IMG-LOGO

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා


රු. බි. 9කට වැඩි ලංකාවේ ලොකුම වෙන්දේසියට අයැදුම්පත් කැඳවෙයි

  • මෙරට පළමු 5G සංඛ්‍යාත වෙන්දේසිය දෙසැම්බර් 03 දා 
  • දුරකථන සමාගම් තුනකින් දෙකකට වෙන්දේසියට ඉදිරිපත් වීමේ අවස්ථාවක් 
  • අදාළ ගාස්තු කොටස් ලෙස ගෙවීමට සමාගම්වලට වසර හතරක සහන කාලයක්
  • සමාගම් වසර පහකදී මහ නගර සභා තුළ සියයට 80ක 5G ආවරණයක් ලබාදිය යුතුයි 
  • මහ නගර සභාවලින් ඉවත් කෙරෙන 4G තාක්ෂණික උපාංග ග්‍රාමීය ප්‍රදේශ වෙත 
  • නිදහස් කරගන්නා සංඛ්‍යාත ඩිජිටල් රූපවාහිනියට 

භානුක අමරසිංහ 

ශ්‍රී ලංකාව තුළ 5G සංඛ්‍යාත වෙන්දේසියට අදාළ කටයුතු ආරම්භ කරමින් අදාළ වෙන්දේසි පැවරුම් දැන්වීම (NoA– Notice of Assignment) නිල වශයෙන් නිකුත් කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පසුගිය 03 වැනිදා කටයුතු කළේය. 

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, එම අමාත්‍යංශයේ වැඩබලන ලේකම්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති වරුණ ධනපාල, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත්, 5G වෙන්දේසි කමිටුවේ සභාපති, මුදල් අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ජෙනරාල්, ආචාර්ය, සුලක්ෂණ ජයවර්ධන සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ශාන්ත ගුණානන්දන යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මාධ්‍ය හමුවකදී මෙම කටයුත්ත සිදුවිය.

ඒ අනුව අදාළ දැන්වීම නිකුත් කර රාජකාරි දින 50ක කාලයක් ඇතුළතදී එනම් දෙසැම්බර් 03 දා මෙම වෙන්දේසිය අවසන් කිරීම එම කොමිෂන් සභාවේ අරමුණ වී තිබේ. එහිදී අදාළ වෙන්දේසියට ඉදිරිපත් වන තරගකරුවන් එම කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ පළවන අයදුම්පත්‍රය පුරවා ඉදිරිපත් කළ යුතුය. 

“විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා පනතේ 17(2) වගන්තිය යටතේ ඩිජිටල් ජංගම දුරකතන සන්නිවේදන සේවා සැපයීම සඳහා බලපත්‍රලාභී ඕනෑම ආයතනයකට මේ සඳහා ඉදිරිපත්වීමේ අවස්ථාව පවතිනවා. දැනටමත් මෙරට ක්‍රියාත්මක එවැනි සමාගම් තුන අතරින් සමාගම් දෙකක් වෙන්දේසියට ඉදිරිපත් වනු ඇතැයි අපි විශ්වාස කරනවා.” යනුවෙන් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා සඳහන් කළේය. 

ඒ අනුව ඉල්ලු‍ම්පත්‍ර ඉදිරිපත් කිරීමේ අවසන් දිනය නොවැම්බර් 10 වැනිදා වන අතර, 12 වැනිදා එම ඉල්ලු‍ම්කරුවන්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධියට පත් කෙරේ. එසේම සුදුසුකම්ලත් ලංසු තබන්නන් ලියාපදිංචි කිරීම නොවැම්බර් 21 වැනිදා සිදුවෙයි.

මෙම වෙන්දේසිය යටතේ 3500MHz සහ 27GHz ලෙස සංඛ්‍යාත පරාස කාණ්ඩ දෙකක් යටතේ ලංසු ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. මින් 3500MHz සංඛ්‍යාත පරාසය 5G ජංගම දුරකතන සන්නිවේදන කටයුතු සඳහාත්, 27GHz පරාසය කර්මාන්ත සඳහා භාවිතයට යොදාගැනීමට ලබාදීමත් සැලසුම වී තිබේ. 

“මෙම වෙන්දේසිය යටතේ රැස් කරගැනීමට බලාපොරොත්තු වන අවම මුදල රුපියල් බිලියන 9ක්. ඒ වගේම එහි උපරිම වෙන්දේසි වටිනාකම පිළිබඳව තවමත් අදහස් නැහැ. ඒ අනුව මෙය ලංකාවේ ලොකුම වෙන්දේසිය බවට පත්වේවි. මෙම මුදල් මහා භාණ්ඩාගාරයට ලබා දෙනවා.” යනුවෙන්ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේය. 

මෙහිදී අදහස් දක්වා සිටි 5G වෙන්දේසි කමිටුවේ සභාපති, මුදල් අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්, ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා, අදාළ වෙන්දේසිය සම්බන්ධයෙන් සිය සභාපතිත්වයෙන් සාමාජිකයන් පස්දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන බව ප්‍රකාශ කළේය. 

සුදුසුකම්ලත් ලංසු ඉදිරිපත් කරන්නන් සමග ලබන දෙසැම්බර් 03 වැනිදා සිදුකරන ප්‍රධාන වෙන්දේසියට පෙරාතුව දෙසැම්බර් 02 වැනිදා ආදර්ශ වෙන්දේසියක් සිදු කිරීමටත් කොමිෂන් සභාව තීරණය කර තිබේ. 

“මීට පෙර අපි කාටවත් මේ වගේ වෙන්දේසියක අත්දැකීමක් නෑ. ඒ නිසා එම කටයුතු සාර්ථක කරගන්න අපි මේ විදියට කටයුතු කරනවා. මෙම වෙන්දේසිය සඳහා අපි පසුගිය වසර කිහිපයේදීම ජාත්‍යන්තර අත්දැකීම් බොහෝ ප්‍රමාණයක් රැස් කරගෙන තිබෙනවා.” කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේය. 

දෙසැම්බර් 03 වැනිදා පැවැත්වෙන වෙන්දේසියත් “Clock Stage” සහ “Frequency Identification Stage” (සංඛ්‍යාත හඳුනාගැනීමේ අදියර) ලෙස ජාත්‍යන්තරව පිළිගත් අදියර දෙකකින් පැවැත්වෙන බවත් මෙහිදී අනාවරණය කෙරිණි. 

එසේම මෙහිදී වෙන්දේසියෙන් වැඩිම ලංසු ඉදිරිපත් කර ජයගන්නා සමාගම් වෙත අදාළ ගෙවීම් සඳහා ක්‍රම දෙකක් ද ලබා දී තිබේ. ඒ අනුව අදාළ ගාස්තුව එකවර සම්පූර්ණයෙන්ම දින 10ක් ඇතුළත ගෙවන්නේ නම් ගාස්තුවෙන් සියයට 10ක වට්ටමක් හිමි වෙයි. ඊට අමතරව වාර්ෂිකව වාරික පහකින් ගෙවීම සඳහා ලබා දී ඇති පහසුකම යටතේ සියයට 10ක මූලික ගෙවීමකින් පසුව, ඉතිරිය වසර හතරක් පුරා සියයට 15, සියයට 20, සියයට 25, සියයට 30 ලෙස වාර්ෂික වාරික ලෙස ගෙවිය හැකිය.

මේ අතර දැනටමත් කොළඹ ඇතුළුව නගරාශ්‍රිතව 5G අත්හදා බැලීම් සිදුකරන සේවා සම්පාදන සමාගම් වෙත දෙසැම්බර් 03 වැනිදා සිට නිල වශයෙන් එම සේවා ක්‍රියාත්මක කිරීමට ද අවස්ථාව හිමි වෙයි. එසේම 3500MHz සංඛ්‍යාත ලබාගත් සමාගම් වසර පහක් තුළදී ලංකාවේ නගර සභා, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා සැලකිය යුතු ප්‍රමාණයක5G තාක්ෂණයෙන් ආවරණය කළ යුතුව තිබේ. 

“මෙම වසර පහ තුළදී එම සමාගම් මහ නගර අතරින් සියයට 80ක්ද, නගර සභා අතරින් සියයට 60ක්ද, ප්‍රාදේශීය සභා අතරින් සියයට 30ක්ද ආවරණය කළ යුතු වෙනවා.” මෙහිදී අනාවරණය කෙරිණි. 

මේ අතර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ශාන්ත ගුණානන්දන මහතා අදහස් දක්වමින්, 5G තාක්ෂණය ශ්‍රී ලංකාවේ ජන ජීවිතයට විශාල පරිවර්තනයක් ළඟා කරනු ඇති බව පවසා සිටියේය. “මේ විදියට 5G තාක්ෂණය පැමිණීමත් සමගින්ම නගරවලින් ඉවත් කරන 4G තාක්ෂණික උපාංග ගමට රැගෙන යනවා. ඒ හරහා ගම්බද ප්‍රදේශවලට 4G තාක්ෂණය ලබා දෙන්න පුළුවන්. ඒ වගේම නිදහස් කරගන්නා සංඛ්‍යාත ඩිජිටල් රූපවාහිනී විකාශය සඳහා ලබා දෙන්න පුළුවන්.” යනුවෙන් පවසා සිටියේය. 

 



අදහස් (1)

රු. බි. 9කට වැඩි ලංකාවේ ලොකුම වෙන්දේසියට අයැදුම්පත් කැඳවෙයි

ගුණරත්න Wednesday, 08 October 2025 11:40 AM

ඔය වෙන්දේසිය තියෙන්න ඕනෑ. නමුත් ලංකාවේ ලොකුම ටෙලිකොමියුනිකේෂන් සමාගමක ලොකුම ලොක්කෙක් ආණ්ඩුවේ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් වගකිවයුතු තනතුරු දරද්දී මේ වගේ වෙන්දේසි ගැන අපට සැකයක් මතුවෙනවා. මොකද ඔය සමාගමේ වැඩ ගැන මිනිසුන්ට බරපතල විවේචන තිබෙන නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 262 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 679 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 314 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site