IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


කෝටි 35 ක් ගිලදැමූ පැරෑලිය ධීවර වරාය ව්‍යාපෘතිය

 අතහැර දැමූ ධීවර වරාය


  • ධීවර වරාය සඳහා මුල්ගල් තැබුණේ 2014 වසරේ සැප්තැම්බර් මස 30 වැනිදා

  • මුල්ගල් තබා දස වසරකුත් මාස කිහිපයක් ගතවී ඇතත් එය ධීවර වරායක් ලෙස නම් මේ වනවිටත් සෑදී නෑ

  • ඇත්තේ වැඩ නතර කර දැමූ පාලු ‍වී ගිය වැඩබිමක දර්ශනයක්

  • ධීවර වරාය හදන්න කියලා වරාය කාර්යාලයකුත් විවෘත කරලා

  • වරාය හදන්න කියලා වැලි ඉවත් කරලා හාරපු වළ දැන් මරු කටක් වෙලා

  • කළු ගල් කිරන්න ගෙනා රුපියල් ලක්ෂ ගණනක් වටිනා බිම් තරාදියත් දිරමින් යනවා


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


ධීවර වරාය ඉදිකිරීම සඳහා තැබූ මුල්ගල

මේ රට බංකොලොත් වීමට බලවත්ව බලපෑ හේතු රැසකි. මූල්‍ය විනය නැතිකම, දූෂණය, නාස්තිය, අල්ලස, කොමිස් ගැසීම, හොරකම සහ ගමට, රටට කිසිදු වැඩක් නැති අසාර්ථක ව්‍යාපෘති ඒ අතරින් කිහිපයකි. හොරකම, දූෂණය, නාස්තිය, කොමිස් ගැසීම, අල්ලස් ගැනීම වැනි අනීතික ක්‍රියාවලට අදාළ පුද්ගලයන් නීතිය හමුවට ගෙන ඒම මේ දිනවල සිදුවෙමින් පවතී. ඒ ගැන විවාදයක් නැත. එහෙත් රටට ගමට කිසිදු ප්‍රයෝජනයක් නැති අසාර්ථක ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් රටේ ධනය කෝටි, ප්‍රකෝටි ගණන් විනාශ කළවුන් ගැන නම් තාමත් හාවක්, හූවක් අසන්නට දකින්නට නම් නැත.

රටේ ආර්ථිකය නැති භංගස්ථාන කිරීමට උර දුන් අසාර්ථක ව්‍යාපෘති ගාලු‍ දිසාවේ ද හිඟ නොවේ. එවැනි ව්‍යාපෘති රැසක්ම ගාලු‍ දිසාවේ ඇත. ඒ අතරින් අසාර්ථකවූ පැරෑලිය ධීවර වරාය ව්‍යාපෘතිය පෙරමුණේය. මේ වරාය ව්‍යාපෘතිය අසාර්ථක ව්‍යාපෘතියක් ලෙස බලධාරීන්ට තේරුම් යන විටත් ඒ සඳහා රුපියල් කෝටි තිස්පහකට ආසන්න මුදලක් වැයකර තිබීමය. මෙවැනි අසාර්ථක ව්‍යාපෘති හඳුන්වා දෙමින් ජාතියේ මුදල් කාබාසිනියා කළ ඇත්තෝ කවරහුද? ඔවුන් වෙනුවෙන් ගත් ක්‍රියා මාර්ග මොනවාද?

මේ ධීවර වරාය සඳහා මුල්ගල් තැබුණේ 2014 වසරේ සැප්තැම්බර් මස 30 වැනිදාය. ඒ එවකට රජයේ ධීවර අමාත්‍යවරයාව සිටි දොස්තර රාජිත සේනාරත්න මහතා අතිනි. ඒ සඳහා රුපියල් ලක්ෂ ගණනක් වැය කරමින් උත්සවයක්ද පැවැත්වීය. එම උත්සවයෙන් අනතුරුව පැරෑලිය ධීවර වරාය සෑදීමට වැඩකටයුතු ආරම්භ කළේය. එසේ ආරම්භ කළ එම ධීවර වරාය දස වසරකුත් මාස කිහිපයක් ගතවී ඇතත් එය ධීවර වරායක් ලෙස නම් මේ වනවිටත් සෑදී නැත. දැන් නම් එහි වරායක් ඉදිකරන ඉගියක් ද නැත. ඇත්තේ වැඩ නතර කර දැමූ පාලු‍වී ගිය වැඩබිමක දර්ශනයකි.

රටේ මුදල් කෝටි ගණන් කාබාසිනියා කරමින් මේ වන විට වැඩ අතහැර දමා ඇති පැරෑලිය ධීවර වරායට අත්ව ඇති අවාසනාවන්ත ඉරණම පිළිබඳව කිහිපදෙනෙක්ම අදහස් දැක්වූහ. 

එම ධීවර වරාය පිහිටි කොට්ඨාසයේ පදිංචි රත්ගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී රුවන් ප්‍රීති කුමාර මෙසේ කීවේය.

පැරෑලිය ධීවර වරාය දැන්නම් සුදු අලියෙක් වෙලා. රුපියල් කෝටි ගණනක් ගිලපු සුදු අලියෙක්. මේ සුදු අලියට යට කළේ රජයේ මුදල්. පැරෑලියේ ධීවරයන්ට ධීවර වරායක් අවශ්‍යයි. පැරෑලියේ ධීවරයන්ට වරායක් නැති නිසා ඔවුන්ගේ ධීවර යාත්‍රා ගාල් කරන්න තැනක් නැති වෙලා. ඒ අය තමන්ගේ ධීවර යාත්‍රා ගාල් කරන්න වෙන වෙන ධීවර වරාය සොයාගෙන යන්න වෙලා තියෙනව. මේක ඒ අයට කරන ලොකු අසාධාරණයක් වගේම විශාල කරදරයක්. මේ අසාධාරණයට මේ කරදරයට පැරෑලියේ ධීවරයන්, ධීවර යාත්‍රා හිමියන් රැසක්ම භාජන වෙලා තියෙනව.

මේ කියන්නේ පැරෑලියට ධීවර වරායක් අවශ්‍ය නැහැයි කියන මතයේ ඉඳගෙන නෙමෙයි. එහෙත් කෝටි ගණනක් රජයේ මුදල් කාබාසිනියා කරලා අතරමග නතර කරලා දැමීම ජාතික අපරාධයක්. මේ වරාය හදන්න අරගෙන අවුරුදු දහයකට වැඩියි. වියදම් කරපු මුදල කෝටි ගණනක්. මේ වගේ සුදු අලින්ගෙන් තමයි අපේ රට බංකොලොත්වුණේ.

තිවංක ද සොයිසා: පැරෑලියේ ධීවර වරාය හදන්න තැබූ මුල්ගල දැන් මුල්ලක මුල් අදිනවා. එම මුල් ගලේ තියෙන අකුරුවත් දැන් පේන්නේ නැහැ. ඒ තරම්ම මුල්ගලට වයසයි. මේ ධීවර වරාය හදන්න කියලා වරාය කාර්යාලයකුත් විවෘත කළා. නිලධාරිනුත්, සේවකයනුත් යොමු කළා. 

කළු ගල් ගෙනාවා. වැලි ගොඩ දැම්මා. ඒ වැලි වික්කා. ගල් වැටි දැම්මා. ඒ වෙනුවෙන් රුපියල් කෝටි ගණනක් වැය කළා. දැන් මේ කිසිම දෙයක් වෙන්නේ නැහැ.

වරාය කාර්යාලයේ දැන් නිලධාරීනුත් නැහැ. කාර්යාලය නම් විනාශවෙවී යනවා. එම ගොඩනැගිල්ලේ වහලේ කොටස් බිමට කඩා වැටිලා. 

ධීවර වරාය සැදිල්ල කෙසේ වෙතත් වරාය හදන්න ගෙනා සම්පත් ටිකවත් බේර ගන්න කටයුතු කරන්න. නැත්නම් එතනත් රුපියල් කෝටී ගණනක සම්පත් විනාශවෙල යනවා. 

ඉසුරු ගමගේ මෙසේ කීවේය: මේ වරාය හදන්න කියලා ගෙනාවා ලොකු කලු‍ගල්. මේ කළු ගල් වරාය හැදීමට ගෙන ආ අවස්ථාවේදී ඒවා ගත්තේ කිරලා. ඒ සඳහා රුපියල් ලක්ෂ ගණනක් වටිනා බිම් තරාදියක් වරාය භූමියේ හයි කළා. දැන් එම් බිම් තරාදිය තිබූ තැනවත් සොයා ගන්න බැරි විදිහට කැලෑවට යට වෙලා. ඒ වගේම මුහුද ආසන්නයේ නිසා එම බිම් තරාදිය විශාල වශයෙන් දිර දිර යනවා. මේ වගේ සම්පත් රැසක්ම මේ වරාය භූමියේ විනාශ වෙවී යනවා.

වරාය හදන්න කියලා වැලි ඉවත් කරලා හාරපු වළ දැන් මරු කටක් වෙලා. වරායක් මෙතන හදන්න බැරිනම් අඩුම තරමින් කොල්ලන්ට බෝල ගහන්න පිට්ටනියක්වත් හදලා දෙන්න. අපි ඉල්ලන්නේ මෙතනට කඩිනම් අවධානයක් යොමු කරන්න කියලා.

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති දුලාජ් තරංග: දැන් අවුරුදු දහයකට වැඩි කාලයක් වෙනවා මේ වරාය හදන්න පටන් අරගෙන. ඒත් තවම වැඩ ඉවර කරලා නැහැ. මම හිතන හැටියට මේ වරායේ ඉදිකිරීම් අධික්ෂණයට එවකට සිටි රජයේ හැම ධීවර ඇමතිවරයෙක්ම පාහේ ආවා. එසේ පැමිණි හැම ධීවර ඇමතිවරයෙක්ම ජනතාවට පොරොන්දු වුණේ ධීවර වරාය හදලා දෙනවා කියලයි. ඒත් හැඳුණු වරායක් නම් නැහැ. එනිසා මේ ගැන හොඳට සොයා බලා අවශ්‍ය පියවර ගන්න කියලා රජයට යෝජනා කරන්න සූදානමෙනුයි ඉන්නේ. 

සභාව රැස්කරලා යෝජනාවක් සම්මත කරගෙන ඒ යෝජනාව අදාළ බලධාරීන්ට යැවීමට කටයුතු කරනවා. මෙවැනි ලොකු ව්‍යාපෘතියක් කරන්න අපේ සභාවට මුදල් නැහැ. වරායක් කියලා මහ වතුර වළක් විතරක් ඇති කරලා එයින් ප්‍රදේශයටම මැසි මදුරුවන් බෝකරන තැනක් නිර්මාණය කිරිම බලවත් වරදක්.

මේ සම්බන්ධයෙන් ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේගෙන් විමසූවිට මෙසේ කීවේය.

පැරෑලිය ධීවර වරාය ඉදිකරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අපි විශේෂ අධ්‍යයනයක් කළා. එහිදී මෙතන ධීවර වරායක් සෑදීමට සුදුසු ස්ථානයක් නොවන බවට හෙළිවුණා. මේ සඳහා වියදම් කළ මුදල් කන්දරාවම අපරාදේ. ප්‍රයෝජනයක් නැති දෙයකට රජයක් විදිහට ඉදිරියටත් මේ වෙනුවෙන් මුදල් වැය කරන්න දෙන්න බැහැ. මේ ස්ථානය රටේ සංවර්ධනයට වෙනත් දෙයක් සඳහා ප්‍රයෝජනයට ගැනීමේ හැකියාවක් තිබේද කියන කාරණය ගැන සොයා බලනවා. රජයේ මුදල් මෙසේ ඉවක් බවක් නැතිව විනාශ කිරිම මහා අපරාධයක්. ඒ නිසා ඒ සම්බන්ධයෙනුත් සොයා බලනව.

ධීවර වරාය ඉදිකිරීම සඳහා ස්ථාපිත කර තිබුණු කාර්යාලය


කාර්යාලයේ වහල විනාශවී යන අයුරු


 



අදහස් (0)

කෝටි 35 ක් ගිලදැමූ පැරෑලිය ධීවර වරාය ව්‍යාපෘතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 628 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17609 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site