• වසර පහක ණයකර සඳහා වාර්ෂිකව ගෙවනු ලබන සියයට 12.75ක ස්ථාවර පොලී අනුපාතයක්

ලංකා බැංකුව බාසල් III ප්‍රමිතීන්ට අනුකූලව සිදුකළ ණයකර නිකුතුව අද (25) කොළඹ කොටස් හුවමාරුවේ (CSE) ලැයිස්තුගත කිරීමට නියමිත බව එම බැංකුව පවසයි.

අවදානම් අවස්ථාවලදී අගය කපා හැරීමේ විශේෂාංගයකින් (non-viability write-down feature) සමන්විත මෙම ණයකර නිකුතුව, ස්ථාවර වාර්ෂික පොලී අනුපාත (fixed annual coupon rates) සහිත ලැයිස්තුගත ණය සුරැකුම්පත් දෙකකින් සමන්විත වේ. 

ඒ අනුව, මෙම නිකුතුව යටතේ පිරිනැමෙන වසර පහක (05) ණයකර සඳහා වාර්ෂිකව ගෙවනු ලබන සියයට 12.75ක ස්ථාවර පොලී අනුපාතයක් හිමිවන අතර, වසර හතක (07) ණයකර සඳහා වාර්ෂිකව ගෙවනු ලබන සියයට 13.00ක ස්ථාවර පොලී අනුපාතයක් හිමිවනු ඇත. 

නොවැම්බර් 25 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමෙන් අනතුරුව මෙම ණය සුරැකුම්පත් ගනුදෙනු කිරීම ආරම්භ කෙරෙන බවත් ලංකා බැංකුව වැඩිදුරටත් පවසයි. 

මෙරට ඉතිහාසයේ බැංකුවක් විසින් සිදුකළ විශාලතම ණයකර නිකුතුව ලෙස සිදුකළ රුපියල් බිලියන 30ක් වටිනා මෙම ණයකර නිකුතුව වෙත අධිදායකත්වයක් හිමිවිය.