IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


මෙරට සියලුම අංශවල ආයෝජනයට ශ්‍රී ලංකා ඩයස්පෝරාවට ආරාධනයක්

  • රට බාරගන්නා විට තිබූ තත්වය අනුව ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් වෙනස් කළ නොහැකියි
  • ආයෝජන ක්‍රියාවලියට සිදුවන දේශපාලන අතපෙවීම් මේ වනවිට සම්පූර්ණයෙන්ම නවත්වලා
  • කන්කසන්තුරෙයි සහ පරන්තන් ඇතළුව උතුරු පළාතේ ආයෝජන කලාප තුනක්
  • ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ඉඩම් අක්කර 3,000 ක් පමණ ප්‍රධාන සංචාරක ව්‍යාපෘතිවලට
  • මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන බැවින් ඇතැම් නීති විශේෂයෙන් බදුකරණය පිළිබඳ නීතින් එක් රුයකින් වෙනස් කළ නොහැකියි

විමුක්ති එස් රුද්‍රිගු


විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්

වඩාත් විනිවිදභාවකින් යුත් ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත්, ඒ හේතුවෙන් මෙරට වැඩි වශයෙන් ආයෝජන සිදු කරන ලෙස විදේශ රටවල පදිංචි ශ්‍රී ලාංකිකයන්ගෙන් සහ විදේශයන්හි ව්‍යාපාර පවත්වා ගෙන යන ශ්‍රී ලාංකික සමාගම්වලින් ඉල්ලා සිටින බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට සිය කැමැත්තෙන් මෙරටට පැමිණීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම රජයේ දීර්ඝ කාලීන සැලසුම බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වඩාත් හොඳ ජීවිතයක් ලබාගැනීම සඳහා මෙරට වැසියන්ට විදේශ ගතවීමට අවශ්‍ය නොවන දිනක් උදාකළ හැකි ආකාරයට මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවට සාමූහික උත්සාහයක් ගන්නා ලෙස ඉල්ලා සිටින බවත්, මෙරට සියලු‍ම අංශවල ආයෝජනය කිරීමට ශ්‍රී ලංකා ඩයස්පෝරාවට ආරාධනා කරන බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ලංකාව යනු අගනා සම්පත් තිබෙන ඉතාම ලස්සන පුංචි දූපතක් බවත්, ස්වාභාවික සෞන්දර්ය පිළිබඳ සැලකීමේදී ලෝකයේ ඉහළම අගයක් තිබෙන රටක් බවත් හේරත් මහතා පැවැසුවේය. වැරදි ප්‍රතිපත්ති හේතුවෙන් මෙරට ආර්ථිකය පසුගිය කාලයේදී කඩා වැටුණු බවද ඔහු ප්‍රකාශ කළේය. ජාතික ජන බලවේග රජය බාර ගත්තේ දේශපාලනික හා සංස්කෘතික වශයෙන් පරිහානියට පත්වූ බංකොළොත් රටක් බවද ඔහු පැවැසුවේය.

වත්මන් රජය රට බාරගන්නා විට තිබූ තත්වය අනුව ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් වෙනස් කළ නොහැකි බවත්, නිවැරදි ව්‍යූහයන් යටතේ වංචාව හා දූෂණයට කිසිඳු ඉඩක් නොතබමින් මෙරට ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැගීමට රජය කැපවී සිටින බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

ආයෝජන ක්‍රියාවලියට සිදුවන දේශපාලන අතපෙවීම් වත්මන් රජය මේ වනවිට සම්පූර්ණයෙන්ම නවත්වා තිබෙන බවට ශ්‍රී ලංකා ඩයස්පෝරාවට සහ ආයෝජකයන්ට තමන් සහතිකයක් ලබාදෙන බවද ඔහු පැවැසුවේය. තවදුරටත් මෙරට ආයෝජන ක්‍රියාවලියේ දේශපාලන මැදිහත්කරුවන් නොමැති බවත්, ආයෝජන අවස්ථා සඳහා පහසුකම් සැපයීමට ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ ඒ සඳහා කැපවූ කණ්ඩායම් සූදානමින් සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කන්කසන්තුරෙයි සහ පරන්තන් ඇතළුව උතුරු පළාතේ ආයෝජන කලාප තුනක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබෙන බවද හේරත් මහතා පැවැසුවේය. ඊට අමතරව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ඉඩම් අක්කර 3,000 ක් පමණ ප්‍රධාන සංචාරක ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති බවත් ඒ සඳහා ශ්‍රී ලංකා ඩයස්පෝරාවටද යෝජනා ඉදිරිපත් කරන ලෙස රජය ආරාධනා කර තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය. මෙරට ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා රජය ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙන බවද අමාත්‍යවරයා පැවැසුවේය. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන බැවින් ඇතැම් නීති විශේෂයෙන් බදුකරණය පිළිබඳ නීතින් එක් රැයකින් වෙනස් කළ නොහැකි බවද විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

බංකොළොත්භාවයෙන් රට මුදා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවූ බවත්, ඒ හේතුවෙන් බදු සහන වැනිදෑ ක්ෂණිකව ලබාදීම අපහසු බවත් ඔහු ප්‍රකාශ කළේය. කල්යත්ම ආර්ථිකය ශක්තිමත් වන වේගයට සාපේක්ෂව එම සහන ටිකටික ලබාදීමට හැකියාව ලැබෙනු ඇතැයිද ඔහු පැවැසුවේය.

කෙසේ වෙතත්, ආර්ථික තත්වය වැඩිදියුණු වන විට ආයෝජකයන්ට වඩා හොඳින් පහසුකම් සැලසීම සඳහා ප්‍රතිපත්තිවල වඩාත් නම්‍යශීලී බවක් හඳුන්වා දීමට හැකියාව ලැබෙනු ඇතැයිද විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එතෙක් විශ්වාසයෙන් මෙරට ව්‍යාපාර ආරම්භ කළහැකි බවත්, ඒ සඳහා අතීතියේ මෙන් මැති ඇමැතිවරුන්ට කොමිස් මුදල් ලබාදීම අවශ්‍ය නොවන බවද විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පෙන්වා දුන්නේය. අතීතයේ සියයට 10 ක කොමිස් මුදලක් මැති ඇමැතිවරුන්ට ලබා නොදුන්නේ නම් ව්‍යාපාර පටන් ගැනීමට හැකියාවක් නොතිබූ බවද ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ඩයස්පෝරාව සමග කටයුතු කිරීමටත්, ආයෝජන පහසුකම් සැපයීමටත් ඒ සඳහා කැපවූ ඒකකයක් ජනාධිපති කාර්යාලය තුළ පිහිටවනු ඇතැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ව්‍යාපෘති අනුමත කර ගැනීම සඳහා අවසර ගැනීමට යාමේදී තවමත් යම්යම් ප්‍රමාදය තිබෙන බවත්, ඊට හේතුව මෙරට නීති පද්ධතිය බවත් හේරත් මහතා පැවැසුවේය. නමුත් ඉතාමත් ඉක්මනින් එම සියලු‍ අවසරය එක තැනකින් ලබාගැනීමට හැකියාව ඇතිකරන බවද ඔහු ප්‍රකාශ කළේය. එයට අවශ්‍ය නීතිමය වෙනස් කිරීම් සිදුකිරීම මේ වනවිටත් ආරම්භ කර තිබෙන බවද ඔහු පැවැසුවේය.

පසුගියදා පැවැති ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයේ ගෝලීය සම්මේලනයේදී චිදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මෙම අදහස් පළ කළේය. 



අදහස් (0)

මෙරට සියලුම අංශවල ආයෝජනයට ශ්‍රී ලංකා ඩයස්පෝරාවට ආරාධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 508 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17120 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 687 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site