IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කෘතීම බුද්ධියෙන් ලොව රැකියා හතරෙන් එකක් අවධානමේ - ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්තාවක් කියයි

  • ලොව පුරා රැකියා නියුක්තිකයන්ගෙන්  සියයට 25කගේ  රැකියා අවදානමක
  • කාන්තාවන් නියැලෙන  රැකියා අතරින් සියයට  9.6කට කෘත්‍රිම  බුද්ධියේ බලපෑම
  • පරිවර්තකයන්, ආර්ථික  විද්‍යාඥයන්, ග්‍රන්ථ  කතුවරුන්, මාධ්‍යවේදීන්  සැලකිය යුතු අවදානමක
  • පතල් කම්කරුවන්,  ගොවිපොළ  සේවකයන්ගේ  රැකියාවලට  කිසිදු බලපෑමක් නෑ
 
භානුක අමරසිංහ
ලොව පුරා රැකියා හතරක් අතරින් එකක් උත්පාදක කෘත්‍රිම බුද්ධිය (Generative AI) හේතුවෙන් අවදානමට ලක්ව තිබෙන බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය  (ILO) සහ පෝලන්තයේ ජාතික පර්‌යේෂණ ආයතනය (NASK) සිදු කළ අලු‍ත්ම අධ්‍යයනයක් මගින් පෙන්වා දෙයි.
මෙම අධ්‍යයනය මගින් නිකුත් කළ වාර්තාව Generative AI and Jobs : A Refined Global Index of Occupational Exposure ලෙසින් පසුගියදා එළිදැක්වුණි. මෙම වාර්තාව මගින් උත්පාදක කෘත්‍රිම බුද්ධිය ලෝකයේ රැකියා කෙසේ වෙනස් කරන්නේද යන්න පිළිබඳව වඩාත් විස්තරාත්මක ගෝලීය ඇස්තමේන්තුවක් ලබාදී තිබේ. 
මෙම වාර්තාවට අනුව ලොව පුරා රැකියා නියුක්තිකයන්ගෙන් සියයට 25කගේ පමණ රැකියා මෙම උත්පාදක කෘත්‍රිම බුද්ධිය වෙත නිරාවරණය වීමේ අවදානමක් පවතී. ඒ අතරින් වැඩිම ප්‍රතිශතය ඇත්තේ ඉහළ ආදායම් ලබන රටවලය. එය සියයට 34කි. අඩු ආදායම් ලබන රටවල මෙය සියයට 11කි. 
මේ අතරින් කාන්තාවන් නියැලෙන රැකියා සම්බන්ධයෙන් මෙම අවදානම කැපී පෙනෙන ලෙස ඉහළය. ඒ අනුව ඉහළ ආදායම් ලබන රටවල කාන්තාවන් නියැලෙන රැකියා අතරින් සියයට 9.6ක් අවදානමේ පවතින අතර, පිරිමින් නියැලෙන රැකියා සම්බන්ධයෙන් එය සියයට 3.6කි. 
මෙහිදී ලිපිකරු රැකියාවන් වැඩියෙන්ම උත්පාදක කෘත්‍රිම බුද්ධිය වෙත නිරාවරණය වූ රැකියා ලෙස හඳුනාගෙන තිබේ. කෙසේ වෙතත් මෙම තාක්ෂණයේ හැකියාව තවදුරටත් දියුණුවීම යනු මාධ්‍ය, මෘදුකාංග නිර්මාණය සහ මූල්‍ය හා සම්බන්ධ රැකියාද ඊට නිරාවරණයවීමේ අවස්ථාව ඉහළ යාමට හේතුවකි. 
මෙම වාර්තාවට අනුව වැඩිම අවදානමක් පවතින රැකියාව වන්නේ දත්ත ඇතුළත් කරන ලිපිකරුවන්ය. එසේම යතුරුලියන්නන්, සංඛ්‍යාලේඛන සකසන්නන්, මූල්‍ය සහ රක්ෂණ ලිපිකරුවන්, ගිණුම්කරණ සහ පොත් තැබීමේ ලිපිකරුවන්, සුරැකුම්පත් තැරැව්කරුවන්, මූල්‍ය විශ්ලේෂකයන් සහ වැටුප් ලේඛන ලිපිකරුවන්ගේ රැකියාද වැඩි අවදානමේ පසුවෙයි. 
පරිවර්තකයන්, ආර්ථික විද්‍යාඥයන්, බැංකු ලිපිකරුවන්, ග්‍රන්ථ කතුවරුන්, ලේකම්වරුන්, මාධ්‍යවේදීන්, වෙබ් තාක්ෂණවේදීන්, කාලගුණවිද්‍යාඥයන්, ප්‍රවාහන ලිපිකරුවන්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අලෙවි වෘත්තිකයන්, හෝටල් පිළිගැනීමේ නිලධාරීන් යනාදි රැකියා මෙම උත්පාදක කෘත්‍රිම බුද්ධිය වෙත සැලකිය යුතු නිරාවරණයක් සහිතය. 
පද්ධති විශ්ලේෂකයන්, දත්ත පද්ධති සහ ජාල වෘත්තිකයන්, සමුළු සහ අවස්ථා සැලසුම්කරුවන්, ජෛවවිද්‍යාඥයන්, ශාකවිද්‍යාඥයන්, සත්ත්ව විද්‍යාඥයන් සහ ඊට සම්බන්ධ වෘත්තිකයන්, පුහුණු සහ කාර්ය මණ්ඩල සංවර්ධන වෘත්තිකයන්, කාර්යාල සුපවයිසර්වරුන් යනාදි රැකියා මධ්‍යස්ථ නිරාවරණයක් සහිතය. 
අධ්‍යාපන ක්‍රමවේද විශේෂඥයන්, ඡායාරූපශිල්පීන්, භෞතිකවිද්‍යාඥයන් සහ ගගනගාමීන්, භාණ්ඩ ඩිලිවරිකරුවන්, කලාගාර සහ කෞතුකාගාර තාක්ෂණ වෘත්තිකයන්, මනු කියවන්නන්, සෞඛ්‍ය සහායකයන් සහ ටැක්සි රියදුරන් යන රැකියා උත්පාදක කෘත්‍රිම බුද්ධිය වෙත අඩු නිරාවරණයක් සහිතය. 
දුරකතන සන්නිවේදන තාක්ෂණවේදීන්, ප්‍රතිපත්ති පරිපාලන වෘත්තිකයන්, පෝෂණවේදීන්, රසායන විද්‍යාඥයන්, නීතීඥයන්, ඖෂධවේදී තාක්ෂණිකයන් සහ සහායකයන්, ආපනශාලා සේවකයන්, දේපළ වෙළෙඳාම් නියෝජිතයන්, ඩිලිවරි රියදුරන්, ට්‍රක් සහ ලොරි රියදුරන්, හෙද වෘත්කියන් යනාදිය අවම නිරාවරණයක් සහිත රැකියා වෙයි. 
රසායනික ඉංජිනේරු තාක්ෂණවේදීන්, යාන්ත්‍රික ඉංජිනේරුවන්, විනිසුරන්, විලාසිතා සහ අනෙකුත් නිරූපනශිල්පීන්, පොලිස් පරීක්ෂකවරුන් සහ රහස්පරීක්ෂකයන්, රෙදි සෝදන යන්ත්‍ර ක්‍රියාකරුවන්, ගුවන් ගමන් හසුරුවන්නන්, අපද්‍රව්‍ය එක්රැස් කරන්නන්, වාහන පිරිසුදු කරන්නන්, පතල් කම්කරුවන්, ගොවිපොළ සේවකයන්, මුළුතැන්ගෙය උදව්කරුවන්, හම් පදම්කරන යන්ත්‍ර ක්‍රියාකරුවන් යනාදිය මෙම උත්පාදක කෘත්‍රිම බුද්ධිය වෙත නිරාවරණය නොවූ රැකියා වෙයි. 
“මෙම දර්ශකය මගින් උත්පාදක කෘත්‍රිම බුද්ධියේ වැඩිම බලපෑමක් ඇති රැකියා මොනවාද කියන දේ හඳුනාගන්න උදව් කරනවා. ඒ නිසා රටවලට සිය සේවකයන් ආරක්ෂා කරගන්න හොඳින් සූදානම් වෙන්න පුළුවන්.“ යනුවෙන් මෙම වාර්තාවේ සම කර්තෘවරයකු පවසයි. 
“මේ කෘත්‍රිම බුද්ධි වර්ධනයේදී අපිව නැතිවෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ නිසා ලොව රටවල් සිදු කළ යුත්තේ මේ ඩිජිටල් අනාගතය වෙනුවෙන් ගැළපෙන ලෙස සිය ශ්‍රම වෙළෙඳ පොළ සූදානම් කිරීමයි.“ යනුවෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ජ්‍යෙෂ්ඨ ආර්ථිකවිද්‍යාඥයකු වැඩිදුරටත් පවසා සිටියි.



අදහස් (0)

කෘතීම බුද්ධියෙන් ලොව රැකියා හතරෙන් එකක් අවධානමේ - ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්තාවක් කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site