IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පෞද්ගලික අංශයේ ගෙවීමට ඇති මුළු ණය ට්‍රිලියන 8.5 ක්

  • පසුගිය වසරේ පළමු මාස 4 ට සාපේක්ෂව සියයට 15 ක් වර්ධනයක්
  • වාණිජ බලපත්‍රලාභී බැංකු පෞද්ගලික අංශයට ලබාදුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 8,501.6 ක්
  • පෞද්ගලික අංශයේ ණය ඉල්ලු‍ම පසුගිය මාර්තු මාසයේදී රුපියල් බිලියන 158 ක්

විමුක්ති එස්. රුද්‍රිගු
පසුගිය අප්‍රේල් මාසය අවසන් වනවිට පෞද්ගලික අංශය ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 8.5 හේ සීමාව පසුකළ අතර එය පසුගිය වසරේ පළමු මාස 4 ට සාපේක්ෂව සියයට 15 ක වර්ධනයක් බව මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාවල පෙන්වා දුන්නේය.
පසුගිය අප්‍රේල් මාසය අවසන් වනවිට මෙරට වාණිජ බලපත්‍රලාභී බැංකු පෞද්ගලික අංශයට ලබාදුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 8,501.6 ක් ලෙස සටහන් වූ අතර එය පසුගිය මාර්තු මාසයට සාපේක්ෂව රුපියල් බිලියන 87 ක ණය ප්‍රමාණයක වැඩිවීමක් විය. පසුගිය මාර්තු මාසය අවසන් වනවිට මෙරට වාණිජ බලපත්‍රලාභී බැංකු පෞද්ගලික අංශයට රුපියල් බිලියන 8,414.6 ක ණය මුදලක් ලබා දී තිබුණේය.
පෞද්ගලික අංශයේ ණය ඉල්ලු‍ම පසුගිය මාර්තු මාසයේදී රුපියල් බිලියන 158 ක් වූ අතර පසුගිය පෙබරවාරි මාසයේදී පෞද්ගලික අංශයේ ණය ඉල්ලු‍ම රුපියල් බිලියන 105 ක් විය.
මෙරට පෞද්ගලික අංශය ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණය පසුගිය ජනවාරි මාසයේදී සියයට 11.6 ක, පෙබරවාරි මාසයේදී සියයට 12.9 ක සහ මාර්තු මාසයේදී සියයට 13.8 ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කර ඇති බව මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දුන්නේය. පසුගිය වසරේ දෙසැම්බර් මාසය අවසන් වනවිට පෞද්ගලික අංශය ගෙවීමට තිබූ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 8,156 ක් ලෙස සටහන් වූ අතර එය 2023 වසරට සාපේක්ෂව සියයට 10.7 ක වෙනසක් පිළිබිඹු කිරීමක් විය.
පසුගිය දෙසැම්බර් මාසයේදී මෙරට පෞද්ගලික අංශයේ ණය ඉල්ලු‍ම රුපියල් බිලියන 193 ක් වූ අතර 2024 වසරේදී මාසයක් තුළ ලැබුණු ඉහළම ණය ඉල්ලු‍ම ද එය වූවේය. ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය මාසයේ ප්‍රකාශ කර සිටියේ මෙරට වාණිජ බැංකු පෞද්ගලික අංශයට ලබා දෙන ණය ප්‍රමාණය ඉහළ දමා ඇති බවත් ඉන් සියලු‍ ආර්ථික අංශ ප්‍රතිලාභ ලබන බවත්ය.
එසේම පසුගිය මැයි මාසයේදී මුදල් ප්‍රතිපත්තිය තවත් ලිහිල් කිරීමත් සමග මෙම වසර පුරාවටම මෙරට වාණිජ බලපත්‍රලාභී බැංකු පෞද්ගලික අංශයට ලබා දෙනු ලබන ණය අඛණ්ඩව පුළුල් වනු ඇතැයි අපේක්ෂා කරන බවද එහිදී මහ බැංකුව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය පසුගිය මැයි මාසයේ කළ මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය මගින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 25 කින් පහළ දැමුවේය.
එම අවස්ථාවේදී වත්මන් ගෝලීය අවිනිශ්චිතතා සහ අවධමන තත්වය මධ්‍යයේ මෙරට උද්ධමන ඉලක්කය වන සියයට 5 වෙත ළඟාවීමට මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීම උපකාරී වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ මතය වී ඇත. මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීම දේශීය ආර්ථිකයට ශ්‍රී ලංකා මහ බැංකුව සහාය ලබා දෙන බවට ලබාදුන් ඉඟියක් ද විය.


අඛණ්ඩව ගත් සාර්ථක මුදල් ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් බොහෝ වෙළෙඳපොළ පොලී අනුපාත පහළ මට්ටමක ස්ථාවරව පවත්වාගෙන යාමට හැකියාව ලැබී තිබෙන බව මහ බැංකුවේ මතය වී ඇත.
ආර්ථික අර්බුදයෙන් බැට කා තමන් මෙරට බැංකු පද්ධතියෙන් ලබාගෙන ගෙවීමට නොහැකි වූ ණය, ප්‍රතිව්‍යුහගත කර ගැනීම සඳහා පසුගිය මාර්තු 31 වැනිදාට පෙර බැංකු පද්ධතිය වෙත පැමිණි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට තවත් සහන ලබා දෙන ලෙස බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා දැනුම්දීමක් සිදු කර තිබිණි. ආර්ථික අර්බුදය හේතුවෙන් කඩා වැටුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත නගා සිටුවීමේ අරමුණින් මහ බැංකුව එලෙස උපදෙස් ලබා දුන්නේය.
එම සහන පසුගිය දෙසැම්බර් 19 වැනිදා නිකුත් කළ චක්‍රලේඛනයට අදාළව මෙම සහන ලබා දෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. ඒ අනුව ලබාදුන් සහන කාලයේදී සිය ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම සඳහා මෙරට බැංකු පද්ධතියට පැමිණි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලබා දෙන සහන අතරට පොලී කප්පාදු කිරීම් සහ අලු‍ත් ණය ලබාදීම් ද ඇතුළත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.



අදහස් (0)

පෞද්ගලික අංශයේ ගෙවීමට ඇති මුළු ණය ට්‍රිලියන 8.5 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site