ලංකාවේ තරුණ තරුණියන්ට තාක්ෂණික පුහුණුව, පිළිගත් වෘත්තීය සුදුසුකම් සහ ආධුනිකත්ව අවස්ථා ලබා දීම සඳහා සිංගර් ශ්‍රී ලංකා සමාගම සහ NAITA ආයතනය අවබෝධතා ගිවිසුමකට පසුගිය දා අත්සන් තබන ලදී.

මෙම හවුල්කාරීත්වය හරහා, සිංගර් සමාගමේ ව්‍යාපාරික දැනුම සහ NAITA ආයතනයේ පුහුණු කිරීමේ අංශය එක් කරමින්, අනාගතයට ගැලපෙන දක්ෂ සේවක පිරිසක් බිහි කිරීම අපේක්ෂා කෙරේ. මේ යටතේ සිංගර් සමාගමේ දැනට සේවය කරන තාක්ෂණික සේවකයන්ට ‘පූර්ව ඉගෙනුම් හඳුනාගැනීම’ (RPL) ක්‍රමය හරහා පිළිගත් වෘත්තීය සුදුසුකම් ලබා දෙන අතරම, තරුණ තරුණියන්ට කර්මාන්තශාලා හෝ ආයතන ඉලක්ක කරගත් ආධුනික පුහුණු අවස්ථා නිර්මාණය කිරීමට අපේක්ෂා කරයි. 

මෙම ගිවිසුම යටතේ, සිංගර් සමාගමේ තාක්ෂණික සේවකයන්ට RPL ක්‍රමය හරහා NVQ (ජාතික වෘත්තීය සුදුසුකම්) 3 හෝ 4 මට්ටමේ සුදුසුකමක් ලබා ගැනීමට අවස්ථාව සැලසේ. මෙමගින් දැනටමත් ක්ෂේත්‍රයේ අත්දැකීම් සහ තාක්ෂණික දක්ෂතා ඇති සේවකයන්ට, තම කුසලතා සඳහා නිල පිළිගැනීමක් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ. මේ සඳහා අවශ්‍ය තක්සේරු කිරීම් NAITA ආයතනය විසින් සිදු කරන අතර, එම සුදුසුකම් ලබා ගැනීමට අවශ්‍ය සියලු‍ පහසුකම් සිංගර් සමාගම විසින් සපයනු ලබයි. 

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින්, සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා මෙසේ ප්‍රකාශ කළේය. “අපේ සේවකයන්ගේ වෘත්තීය කුසලතා සංවර්ධනය කිරීම ව්‍යාපාරයේ ඉදිරි කාලීන සැලසුම් ශක්තිමත් කර ගැනීමේ වැදගත් අංගයක් ලෙස අප දකිනවා. NAITA සමග ඇති කරගත් මෙම හවුල්කාරීත්වය හරහා, අපගේ පළපුරුදු තාක්ෂණික සේවකයන්ට ඔවුන්ගේ කුසලතා සඳහා නිල පිළිගැනීමක් ලබා ගැනීමට අවස්ථාව සැලසෙන අතරම, තරුණ තරුණියන්ට රැකියා අවස්ථා සඳහා මාවතක් ද විවෘත වීම සතුටට කරුණක්.” 

මෙම සහයෝගීතාව පිළිබඳව අදහස් දක්වමින්, NAITA සභාපති එච්. අබ්දුල් සත්තර් මහතා මෙසේ ප්‍රකාශ කළේය. “සමාගම් ක්ෂේත්‍රයේ අවශ්‍යතාවලට ගැලපෙන කුසලතා සංවර්ධනය කිරීම සඳහා වෘත්තීය පුහුණු ආයතන සහ සමාගම් අතර ශක්තිමත් හවුල්කාරීත්වයක් තිබීම අත්‍යවශ්‍යයි. සිංගර් සමාගම සමග ඇති කරගත් මෙම හවුල්කාරීත්වයෙන්, විධිමත් වෘත්තීය අධ්‍යාපනය සහ ජාතික මට්ටමින් පිළිගත් සුදුසුකම් ප්‍රයෝගික වෘත්තීය අත්දැකීම් සමග ඒකාබද්ධ කිරීමට හැකිවනු ඇති බව අපට විශ්වාසයි.” 

මෙම හවුල්කාරීත්වය හරහා, සිංගර් සහ NAITA දෙපාර්ශ්වයට ව්‍යවසාය පදනම් කරගත් පුහුණු ක්‍රමය හරහා ආධුනිකයන් බඳවා ගැනීමට, පුහුණු කිරීමට සහ තක්සේරු කිරීමට ද අවස්ථාව ලැබේ. ආධුනිකයන්ට අවශ්‍ය සිද්ධාන්තමය දැනුම ලබාදීම සඳහා NAITA ආයතනය සහයෝගය ලබා දෙන අතර, සිංගර් සමාගම මගින් ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් ඔවුන්ට ලබා දීම සිදු කෙරේ. එමෙන්ම, සිංගර් කර්මාන්තශාලා තුළ ද තරුණ තරුණියන්ට පුහුණු හා රැකියා අවස්ථා ලබා ගැනීමට මෙයින් මග සැලසීම විශේෂත්වයකි. 

මෙම අවබෝධතා ගිවිසුම යටතේ මූලිකව හඳුනාගත් ක්ෂේත්‍ර වන්නේ විදුලි කාර්මික, විදුලි උපකරණ කාර්මික, ශීතකරණ සහ වායුසමීකරණ (AC) කාර්මික, ජංගම දුරකතන අලු‍ත්වැඩියා කරන්නන් සහ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ කාර්මිකයන් වේ. එසේම, අනාගත අවශ්‍යතා මත දෙපාර්ශ්වයේම එකඟතාවෙන් තවත් තාක්ෂණික ක්ෂේත්‍ර මීට එකතු කර ගැනීමට ද බලාපොරොත්තු වේ. 

මෙම හවුල්කාරීත්වය හරහා, තම සේවකයන්ගේ වෘත්තීය කුසලතා සංවර්ධනයට මෙන්ම නව තාක්ෂණික සේවා නිර්මාණය සඳහා සිංගර් සමාගම දක්වන උනන්දුව ද මනාව පෙන්නුම් කෙරේ. එමෙන්ම, ලංකාව තුළ දක්ෂ තාක්ෂණික වෘත්තිකයන් බිහි කිරීමේ ක්‍රියාවලියට සිංගර් සහ NAITA ආයතන එක්ව ලබා දෙන මෙම දායකත්වය අතිශය කාලීන වැදගත්කමකින් යුතු මැදිහත්වීමකි.