භානුක අමරසිංහ
ඔක්තෝබර් මාසයේ පළමු දින 12ක කාලයේදී මෙරට වෙත විදෙස් සංචාරකයන් 62,741 දෙනකු පැමිණ තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ සටහන්ව තිබේ. ඒ අනුව මෙය පසුගිය වසරේ එම කාලසීමාවේදී පැමිණි සංචාරකයන් 51,160 හා සැසඳීමේදී සංචාරකයන් 11,581 ක ඉහළ යාමකි. 2023 වසරේදී එය 38,267ක් විය.
වාර්තාවට අනුව මේ වසරේ ඔක්තෝබර් 1 සිට 7 දක්වා සංචාරකයන් 38,475ක් ද, ඔක්තෝබර් 08 සිට 12 දක්වා සංචාරකයන් 24,266 ක් ලෙසද මෙරටට පැමිණ තිබේ. ඒ අනුව මෙම කාලසීමාව තුළ දෛනික සංචාරක පැමිණීම්හි සාමාන්‍ය 5,228 ක් ලෙස සටහන්ව තිබේ.
මෙලෙස පැමිණි සංචාරකයන්ගෙන් වැඩිම සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වන අතර, එය 18,299 කි. එසේම චීනයෙන් 5,417ක් පැමිණ තිබේ. මීට අමතරව එක්සත් රාජධානියෙන් 4,874 ක්ද, ජර්මනියෙන් 3,804 ක්ද පැමිණ තිබේ.
මේ අතර වසරේ ගත වූ කාලසීමාව තුළ පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,788,235ක් දක්වා ඉහළ නැග තිබෙන බවද එම වාර්තාව පවසයි. මේ අතරින් වැඩිම සංචාරක පැමිණීම් ප්‍රමාණය ලෙස ඉන්දියාවෙන් 393,591ක් පැමිණ තිබේ. එසේම එක්සත් රාජධානියෙන් 166,767ක් පැමිණ තිබේ. රුසියාවෙන් 125,035ක්, ජර්මනියෙන් 110,792ක් සහ චීනයෙන් 107,007ක සංචාරක පැමිණීමක් වාර්තා වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd