• අදාළ කොටස වසරේ මුල් අර්ධයේ සියයට 14ක්. දෙවැනි අර්ධයේදී එය සියයට 26ක්
  • සමීක්ෂණයට ආයතන 158ක් ඊට සහභාගී වෙලා
  • රාජ්‍ය මූල්‍ය හා රජයේ ණය ආශ්‍රිත අවදානම් ආර්ථිකයට බලපෑමක් කරනු ඇතැයි විශ්වාස කළ ප්‍රතිශතයද සියයට 15.4 සිට සියයට 12.3 දක්වා අඩු වෙලා

විමුක්ති එස් රුද්‍රිගු

මෙරට මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට බලපෑ හැකි ප්‍රමුඛතම අවදානමක් ලෙස ගෝලීය ආර්ථික අවදානම හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කළ මෙම වසරේ දෙවැනි අර්ධයේ මූල්‍ය පද්ධති අවදානම් පිළිබඳ සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත.

සමීක්ෂණයට අනුව මෙරට ආර්ථිකයට ඇති අවදානම් අතර ප්‍රමුඛතම අවදානම ගෝලීය ආර්ථික අවදානම බවට විශ්වාස කළ කොටස මෙම වසරේ මුල් අර්ධයේ සියයට 14ක් වූ අතර, දෙවැනි අර්ධයේදී එය සියයට 26ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එම වාර්තාව පෙන්වා දුන්නේය. ඒ අනුව එම කොටස ප්‍රතිශතාංක 12කින් වැඩි වී ඇත.

භූදේශපාලනික ආතති, වෙනත් රටවල සිදුවීම්වලින් මෙරටට ඇති විය හැකි බලපෑම් සහ ගෝලීය ආර්ථිකයේ ඉදිරි තත්වය පිළිබඳ අවිනිශ්චිතභාවය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූවන්ගේ සැලකිල්ල වැඩි වීම මෙම වෙනසට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව වාර්තාව සඳහන් කරයි.

මහ බැංකුව ජූලි 17 වැනිදා සිට අගෝස්තු 14 වැනිදා දක්වා මෙම සමීක්ෂණය සිදු කර ඇත. ආයතන 158ක් ඊට සහභාගී වී ඇති අතර, ප්‍රතිචාර දැක්වීමේ අනුපාතය සියයට සියයක් බවද වාර්තාවේ දැක්වේ.

බලපත්‍රලාභී බැංකු, මූල්‍ය සමාගම්, රක්ෂණ සමාගම්, ප්‍රාථමික අලෙවිකරුවන්, ඒකක භාර කළමනාකරණ සමාගම් සහ කොටස් තැරැව්කාර සමාගම් ඇතුළු ආයතනවල අවදානම් කළමනාකරණ නිලධාරීන් සමීක්ෂණයට ඇතුළත් කර තිබේ. ණය ශ්‍රේණිගත කිරීමේ සහ මූල්‍ය යටිතල පහසුකම් සපයන ආයතනද ඊට ඇතුළත්ය.

මේ අතර දේශීය සාමාන්‍ය ආර්ථික අවදානම් මෙරට ආර්ථිකයට බලපෑම් එල්ල කරනු ඇතැයි විශ්වාස කළ පිරිස මුල් අර්ධයේදී සියයට 17.6ක් වූ බවත් එය දෙවැනි අර්ධයේ සියයට 16.6 දක්වා පහළ ගොස් ඇති බවත් සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. රාජ්‍ය මූල්‍ය හා රජයේ ණය ආශ්‍රිත අවදානම් මෙරටට ආර්ථිකයට බලපෑමක් එල්ල කරනු ඇතැයි විශ්වාස කළ ප්‍රතිශතයද සියයට 15.4 සිට සියයට 12.3 දක්වා අඩු වී තිබේ.

ඉදිරි වසර තුළ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට විශාල අහිතකර බලපෑමක් ඇති කරන සිදුවීමක් හටගැනීමේ සම්භාවිතාව තරමක් ඉහළ ගොස් ඇතැයි ප්‍රතිචාර දැක්වූවන්ගේ තක්සේරුවලින් පෙනී යන බවද වාර්තාව සඳහන් කරයි. එම වෙනස දක්වා ඇත්තේ පෙර සමීක්ෂණයට සාපේක්ෂවය. කෙසේ වෙතත්, ඉදිරි වසර තුනක කාලසීමාව සලකා බැලීමේදී එවැනි සිදුවීමක් ඇති වීමේ සම්භාවිතාව පිළිබඳ ඔවුන්ගේ තක්සේරුව තරමක් පහත වැටී ඇත.

මූල්‍ය පද්ධතිය පිළිබඳ සමස්ත විශ්වාසය වසරක සහ වසර තුනක කාලසීමා දෙකේම ඉහළ ගොස් ඇති බවද සමීක්ෂණය පෙන්වා දෙයි. මූල්‍ය පද්ධතිය පිළිබඳ විශ්වාසය සහ ඊට බලපෑ හැකි අවදානම් සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ආයතනවල අදහස් නිරීක්ෂණය කිරීම සඳහා මහ බැංකුව මෙම සමීක්ෂණය වසරකට දෙවරක් සිදු කරයි. මෙරට ආර්ථිකයට ඇති ප්‍රධාන අවදානම් කාණ්ඩ හතක් යටතේ අනුකාණ්ඩ 46කින් සලකා බලා තිබේ.