• මහර ප්‍රදේශ කිහිපයකදීම
  • අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල දරුවන් සඳහා තෝරාගත් සුදුසුකම් සහිත පාඨමාලා වෙනුවෙන් රුපියල් 7,500ක මූල්‍ය දායකත්වයක්

ගම්පහ - තිලකරත්න දිසානායක සහ මහර - ගනිදු රෝචන සමරතුංග


වෘත්තීය පුහුණු අධිකාරිය මගින් ආරම්භ කර ඇති දොරින් දොරට (DOOR TO DOOR SKILL) ජාතික නිපුණතා සංවර්ධන වැඩසටහන, මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රදේශ කිහිපයකදී ඉකුත්දා ආරම්භ කෙරිණි.

මහර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රිනී හේමාලි වීරසේකර මහත්මියගේ සහ වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවති අතර වයස අවුරුදු 16 - 35 ත් අතර තරුණ තරුණියන්ගේ වෘත්තීය නිපුණතා සංවර්ධනය කරමින්, ඔවුන්ට දේශීය හා විදේශීය රැකියා වෙළෙඳපොළේ නව අවස්ථා උදාකර දීම අරමුණු කරගනිමින් මෙය සිදු කෙරිණි.

මෙම වැඩසටහනේ විශේෂත්වය වූයේ තරුණ තරුණියන් හමුවටම ගොස් ඔවුන්ගේ හැකියාව, කැමැත්ත සහ වෘත්තීය අවශ්‍යතා හඳුනාගෙන, සුදුසු වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා යොමු කිරීමය.

ඒ අනුව, රජයේ පිළිගත් වෘත්තීය පුහුණු ආයතන රැසක දායකත්වයෙන් NVQ (National Vocational Qualification) වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.

මෙම වැඩසටහන සමග සම්බන්ධ වන ප්‍රමුඛ රාජ්‍ය වෘත්තීය පුහුණු හා අධ්‍යාපන ආයතන අතර, VTA – වෘත්තීය පුහුණු අධිකාරිය, NAITA – ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය, DTET – තාක්ෂණික අධ්‍යාපන හා පුහුණු දෙපාර්තමේන්තුව, CGTTI – ලංකා ජර්මන් තාක්ෂණික අභ්‍යාස ආයතනය (German Tech), NYSC – ජාතික තරුණ සේවා සභාව, SLITHM – ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය, SLIATE – ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, UNIVOTEC / University Colleges – වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය හා විශ්වවිද්‍යාල විද්‍යාල, SLITA – ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලු‍ම් ආයතනය, අනෙකුත් පිළිගත් රජයේ වෘත්තීය අධ්‍යාපන ආයතන වන බව දැනුවත් කිරීමද මෙහිදී සිදු කරමින් ඒ හරහා තරුණ තරුණියන්ට තමන් කැමැති ක්ෂේත්‍රයක වෘත්තීය පුහුණුව ලබාගැනීමටත්, NVQ සුදුසුකම් සම්පූර්ණ කර රැකියා අවස්ථා වෙත යොමුවීමටත් මග විවර වන බව පෙන්වා දුන්හ.

විශේෂයෙන් අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල දරුවන් සඳහා තෝරාගත් සුදුසුකම් සහිත පාඨමාලා වෙනුවෙන් රුපියල් 7,500ක මූල්‍ය දායකත්වයක් ලබාදීමේ වැඩපිළිවෙළක්ද මෙයට ඇතුළත්ය.

මෙම වැඩසටහන සඳහා මහර ප්‍රාදේශීය ලේකම් ලලිත් බණ්ඩාර, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ (VTA) අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත වීරසිංහ යන මහත්වරු, මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරී සහ වෘත්තීය පුහුණු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් නිලධාරීන් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී සුනේත්‍රා මහත්මිය සහ ප්‍රදේශවාසී පිරිසක් සහභාගී වූහ.

තරුණ පරපුරේ හැකියාව නිපුණතා බවට පත්කර, රැකියාගත කරමින් අනාගතයට මග විවර කිරීම මෙහි අපේක්ෂාව වී ඇති අතර මේ සඳහා අයැදුම් කිරීමට කැමැති තරුණ තරුණියන්ට තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරීන් හෝ මානව සම්පත් සංවර්ධන නිලධාරීන් මෙන්ම ප්‍රජා ශක්ති ග්‍රාමීය කමිටු හරහා සම්බන්ධ විය හැකිව ඇති බව ප්‍රාදේශීය ලේකම් ලලිත් බණ්ඩාර මහතා සඳහන් කළේය.