• මුල් මාස නවයේ පොල් නිෂ්පාදන අපනයනයෙන් ඩො.මි. 943ක ආදායමක් 
  • ආදායම ඉහළ යාමට අගය එකතු කළ නිෂ්පාදන හේතු වෙලා 

මෙරට පොල් අපනයන ආදායම පිට පිට දෙවැනි වසරටත් එක්සත් ජනපද ඩොලර් බිලියනය සීමාවට ළඟා වෙමින් තිබෙන බව වාර්තා වෙයි. 

අපනයන සංවර්ධන මණ්ඩලය පසුගියදා නිකුත් කළ 2026 වසරේ මුල් මාස නවයේ අපනයන කාර්යසාධන දත්ත අනුව මේ දක්වා පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 942.5ක් ලෙස සටහන්ව ඇත.

2025 වසරේදී මෙරට පොල් ආශ්‍රිත අපනයන ආදායම ප්‍රථම වතාවට එක්සත් ජනපද ඩොලර් බිලියනයක සීමාව ඉක්මවීමට සමත් වූ අතර, වසර අවසානයේදී එය ඩොලර් මිලියන 1,233 ක් විය.

එසේම මෙය 2024 වසරේ සමස්ත පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම වූ ඩොලර් මිලියන 864.3ට සාපේක්ෂව සියයට 42 ක වර්ධනයක් විය. 

මෙලෙස ආසන්න කාලසීමාවේදී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායමේ කැපී පෙනෙන වර්ධනය සඳහා මූලිකවම ඒ හා සම්බන්ධ අගය එකතු කළ නිෂ්පාදන හේතු වී තිබෙන බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි. 

එහිදී 2026 වසරට සාපේක්ෂව 2026 මුල් මාස නවය තුළ කොහුබත් කැබලි අපනයනය සියයට 334 කින්ද, පොල්කටු ආශ්‍රිත නිෂ්පාදන සියයට 46කින්ද, සක්‍රිය කළ අඟු‍රු නිෂ්පාදන සියයට 38 කින්ද, පොල් කෙඳි පාදක නිෂ්පාදන සියයට 7කින්ද ඉහළ ගොස් තිබේ. 

“මෙම නිෂ්පාදන සඳහා වන විදෙස් ඉල්ලු‍ම ද වර්ධනය වී තිබේ. චීනය වෙත සිදු කළ සක්‍රිය කළ අඟු‍රු අපනයනය වසරේ මුල් මාස නවයේදී සියයට 78.33 කින්ද, සැප්තැම්බරයේදී සියයට 55.56 කින්ද ඉහළ ගොස් ඇත. ඉන්දියාව සහ පාකිස්ථානය වෙත සිදු වූ සියයට 12.3 ක සහ සියයට 33.59ක අපනයන වර්ධනය පිටුපස පොල්කටු අඟු‍රු (Coconut shell charcoal) සහ වියළි පොල් (Desiccated coconut) නිෂ්පාදන ප්‍රධාන විය.” එම මණ්ඩලය පවසයි.

කෙසේ වෙතත් සැප්තැම්බර් මාසයේදී මෙරට පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 111.60 ක් ලෙස සටහන් වන අතර, එය 2025 වසරේ සැප්තැම්බර් වාර්තා වූ ඩොලර් මිලියන 122.47 ට සාපේක්ෂව සියයට 8.88 ක පහළ වැටීමකි.