විජාතික තෙල් සමාගම් කිහිපයක් විසින් පවත්වා ගෙනගිය ඉන්ධන ආනයනය හා බෙදාහැරීමේ කාර්යය වර්ෂ 1962 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනතක් මගින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙත පවරා දෙන ලදී. එය එකල ලංකාව රටක් ලෙස ලැබූ විශාල ජයග්‍රහණයක් මෙන්ම දේශප්‍රේමය ඔද්දල් කළ ක්‍රියාවක් ලෙස යළි යළිත් පුනරුච්චාරණය කෙරිණ. මැදපෙරදිග තෙල් සම්පත විජාතික සමාගම්වලින් අත්පත් කරගෙන ජනසතු කරන ලද පළමු රට වන්නේ ඉරානයයි. ඒ 1951ක වසරේදීය. ඒ මගින් බ්‍රිතාන්‍ය සමාගම් සතු තෙල් ළිං, පිරිපහදු, වරාය දක්වා එළනු ලැබූ නළ පද්ධති ඇතුළු අනෙකුත් සියලු‍ යටිතල පහසුකම් ජනසතු කරන ලදී. එනමුත් අප රටේ තත්වය ඊට ඉදුරා වෙනස් වූ අතර ජනසතු කළ දේපළ අතර වූයේ වරායේ සිට ගබඩා අංගණ දක්වා එළන ලද නළ මාර්ග සහ ටැංකි අංගණ ආදිය පමණකි.  

ආපසු හැරී බලන්නකුට අපේ ජනසතු ක්‍රියාවලිය වූකලී ජනප්‍රිය රැල්ලට හසුව කරන ලද්දක් බව අවබෝධ වීමට අවකාශය ඇත.   තමන්ගේ දේපළවලට අදාළ වන්දි මුදල් ලබා ගැනීමෙන් අනතුරුව අප රටේ තිබූ තෙල් සමාගම් පෙරළා සිය රටවලට යාමට සූදානම් වූවද එවකට සිංගප්පූරුව දියුණු රටක් බවට පත් කිරීමට වෙහෙසෙමින් සිටි අගමැති ලීකුවාන් යුන්ගේ ආරාධනාවක් මත ඔවුන් තමන්ගේ ආයෝජන එම රටට ගෙන ගිය බව පැවසේ. වර්තමාන සිංගප්පූරුව කලාපයේ ප්‍රධාන පෙළේ තෙල් අලෙවිකරන්නෙක් වන අතර අප රටද එයින් තෙල් මිලට ගනී. මෙලෙස තෙල් අලෙවිය ජනසතු කර පිහිටවූ ලංකා ඛනිජ තෙල් සංස්ථාව මුල් දශක දෙක තුළ එතරම් දේශපාලන ඇඟිලිගැසීම්වලින් තොරව  පාලනය වූවද හැත්තෑව දශකයේ අගභාගයේදී රැකියා ලබාදීමේ යන්ත්‍රණයක් බවට පත්විය. 

විශේෂයෙන් සංස්ථාව භාර අමාත්‍යවරුන්ගේ බල ප්‍රදේශවලින් මෙකී සේවකයන් වැඩි පිරිසක් බඳවා ගැනිණ. එවැනි අනුවණ හා පටු ක්‍රියා නිසා අදවන විට සංස්ථාවට අයත් ආයතන ද්විත්වය වන සිපෙට්කෝ සහ CPSTL යන ආයතන දෙකේ සේවකයන් 3000ක ආසන්න අතිරික්තයක් සිටින බව වත්මන් සභාපතිවරයා ටික කලකට පෙර ජනමාධ්‍යට ප්‍රකාශ කළේය.

අනෙකුත් රාජ්‍ය ආයතනවලට සාපේක්ෂව ඉහළ වැටුප් ගෙවන ආයතනයක් වන තෙල් සංස්ථාව මෙම අතිරික්ත සේවකයන් සඳහා කොතරම් මුදලක් වැය කරන්නේ දැයි දැනගැනීම සඳහා යමෙකුට අංක ගණිතයේ කෙළ පැමිණීමට අවශ්‍ය නැත. එසේ වූවද මෙම ආයතන දෙක තම සීමාවන් තුළ සිටිමින් බෙදුම්කරුවන්ගේ (Dealers) අවශ්‍යතා හැකිතරමක් සපුරා දෙමින් සිටින බව කිව යුතුය. විශේෂයෙන්ම ඉන්ධන බෙදාහැරීම භාර CPSTL ආයතනය දිවයින පුරා පිහිටි ඉන්ධන හල් දෛනිකව ඇණවුම් කරන තෙල් තොග නියමිත දින තුළ  කාර්යක්ෂම ලෙස ප්‍රවාහනය කර භාරදෙනු  ලබයි.  පසුගිය අවුරුදු ගණනාවක් තුළ පාඩු පිට පාඩු ලබමින් සිටි තෙල් සංස්ථාවේ සමස්ත ඉදිරියට ගෙන ආ පාඩුව (Carried forward loss) වත්මන්  රජය විසින් භාණ්ඩාගාරය වෙත පවරාගෙන එය ලාබදායී ලෙස පවත්වාගෙන යන ලෙස සංස්ථාවේ ඉහළ කළමණාකාරීත්වයට උපදෙස් දී ඇති බව පැවසේ. එහි ප්‍රතිඵලයක් ලෙස සංස්ථාව බිලියන 27 ක ලාබයක් ලබා ඇතැයි පසුගිය දිනක ප්‍රචාරය කෙරිණ. එය යහපත් ප්‍රවණතාවකි. එසේම සංස්ථාව තම ටැංකිවල ධාරිතාව වැඩිකර ගැනීම සඳහා නව ටැංකි ප්‍රමාණයක් ඉදිකරන බවත්, වරායේ සිට කොළොන්නාව සහ සපුගස්කන්ද පිරිපහදුව කරා දිවෙන දිරාගිය තෙල් කාන්දුවන නළ වෙනුවට නව නළ පෙළක් එළන බවත්, තෙල් පිරිපහදුවේ ධාරිතාව ඉහළ නංවන බවත් ප්‍රකාශ කළේය. 

මේ සියලු‍ ධනාත්මක පියවර ගන්නා අතර සංස්ථාව හිතාමතාම හෝ අතපසුවීමකින් හෝ අමතක කර ඇති වැදගත් අංශයක් වේ. ඒ සංස්ථාවේ නිෂ්පාදන බෙදාහැරීම් ජාලයේ කෙළවරම සිටින සිය බෙදුම්කරුවන්ය.   වෙනත් අයුරකින් පැවසුවහොත් සංස්ථාව තොග වෙළෙන්දාගේ භූමිකාව කරන විට බෙදුම්කරුවෝ වඩාත් අසීරු සහ අවදානම් භූමිකාව වන සිල්ලර වෙළෙඳාමේ යෙදෙති. ඒ සඳහා බෙදුම්කරුවන්ට ප්‍රතිලාබ ලෙස වට්ටම් මුදලක් ගෙවනු ලැබේ. එය පාරිභෝගිකයාට  ඉන්ධන විකුණන මිලෙහිම අන්තර්ගතය. ඉන්ධන බෙදුම්කරුවන්ට සංස්ථාව විසින් පසුගිය අවුරුදු ගණනාවක් තුළ ප්‍රතිශතයක් ලෙස විකුණන මිලෙන් සියයට 3ක වට්ටමක් ගෙවනුලැබුවද, 2025 වසරේ මාර්තු මස පළවැනිදා සිට එම ක්‍රමය වෙනස්කර බෙදුම්කරුවන්ගේ වට්ටම් මුදල් කප්පාදු කර තිබේ. එතෙක් කළ විකුණන මිල පාදක කරගෙන ප්‍රතිශකයක් ලෙස වට්ටම් ගෙවීම නවතාදමා ඒ වෙනුවට එදින සිට අලෙවි කරන ඉන්ධන ප්‍රමාණය පාදක කරගෙන වට්ටම් ගෙවනු ලබයි. ඒ මගින් බෙදුම්කරුට ලැබෙන්නේ අලෙවි කරන ලීටරයක් සඳහා ආසන්න වශයෙන් රු.8ක් පමණකි. අද පෙට්‍රල් ලීටරයක මිල රු 414කි. 

පෙර ගෙවනු ලැබූ සියයට 3ක වට්ටම අද ගෙවනු ලැබුවහොත් බෙදුම්කරුවකුට ඉන්ධන ලීටරයක් සදහා රුපියල් 12කට වැඩි මුදලක් ලැබෙනු ඇත. එහෙත් දැන් ලැබෙන්නේ රුපියල් 8 ක් නොහොත් ප්‍රතිශතයක් වශයෙන් ගත් කල සියයට 2ක් පමණි. එසේ ලැබෙන වට්ටම් මුදලිනුත් සියයට 18ක වැට් බද්දක් සෑම මසකම ගෙවිය යුතුය. එවිට ප්‍රතිශතයක් ලෙස බෙදුම්කරුට ලැබෙන්නේ සියයට 1.68 ක් පමණ වන සුළු මුදලකි. 

ඒ මුදලින් බෙදුම්කරුවන් සේවක වැටුප්, අර්ථසාධක, පාරිසරික, වෙළෙඳ සහ ගිනි ආරක්ෂිත බලපත්‍ර, රක්ෂණය, වරිපනම්, ජල/විදුලි/දුරකතන ගාස්තුද, ඊටත් අමතරව ඉන්ධන පොම්ප අලු‍ත්වැඩියාව සහ ගොඩනැගිලි නඩත්තු කිරීම ආදි එකී නොකී කාර්ය රාශියක් කරගැනීමට සිදුවේ. එහෙත් එම සියලු‍ වියදම් අද ගෙවන වට්ටම් මුදලින් කරගත නොහැකි තත්වයක් උදාවී ඇත. සංස්ථාව මෙම ක්‍රියාමාර්ගය ගත්තද තෙල් අලෙවියට මෑතකදී අවතීරණ වූ විදේශීය සමාගම් තවමත් පෙරමෙන් එකී සියයට 3ක වට්ටම සිය බෙදුම්කරුවන්ට අඛණ්ඩව ගෙවනු ලබයි. එමෙන්ම එම සමාගම් මගින් සපයා ඇති ඉන්ධන පොම්ප ආදිය එකී සමාගම් විසින්ම ඔවුන්ගේ මුදලින් නඩත්තු කරයි. සංස්ථාව විසින් බෙදුම්කරුගේ ඉල්ලීම මත යම් අලු‍ත්වැඩියාවක් කළහොත් ඒ සඳහා ගාස්තු අයකර ගනී. 

වර්තමානයේ ඉන්ධන පොම්ප අමතර කොටස්වල මිල ඉතා ඉහළය. උදාහරණයක් ලෙස පොම්පයක සිරස ලෙස ක්‍රියා කරන ඉලෙක්ට්‍රොනික මවු පුවරුවක් (Mother Board) මිලදී ගැනීමට වර්තමානයේ රු 200,000    (රුපියල් දෙලක්ෂයක්)  කට ආසන්න මුදලක් වැය කිරීමට සිදුව තිබේ. එකී මුදල මධ්‍යම ප්‍රමාණයේ අලෙවියක් ඇති (ටැංකි රථ 20-30 දක්වා) ඉන්ධන පිරවුම්හලක මාසික ශුද්ධ ලාබයෙන් අඩක් පමණ වේ. මේ නිසා නුදුරු අනාගතයේදීම සංස්ථා බෙදුම්කාර ජාලය බිඳවැටීමටද ඉඩ නැතුවා නොවේ. සංස්ථා බෙදුම්කාරීත්වය දරන ඉන්ධන පිරවුම්හල් බොහොමයක් වට්ටම් අඩු කිරීමෙන් පසු කාලීනව කරන තීන්ත ආලේපයවත් නොකර ඇති බව යමෙකුට නිරීක්ෂණය කළ හැක. එමෙන්ම බොහෝ පිරවුම්හල්වල සේවක සංඛ්‍යාව අඩු කර ඇති අතර සමහරක් සිය රාත්‍රී වැඩ මුරය කෙටි කර හෝ නවතා දමා ඇත.   

කෙසේ වෙතත් මෙම  වට්ටම් මුදලින් ඉන්ධන පිරවුම්හලක් ලාබදායිකව පවත්වාගෙන යාමට හැකිද නොහැකිද යන්න දැන ගැනීමට සංස්ථාවේ ඉහළ කළමනාකාරීත්වයට ප්‍රායෝගික ක්‍රියාමගක් අනුගමනය කළහැක. ඒ නියමු ව්‍යපෘතියක් ලෙස සංස්ථාවට අයත් 200කට අධික ඉන්ධන පිරවුම්හල්වලින් එක බැගින් හෝ දිස්ත්‍රික් මට්ටමෙන් ටික කලකට පවරාගෙන ඒවාට සිය අතිරික්ත සේවකයන් යොදවා වසරක් හෝ ඊට ආසන්න කාලයක් එකී රු. 8ක වට්ටම් මුදලින් පමණක් ඒවා ලාබදායීව පවත්වාගෙන යා හැකිදැයි සොයා බැලීමෙන්ය. එසේ කළ හැකිවූවොත්  අන් අයටද එය ප්‍රතික්ෂේප කිරීමට නොහැකිවනු ඇත. 

මේ මොහොත වන විට සමාගම් සතු 500කට ආසන්න ඉන්ධන පිරවුම්හල්ද මුහුණපා සිටින්නේ අර්බුදකාරී තත්වයකටය. ඊට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් දක්වන්නේ මැදපෙරදිග යුදමය තත්වයවේ. එහි සෘජු ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන මෙරටට ගෙන්වීමේදී ඉහළ පිරිවැයක් දැරීමට සිදුව ඇති නිසා තමන්ට රජය නියමකර ඇති මිලට ඉන්ධන අලෙවි කළ නොහැකි බවය. එලෙස සැපයුම් කිරීමේදී සිදුවන පාඩුව යම්තාක් දුරකට හෝ අවම කර ගැනීමට ඔවුන් තම අලෙවිකරුවන් ඉල්ලා සිටින ඉන්ධන තොග සැපයුම් නොකර සීමිත ප්‍රමාණයක් පමණක්  ලබාදෙයි.

පසුගිය කාලවල ඉන්ධන පිරවුම්හල් ව්‍යාපාරය සඳහා පක්ෂ විපක්ෂ දේශපාලඥයන් බොහෝමයක් අවතීර්ණ වූ බව නොරහසකි. තවත් සමහරු විවිධ ජාවාරම්වලින් උපයාගත් කළු සල්ලි සුදු කර ගැනීමට ඉන්ධන පිරවුම් හල් ක්ෂේත්‍රයේ ආයෝජනය කළහ. එවැනි කණ්ඩායම්වලට වට්ටම් මුදල් අඩු කිරීම ආදිය දැඩි ලෙස බලනොපානු ඇත. ඒ කුමක් නිසාදැයි පැවසීම ඇවැසි නොවේ. කෙසේ වූවද ඉන්ධන බෙදුම්කරුවන් වශයෙන් සංස්ථාව සමග ඉතිරිවන අවසන් කණඩායමට මොවුන් පමණක් ඇතුලත් වනු නොඅනුමානය. එවිට එමගින් දැනට මෙම ක්ෂේත්‍රය උපයාගෙන ඇති යම් ගෞරවනීය තත්වයක් ඇතොත් එය ඉන් ගිලිහෙනු ඇත. එබැවින් මේ සියලු‍ කරුණු විමසා බලා ඉන්ධන සිල්ලර වෙළෙඳාම යහපත් තත්වයක පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සහ ප්‍රතිලාභ බෙදුම්කරුවන් වෙත ලබාදීම සංස්ථාවේ යුතුකම මෙන්ම වගකීමද වේ.