• මල් වාස්, මල් පෝච්චි, බිත්ති සැරසිලි, කසළ බඳුන්, අත් බෑග්, වතුර බෝතල් රුගෙන යන බෑග් ආදී ඉරට්ටෙන් නිර්මාණය කළ හැකි සියලු‍ දේම නිෂ්පාදනය කරලා
  • ඉරටු නිර්මාණ වැඩියෙන්ම මිලදී ගන්නේ විදේශිකයන්
  • මේ නිෂ්පාදන ඍ‌ජ‌ුවම විදෙස් වෙළෙඳපොළට යවන්න හැකිනම් අපේ රටට ඩොලර් ගන්න පුළුවන්

කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත

ඉවතලන දේ අමුද්‍රව්‍යයක් කරගෙන ජීවිතය සාර්ථක කරගත් අයද අප අතර නැත්තේ නොවේ. ඉවතලන ද්‍රව්‍ය අමුද්‍රව්‍යයක් කරගෙන රටට ඩොලර් සපයන අයද සිටිති. ඔවුන් ඉතා සීමිතය. මේ එවන් අයෙක් ගැන කතාවකි. ඇය කාන්තාවක් වීම මෙහි ඇති විශේෂත්වයයි.

ඇය හික්කඩුව ගෝනපිනුවල ශ්‍යාමා කාන්තිය. 2004 වසරේ සිය සැමියා මෙලොව හැර ගියෙන් ශ්‍යාමා කාන්තිලාට යන එන මං නැති විය. සිය සැමියා විශ්‍රාම වැටුපකට හෝ වෙන යම් දීමනාවකට හිමිකම් කියූ රැකියාවක් නොකර මියයාම ශ්‍යාමා කාන්තිලාගේ ආර්ථිකයට හෙනහුරා පාත්වීම හා සමානය. එහෙත් එයින් ඇය බිඳකුදු නොවැටුණාය. දිරියෙන් දිවිය ගොඩගන්නට පෙරටම ආවාය. ඒ වෙනුවෙන් ඇය නොකළ දෙයක් නැත්තා සේය. ඒ හැම දෙයක්ම කළේ තමාටත් තම දරු පැටියා කාටවත් බරක් නොවී අතනොපා ජීවත්වීමට අවැසි වටපිටාව සකසා ගැනීමටය.

ශ්‍යාමා කාන්ති නම් දිරිය කත ඒ සඳහා රැකියා රැසකම නිරත වූවාය. ඒ සියලු‍ම රැකියාවලින් තමන් අපේක්ෂා කරන ඉලක්කයට යොමු නොවූ තැන ඇයට අවශ්‍ය වූවේ තම දෙපයින්ම නැගී සිටීමටය. ඒ නිසාම රැකියාවක නිරත වන ගමන්ම ශ්‍යාමා කාන්ති ජාතික ශිල්ප සභාවේ ස්වයංරැකියා පාඨමාලාවක් හැදෑරීමට ඉල්ලු‍ම් කළාය. ඒ 2018 වසරේදීය. පාඨමාලාවට ඇයට ඉඩ ලැබෙනුයේ දෙවියන් දුන් තෑග්ගක් ලෙසය.

ස්වයංරැකියා පාඨමාලා රැසක්ම එම ආයතනයේ තිබුණත් ශ්‍යාමා කාන්තිගේ හිත යන්නේ එදිනෙදා අප වටපිටාවෙන් සොයා ගත හැකි අමුද්‍රව්‍යයක් යොදාගෙන කළ හැකි පාඨමාලාවක් වෙතය. නැතහොත් කිසිම වැඩකට නොගෙන ඉවතලන අමුද්‍රව්‍යයකින් කළ හැකි ස්වයංරැකියා පාඨමාලාවක් වෙතය. ඒ අනෙකක් නොව පොල් අත්තකින් කළ හැකි ස්වයංරැකියාවක් වෙතය. පොල් අත්ත කීවත් පොල් අත්තේ ඉරටුවලින් කරන ස්වයංරැකියාවක් වෙතය.

එහිදී ශ්‍යාමා කාන්තිට අපූරු ගුරුවරියක් හමුවන්නීය. ඒ අමිතා විතානගේ මහත්මියයි. අමිතා විතානගේ මහත්මිය ශ්‍යාමා කාන්තිට පොල් ඉරට්ටෙන් කළ හැකි සෑම අත්කමක්ම පුරුදු පුහුණු කළේ මවක් දරුවකුට ‘අ’ යන්න ‘ආ’ යන්න කියා දෙන ආකාරයටය. කිසිදු ගුරු මුෂ්ටියක් තබා නොගෙනමය. තමාගෙන් ඉරටුවලින් අත්කම් කිරීමට ශ්‍යාමා කාන්ති දක්වන උනන්දුව ගැන අමිතා විතානගේ මහත්මිය දැඩි පැහැදීමකින් සිටියාය. ඉරටුවලින් අත්කම් නිර්මාණ ඉගෙනගෙන එම පාඨමාලාව ඉතා සාර්ථකව නිමා කළ ශ්‍යාමා කාන්ති දැඩි අධිෂ්ඨානයකට පැමිණියාය. ඒ ජීවිතය යම් හෙයකින් ජය ගන්නවානම් ගන්නේ ඉරටු නිර්මාණවලින් බව සිහියේ තබාගෙනය.

“මම අමිතා විතානගේ මහත්මියගෙන් ඉතා ආශාවෙන් සහ උනන්දුවෙන් ඉරටුවලින් එදිනෙදා ජීවිතයට අවැසි දෑ නිෂ්පාදනය ඉගෙන ගත්තා. මට තිබුණු ලොකුම අභියෝගය තමයි මේ ස්වයංරැකියාව ජනගත කරන්නේ කොහොමද කියලා. ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගන්නේ කොහොමද කියලා. මොකද ස්වයංරැකියාව කරපු ගමන්ම ආදායම් ලැබෙන්නේ නැහැනේ. ඒ වගේම මාත් එක්ක ඉන්න මගේ මවුපියන් සහ පුතාගේ බඩකට පුරවන්නත් ඕනැනේ. මේ ප්‍රශ්න හමුවේ මම ලොකු පීඩනයකට යොමු වුණා. ගඟකට පැන්නානම් පිහිනලාම ඕනැනේ ජීවිතය බේරාගන්න කියලා හිතාගෙන මම වැඩේ පටන් ගත්තා.

මම අමිතා විතානගේ මිස් කියලා දුන්න විදිහටම ඉරටුවලින් එක එක දෑ එක එක මෝස්තරයට නිර්මාණය කළා. මල් වාස්, මල් පෝච්චි, බිත්ති සැරසිලි, කසළ බඳුන්, අත් බෑග්, වතුර බෝතල් රැගෙන යන බෑග් මෙකී නොකී ඉරට්ටෙන් නිර්මාණය කළ හැකි සියලු‍ දේම නිෂ්පාදනය කළා. ඒ වෙනුවෙන් කාලය ගත කළා. කියන්න සතුටුයි මගේ වෑයම සාර්ථක වුණා. මගේ ඉරටු නිර්මාණවලට වැඩියෙන්ම අවධානය යොමුවුණේ විදෙස් ජාතිකයන් ගෙනුයි. ඔවුන් ඒවා මිලදී ගත්තා. මම මුලදී මුලදී හික්කඩුව වෙරළ තීරයට ගෙන ගොස් මගේ ඉරටු නිර්මාණ අලෙවි කළා. දැන් වෙළෙඳසල් කිහිපයකටම මගේ නිෂ්පාදන දානවා. ඒවායෙන් වැඩියෙන්ම මගේ ඉරටු නිර්මාණ මිලදී ගන්නේ විදේශිකයන්. ඒ ගැන මට හරිම ආඩම්බරයක් තියෙන්නේ.

මේ ඉරටු නිෂ්පාදනවලට විදේශිකයන් ලොකු කැමැත්තක් හා ආශාවක් දක්වනවා. මේ නිෂ්පාදන ඍජුවම විදෙස් වෙළෙඳපොළට යවන්න හැකිනම් අපේ රටට ඩොලර් මවන්න පුළුවන්. ඒ වගේම අපේ රටේ රැකියා වියුක්තියත් නැති කරගන්න පුළුවන්. අදාළ බලධාරීන් මේ ගැන අවධානය යොමු කරනවනම් මේක සාර්ථක ස්වයංරැකියාවක්.
 මුලදි මුලදී මම මේ ස්වයංරැකියාව සඳහා ඉරටු ලබාගත්තේ අහල පහළින්. දැන් ඒක කරන්න අමාරු නිසා සල්ලි දීලා ඉරටු ලබා ගන්නවා. ඉරටු කිලෝ එකකට රුපියල් එකසිය විස්සක් දෙනවා. අහල පහළ කිහිප දෙනෙක්ම මට ඉරටු දීලා සල්ලි ගන්නවා. මගේ මේ කර්මාන්තය රටේම ව්‍යාප්ත කරනවානම් තවත් අතුරු රැකියා තියෙනවා.

මම ඉරට්ටෙන් පටන්ගත්ත ජීවිතය නිසාම අද මම රට වටාම යනවා ඉරටුවලින් භාණ්ඩ නිෂ්පාදනය පිළිබඳ උපදේශිකාවක් හැටියට. පරිවාස හා ළමාරක්ෂක ආයතනවල ළමයින්ටත් මම මේ අත්කමේ උපදේශිකාවක් හැටියටත් කටයුතු කරනවා. ඒ වගේම තවත් ආයතන කිහිපයකම උපදේශිකාවක් හැටියට කටයුතු කරනවා. ඒ නිසාම අද මම කාර්යබහුලයි.

මගේ ඉරටු නිර්මාණ අවස්ථා කිහිපයකදීම ඇගයීමට ලක්වෙලා සම්මාන සහතික ලැබිලා තියෙනවා. මගේ ඉරටු නිර්මාණවලට ලැබෙන ජනතා සම්මාන නම් දිනෙන් දිනම ඉහළ යමින් තියෙනවා.

මම ඉරටුවලින් කරන සමහර නිර්මාණ ඒවා ඉරටුවලින් කරපුවාද නැද්ද කෙනකුට කියන්න බැරි විදිහට නිර්මාණය කරලා තියෙනවා. නොතෙමී තියාගන්නවනම් මේ ඉරටු නිර්මාණ කාලයක්ම තියාගන්න පුළුවන්. 

ඉරට්ටක් තරම් හීනියට පටන්ගත් මගේ මේ ඉරටු නිර්මාණ පිළිබඳව මම ඉතාම තෘප්තිමත්. දැන් සියලු‍ දේම කරගන්නේ මේ ස්වයංරැකියාවෙන්. මගේ පුතා වන නදුන් තරංගට මම ඉගැන්නුවා. ඔහු උස් මහත් කළා. දැන් මගේ පුතා ගාල්ල ප්‍රධාන ලේකම් කාර්යාලයේ සේවය කරනවා. ඒ විතරක්ම නෙමෙයි. පුතත් මගේ මේ කර්මාන්තයට ඉතා ලොකු සහයෝගයක් දෙනවා. ඒක මට ලොකු හයියක්.” අහක දාන ඉරට්ටෙන් ජීවිතය ජයගත් ශ්‍යාමා කාන්ති සිය ඉරටු ස්වයංරැකියාව පිළිබඳව අදහස් දක්වමින් එසේ කීවාය.