකයන් ආකර්ෂණය සඳහා ප්‍රධානතම විදෙස් වෙළෙඳපොළ කිහිපයක් ඉලක්ක කරගනිමින් ප්‍රවර්ධන වැඩසටහන් ද මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙන බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

සංචාරකයන් ලක්ෂ 30 ක ඉලක්කය සපුරා ගැනීමට නම් ඉදිරි මාස හයක කාලයේදී සංචාරකයන් 1,835,818 ක් මෙරටට පැමිණිය යුතුව තිබේ. එය එක් මාසයකට සංචාරකයන් 305,969 ක සාමාන්‍ය අගයකි. එහිදී දෙසැම්බර් මාසය තුළ වැඩිම සංචාරකයන් පැමිණීමක් බලාපොරොත්තු විය හැකි නමුත්, අනෙක් මාස පහ තුළ සාමාන්‍ය සංචාරක පැමිණීමක් සිදුවනු ඇතැයි පුරෝකථනය කළ හැකිය. මේ අතර 2024 දී දෙවැනි මාස හය තුළ පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,043,243 ක් වන අතර, 2018 දී එය සංචාරකයන් 1,169,143 ක් විය.

 



අදහස් (0)

ලක්ෂ 30 ක සංචාරක ඉලක්කයට වසර මැදදී සංචාරකයන් ලක්ෂ තුනක අඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site