IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ විධිමත් කලයුත්තේ ඇයි?

පසුගිය සතියේ රජයේ මධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර සිටියේ දැනට ක්‍රියාත්මක තත්වයේ නොපවතින රාජ්‍ය ව්‍යවසාය 33 ක් අදියර දෙකක් යටතේ වසා දැමීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලද බවයි. ඒ අනුව යමින් මුල් අදියර යටතේ වසා දමනු ලබන ආයතන 10 ක පමණ නම් රටට හෙළි කරනු ලැබිණි. පසුගිය අයවැය තුළත් ඉන් පසුවත් ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදි ප්‍රකාශකර සිටයේ දැනට ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බවයි. එහෙත් එම ක්‍රියාවලිය ඉතා මන්දගාමීව සිදුවන බවක් පෙනි යයි.
 පෙර රජය යටතේ රාජ්‍ය ව්‍යවසාය විධිමත් අයුරින් ප්‍රතිසංස්කරණය කිරිම සඳහා වූ යෝජනා ඉදිරිපත්ව පැවති අතර ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල සහයෝගය ලබාගැනීමට ද අදහස් කර තිබුණි. එපමණක් නොව රාජ්‍ය ව්‍යවසායවල පවතින සමහරක් ගැටලු‍ විසඳීමට උදාහරණයක් ලෙස පාඩු ලැබීම මඟ හරවා ගැනීමට යම් යම් යෝජනා ක්‍රියාත්මක කිරිම, උදාහරණයක් ලෙස පිරිවැය නිරූපිත මිල හැඩගැස්වීම,ද පසුගිය රජය මගින් සිදුකරන ලදී. එහෙත් නව රජය යටතේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරිම සඳහා නිතර අදහස් දැක්වුවද ක්‍රියාත්මක වීම පවතින්නේ ඉතාමත් මන්දගාමී මට්ටමකිනි. සමහරක් රාජ්‍ය ආයතන (ව්‍යවසායන් ද ඇතුළුව) වසා දැමිය යුතු බවත් තවත් සමහරක් ආයතන ඒකාබද්ධ කළයුතු බවත් තවත් ඒවා පාඩු ලබන තත්වයෙන් මුදා ගත යුතු බවත් නිතර අසන්නට ලැබේ. එහෙත් එම ක්‍රියාවලිය කිරීමට ක්‍රියාත්මක වීම සිදු වන්නේ මන්දගාමීව වේ. එසේම, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබදව පෙර පැවති පුළුල් කතිකාව මේ වන විට යම්තාක් දුරකට සීමාසහිතව සිදුවන බවක් ද දක්නට ලැබේ. මෙම ලිපියේ අරමුණ වන්නේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ අවධානයට ගතයුතු අංශ කිපයක් පිළිබඳව අවධානය යොමුකිරිමය.


රාජ්‍ය ව්‍යවසාය පිහිටුවීමට හේතු මොනවාද?
සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා රටවල ද රාජ්‍ය ව්‍යවසාය දක්නට ලැබේ. එවැනි බොහොමයක් රාජ්‍ය ව්‍යවසාය ආරම්භ වන්නේ 1950-70 දශකවල වන අතර 1980 න් පසු කාලයේ දී රාජ්‍ය ව්‍යවසාය විවිධ ප්‍රතිසංස්කරණවලට ලක්විය. විශේෂයෙන්ම, රාජ්‍ය ව්‍යවසායවල කාර්යසාධනයට අදාළව පැන නගින ලද විවිධ ගැටලු‍ නිරාකරණය සඳහා මෙවැනි ප්‍රතිසංස්කරණ යොමු විය. මුලින්ම අප රාජ්‍ය ව්‍යවසාය ආරම්භ කිරීමට බලපෑ හේතු මොනවාද යන්න විමසා බැලීම වැදගත් වේ. ඊට ප්‍රධානතම හේතුව වන්නේ බොහෝ දෙනා රාජ්‍ය ව්‍යවසාය මූල්‍යමය වශයෙන් පාඩු ලබන හෙයින් ඒවා ප්‍රතිසංස්කරණයට, විශේෂයෙන්ම පෞද්ගලීකරණයට ලක්කළ යුතු බව තර්ක කරනු ලබයි. එම තර්කයෙන් යම්තාක් දුරකට රජ්‍ය ව්‍යාසාය ලාබ ලැබීම අරමුණු කොට පිහිටුවා ඇති ඒවා යන්න ගම්‍ය වේ. රාජ්‍ය ව්‍යවසාය මූල්‍යමය වශයෙන් ලාබ ලැබීම අරමුණුකොට පිහිටුවා නැති මුත් පාඩු පිට පවත්වා ගෙන යායුතුය යන තර්කය ද වලංගු නොවන බව මුලින්ම අවධාරණය කළ යුතුය. 
රාජ්‍ය ව්‍යවසාය ආරම්භ කිරීමෙහිලා බලපෑ හේතු ගණනාවකි. ඉන් පළමු වැන්න වන්නේ අත්‍යවශ්‍ය පොදු භාණ්ඩ සහ සේවා ගණයට වැටෙන ප්‍රවාහනය, විදුලිය, ඉන්ධන, ජලය වැනි දෑ සමාජයේ සියලු‍ම පුද්ගල කණ්ඩායම්වලට ලබාදීම අරමුණු කොට එම සේවා සපයනු ලබන රාජ්‍ය ව්‍යවසාය ආරම්භ කිරිම වේ. මෙම භාණ්ඩ සහ සේවා ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය සමග සෘඡුව ගැට ගැසෙන අතර එවැනි දෑ භාවිතය සඳහා සාධාරණ අවස්ථා සමාජයේ සෑම දෙනාටම ලබාදීම ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීමට උපකාරි වේ. ඒ අනුව යමින් විදුලිබල මණ්ඩලය, ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය, වැනි ආයතන බිහිවිය. රාජ්‍ය ව්‍යාවසාය බිහි වීමට බලපෑ අනෙක් හේතුව වන්නේ යම් යම් කේෂත්‍රවලට අදාළව ස්වාභාවික ඒකාධිකාරී තත්ව පැවතීමය. උදාහරණයක් ලෙස දුම්රිය සේවාව සහ විදුලි සම්ප්‍රේෂණ කටයුතු සැලකිය හැකිය. මෙවැනි දෑ පෞද්ගලික අංශයට ලබාදෙන ලැබුවහොත් ඒ හරහා පාරිභෝගිකයා සූරාකෑමට ලක්විය හැකි බැවින් රජය එවැනි කටයුතු වල නිරත විය යුතු බව තර්ක කරනු ලැබිණි. 
තුන්වනුව ජතික වශයෙන් මූලෝපායික වැදගත් කමකින් යුතු අංශවල උදාහරණයක් වශයෙන් වරාය සහ ගුවන් සේවා වැනි රාජ්‍ය ව්‍යවසාය පවත්වා ගෙනයාම වැදගත් බව අවධාරණය විය. විශේෂයෙන්ම ජාතික ආරක්ෂාවට සහ ජාතීක අභිමාණය සංකේතවත් වන අංශය රාජ්‍ය අයිතිය යටතේ පැවතීම අවධාරණය විය. සිව්වනුව ආර්ථික වර්ධනය සහ සංවර්ධනයට අදාළව තීරණාත්මකව බලපෑම් කළහැකි අංශ/සේවා රාජ්‍ය ව්‍යවසාය ලෙස පවත්වාගෙන යාම අවධාරණය වූ අතර මේ යටතේ බැංකු කටයුතු, ගුවන් සේවා වැනි දෑ සැලකිල්ලට ගැනිණ. රාජ්‍ය ව්‍යවසායවල පැවත්ම අවධාරණය කරනු ලබන තවත් හේතූ සාධක පැවතියත් ඉහතින් සඳහන් කළ කරණු ඒ අතරින් මුල්තැණ ගනී. ඒ අනුව පෙනීයන කරුණක් වන්නේ රාජ්‍ය ව්‍යවසාය වෙළෙ​ඳපොළ බිඳවැටීම නිවැරදි කිරීම ජාතික මූලෝපායික අවශ්‍යතා ඉටුකර ගැනීම සහ ආර්ථික වර්ධනය සහ සංවර්ධනය ඉලක්ක කරගනිමින් පිහිටුවා ඇති ඒවා බවයි. 
රාජ්‍ය ව්‍යවසායවල පැවත්ම තහවුරුකිරීමට නිතර අවධාරණය කරනු ලබන කරුණක් වන්නේ රටේ ජනගහනයෙන් සියයට 99 කට විදුලිය ලබාගැනීමට හැකියාව හිමව ඇත්තේ විදුලිබල මණ්ඩලය රාජ්‍ය ව්‍යසායක්ව පැවතීම හේතුවෙන් යන්නයි. එසේම ප්‍රධාන නගරවලින් බැහැරව සිටින ජනතාවට අවශ්‍ය බැංකු සහ මූල්‍ය පහසුකම් මෙන්ම ඉන්ධන අවශ්‍යතා සපුරා ගැනීමට හැකියාව ඇත්තේ රාජ්‍ය බැංකු පැවතීම සහ ඉන්ධන බෙදාහැරීම, මුල් අවස්ථාවේදී රාජ්‍ය අයිතිය යටතේ පැවතීම නිසා බවයි. එබැවින් රාජ්‍ය ව්‍යවසාය පූර්ණ වශයෙන් පෞද්ගලීකරණයට ලක් කිරීමට ජනතාව අකැමැති වීම පිටුපස සාධාරණ හේතු පවතින බව වර්තමානයේ ලංකේය පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වය දෙස අවධානය යොමු කිරීමෙන් පැහැදිලි වේ. පළමුව ජනතාවට ඇති මෙම සැකය දුරු කරලීම සඳහා අවශ්‍ය පියවර සමගාමීව හඳුන්වා දීම කළ යුතු වේ. 


පෞද්ගලීක අංශය පොදු සේවා/භාණ්ඩ සැපයීමට සමත් ද?
අතීතයේ දි කරනු ලැබු රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ගණනාවක් ඇත. ඒවා බොහොමයක් රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම් විය. ඒ අතර ගමනාගමන මණ්ඩලය යටතේ පැවති ප්‍රවාහන සේවය, රාජ්‍ය වතු අංශය, බැංකු කටයුතු සහ විදුලි සංදේශ වැනි අංශ ප්‍රමුඛ වේ. අතීත අත්දැකීම් දෙස අවධානය යොමුකිරිමේ දී පෙනී යන කරුණක් වන්නේ එවැනි විදුලි සංදේශ අංශය හැර අනෙකුත් අංශවල බලාපොරොත්තු වූ අපේක්ෂා ඉටුව නොමැති බවයි. එසේම පෞද්ගලික අංශය සාභාගීවන පොදුසේවා, උදාහරණයනක් ලෙස ප්‍රවාහනය, සෞඛ්‍ය, අධ්‍යාපන වැනි අංශවල ක්‍රියාකාරීත්වය අපේක්ෂිත මට්ටමකින් පවත්වා ගැනීමට අපොහොසත්ව ඇත. උදාහරණයක් ලෙස පෞද්ගලික ප්‍රවාහන සේවා අංශය සැලකූ විට එම සේවාව මගින් ජාතික ආර්ථිකයට සිදුවිය යුතු සේවාව ඉටු නොවන බව ඉතා පැහැදිලි කරුණකි. විශේෂයෙන්ම ආරක්ෂිත සහ ගුණාත්මක සේවාවක් ලබාදීමට අසමත්ව ඇති අතර මේ නිසාම ප්‍රවාහන ගැටලු‍වට තනි තනිව උත්තර සොයා ගන්නා තැනට ජනතාවට සිදුව ඇත. 
බොහොමයක් ග්‍රාමීය සහ අර්ධ නාගරීක  ප්‍රදේශවල සවස 6න් පසුව පෞද්ගලික ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවිම බරපතළ ගැටලු‍ ඇතිකිරිමට හේතු වී ඇත. පෞද්ගලික සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවා සැපියීම් පිළිබඳව ඇති තත්වය ද මේ හා සමාන වේ. එබැවින් රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණයට අදාළව දැඩි සමාජ විරෝධයක් පැවතීමට මූලිකතම හේතුව වී ඇත්තේ දැනට පෞද්ලික අංශය මගින් සපයනු ලබන භාණ්ඩ සහ සේවාවලට අදාළව ඇති බරපතළ ගැටලු‍ සහගත තත්වයයි. මේ නිසා රජය රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සඳහා අවධානය යොමු කිරීමට සමගාමීව පෞද්ගලික අංශය මගින් සපයනු ලබන භාණ්ඩ සහ සේවාවල ගුණාමකබව සහතික කිරීම සඳහා අවශ්‍යවන නීතිමය රාමු පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ. එසේම දැනට ඇති නීති සහ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම මෙහිලා වැදගත් වේ. පොදු සේවා වැඩි දියුණු කිරීමට අදාළව මැතිවරණ සමයේ දි විවිධ පොරොන්දු ලබාදෙනු ලැබුවද එවැනි යෝජනා ක්‍රියාත්මක කිරීමට පියවර නොගැනීම සැබැවින්ම කනගාටුවට කරුණකි. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ මගින් රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණය සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වය ලබාගැනීමට මත්තෙන් ඉහත වෙනස්කම් ඇති කිරීම අත්‍යවශ්‍යෙ වේ. 


රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණයේ දී ගතයතු ප්‍රවේශය කුමක් ද?
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණයේ දී අප ඉහතින් දැක්වූ පරිදි රාජ්‍ය ව්‍යවසාය ඇතිකිරීමට තුඩුදුන් මූලීක හේතු සාධක කෙරෙහි මුලින්ම අවධානය යොමු කළයුතු වේ. ඒ අනුව එම අරමුණු කොතෙක් දුරකට අදට ගැළපේ ද යන්න විමසා බැලිය යුතුය. එම අරමුණු ළඟාකර ගැනීමට අදාළ ව්‍යවසාය රාජ්‍ය අයිතිය යටතේ පැවතිය යුතු ද යන්න විමසා බැලිය යුතුය. යම් හෙයකින් පාඩු ලබන්නේ නම් ඊට හේතුව කුමක් ද යන්න ගැඹුරින් අධ්‍යයනය කළයුතු වේ. මෙහිදී වැදගත් වන්නේ අදාළ රාජ්‍ය ව්‍යවසාය ජාතික ආර්ථිකයට කරනු ලබන සේවාව වන අතර තනි තනි රාජ්‍ය ව්‍යවසාය මූල්‍යමය වශයෙන් ලාබ නොලැබුවද අදාළ ආයතනය පවත්වා ගැනීම සඳහා වූ පිරිවැය ආවරණය කිරිම සහතික කළයුතු වේ. පසුගිය රජය යටතේ පිරිවැය ආවරණය කිරිම සහතික කරනුවස් රාජ්‍ය ව්‍යවසාය මගින් සපයනු ලැබු භාණ්ඩ සහ සේවා සඳහා පිරිවැය නිරූපිත මිල ගණන් හඳුන්වා දිම සිදුකරන ලදී. එසේම රාජ්‍ය ව්‍යවසාය සඳහා දේශීය සහ පෞද්ගලික අංශය සහභාගී කරගැනීමට නිරතුරුවම කටයුතු කිරීම ඉතා වැදගත්ය. එවැනි එක්කර ගැනීම් නිසි නීති රාමුවක් තුළ කළයුතුය. යම් හෙයකින් රාජ්‍ය අයිතිය යටතේ පවත්වා ගැනීම යෝග්‍ය වුවද මතුවිය හැකි මූලික ගැටලු‍වක් වන්නේ සේවා පුළුල් කිරීමට සහ ගුණාත්මක බව වැඩි දියුණු කිරීමට අවශ්‍ය වන්නා වූ ආයෝජන කිරීමට මූල්‍ය ප්‍රතිපාදන නොමැති වීමය. විශේෂයෙන්ම ණය අර්බුදය හමුවේ රජය මුහුණ පා ඇති ප්‍රධානතම ගැටලු‍ව වන්නේ රාජ්‍ය මූල්‍ය අවකාශය බරපතළ ලෙස සීමා වීම වේ. මේ නිසා රජය නිරතුරුවම දේශිය සහ පෞද්ගලික අංශය සමග එක්ව කටයුතු කිරීම මෙන්ම පෞද්ගලික අංශයට ආර්ථික කටයුතු වලට සහභාගීවීම සඳහා වූ අවස්ථා පුළුල් කිරීම වැදගත් වේ. නිරතුරුවම රාජ්‍ය-පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණය පිළිබඳව අදහස් දැක්වීම් සිදු වුවද ප්‍රයෝගිකව එවැන්නක් සිදුවන බවක් නොපෙනීම කනගාටුවට කරුණකි. 
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඉක්මනින් සිදුවිය යුතු වන්නේ පලදායී රාජ්‍ය ව්‍යසාය මගින් ජාතික ආර්ථිකයට කළහැකි විශාල මැදිහත් විම නිසා පමණක් නොව මනා සාර්ව ආර්ථික ස්ථායීතාවක් පවත්වා ගැනීමට ද රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඉතා වැදගත් වන හෙයිනි. විශේෂයෙන්ම, දිගු කාලීනව රාජ්‍ය ව්‍යවසායවල ඇති අකාර්යක්ෂමතාව මෙන්ම වංචාව සහ දූෂණය පිටු දැකීම සඳහා ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව දශක කීපයක සිට හඳුනා ගෙන ඇති අතර ඒ සඳහා නොයෙකුත් යෝජනා ඉදිරිපත්ව ඇත. එසේ වන්නේ වී නමුදු මෙතෙක් එම යෝජනා ක්‍රියාත්මක කිරීමක් සිදුව ඇත්තේ ඉතා සීමා සහිතවයි. ආර්ථික අර්බුදයත් සමග සමහරක් යෝජනා ක්‍රියාත්මක කිරීම සිදු වුවද තීරණාත්මක වූ ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකළ යුතුව ඇත. 
විශේෂයෙන්ම රාජ්‍ය අයවැයට විශාල බලපෑමක් එල්ල කරනු ලබන ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරීම පිළිබදව කඩිනමින් අවධානය යොමු කිරීම මෙහිලා වැදගත්ය. රාජ්‍ය ව්‍යවසාය පමණක් නොව රාජ්‍ය සේවය ද ප්‍රතිසංස්කරණවලට ලක් කළ යුතු වන්නේ එම අංශවල ඇති අකාර්යක්ෂමතා ආර්ථිකයේ අනෙකුත් අංශවල අකාර්යක්ෂමතාවලට හේතු වී ඇති හෙයිනි. වර්තමාන අවිනිශ්චිත සහ ආරක්ෂණවාදී ගෝලීය පරිසරය තුළ පලදායීතාව සහ නවෝත්පාදනය මත පදනම්ව ආර්ථික තරගකාරීත්වය ඉහළනංවා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. එබැවින් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණයේ දී වඩාත් පුළුල් ප්‍රවේශයක් අනුගමනය කළයුතුය. ඉන් අදහස් වන්නේ රාජ්‍ය ව්‍යවසාය ආරම්භ කිරීමට බලපෑ පරමාර්ථ සාක්සාත් කරගැනීම සහතික කරන අතර, දිගුකාලීනව රාජ්‍ය ව්‍යවසායන් හී පවත්නා ගැටලු‍වලට විසඳුම් මෙන්ම වර්තමානය වනවිට අත්‍යවශ්‍යව ඇති ආයෝජන අවශ්‍යතා ද සපුරාලීමට එම ප්‍රතිසංස්කරණවලටට හැකියාව පැවතිය යුතුය යන්නය. අවසාන වශයෙන් ප්‍රතිසංස්කරණ ආර්ථික තරගකාරීත්වය ඉහළ නැංවීමට ඉවහල් විය යුතුය. ආර්ථික අර්බුදය රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සඳහා මහඟු‍ අවස්ථාවක් ලබාදුන් අතර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීමෙන් සිදුවන්නේ එම අවස්ථා ගිලිහී යාමය. මේ නිසා රජය ප්‍රතිසංස්කරණ සඳහා කඩිනමින් නිර්භීතව කටයුතු කළ යුතුව ඇත. එසේ ක්‍රියාත්මක වීමක් වර්තමානයේ දක්නට නොලැබීම කනගාටුවට කරුණකි. 



අදහස් (0)

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ විධිමත් කලයුත්තේ ඇයි?

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28812 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18207 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11215 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 689 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 209 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site