
- වත්කම් වටිනාකම ඩො.බි. 6.5යි, වගකීම් වටිනාකම ඩො.බි. 5 යි
මෙම වසරේ අගෝස්තු මාසය අවසන් වන විට මෙරට බැංකු අංශය සතුව ඇති විදෙස් වත්කම් ප්‍රමාණයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 6.5ක් ලෙස සටහන් වන බව මහ බැංකුව පවසයි.
ඒ අනුව මෙය 2025 වසර අවසානයේදී පැවැති ඩොලර් බිලියන 5.5 ක වත්කම් හා සැසඳීමේදී ඩොලර් බිලියන 1ක ඉහළ යෑමකි.
එසේම අගෝස්තු මාසය අවසන් වන විට බැංකු සතු විදෙස් වගකීම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 5.0 ක් ලෙස සටහන්ව ඇත. මෙය 2025 වසරේ පැවැති ඩොලර් බිලියන 5.5 ක අගය හා සැසඳීමේදී ඩොලර් මිලියන 500 ක අඩුවීමකි.
මහ බැංකුව පසුගිය සැප්තැම්බර් මාසය සඳහා නිකුත් කළ විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සටහනේ මේ බව සඳහන්ව තිබේ.
බැංකු අංශය සතු විදෙස් වත්කම් සහ වගකීම් යනු යම් රටක බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මහ බැංකු විසින් වෙනත් විදෙස් රටවල, විදෙස් බැංකු හෝ අනේවාසික පුද්ගලයන් හා ආයතන සමග පවත්වාගෙන යන මුදල් හා මූල්‍යමය ගනුදෙනු යනාදියයි.
එහිදී විදෙස් මුදල් ආයෝජන, ඉතුරුම් යනාදිය වත්කම් ලෙස සැලකෙන අතර, ලබාගෙන ඇති විදෙස් මුදල් ණය වගකීම් ලෙස සැලකෙයි.
මෙම වත්කම්වලින් වගකීම් අඩු කළ විට ලැබෙන ශුද්ධ අගය ධන අගයක් නම් එය රටක විදේශීය මූල්‍ය ස්ථාවරත්වයක් සහ බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවක් පවතින බව හැඟවෙයි.
මහ බැංකු දත්ත අනුව 2015 වසරේදී මෙරට බැංකු සතු විදෙස් වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 2ක් වූ අතර, වගකීම් ඩොලර් බිලියන 9.1 ක් විය. 2020 දී එම වත්කම් ඩොලර් බිලියන 3ක් වූ අතර, වගකීම් ඩොලර් බිලියන 6.8 ක් විය. 2021 වසරේ සිට මෙම වත්කම් සහ වගකීම් අතර පරතරය අඩු වෙමින් 2025 දී එම අගයන් ඩොලර් බිලියන 5.5ක සම අගයකට පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd