ඩුබායිහිදී පැවති IFN සම්මාන උළෙලේදී අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා, REDMoney  සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රකාශක ඇන්ඩෲ මෝගන් මහතා අතින් සම්මානය ලබාගත් අවස්ථාව 


 

පසුගියදා පැවැත්වුණු Islamic Finance News (IFN)  සම්මාන උළෙලේදී ප්‍රධාන පෙළේ සම්මාන 3 ක් දිනාගනිමින්, ශ්‍රී ලංකාවේ පොලී රහිත ඉස්ලාමීය බැංකුකරණ හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ සිය නායකත්වය තවදුරටත් තහවුරු කරගැනීමට අමානා බැංකුව සමත් විය. පසුගිය වසර 5 තුළ අඛණ්ඩව ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව වශයෙන් IFN සම්මාන හිමිකර ගැනීමට අමානා බැංකුවට හැකි වී තිබේ. 
මීට අමතරව, ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව සහ ශ්‍රී ලංකාවේ වඩාත්ම නවෝත්පාදනයට නැඹුරු බැංකුව(Most Innovative Bank in Sri Lanka)  යන සම්මානද අමානා බැංකුව වෙත හිමි විය. ඉස්ලාමීය බැංකුකරණ හා මූල්‍ය සේවා සපයන ආයතන 15 කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන අතර, මේ ආකාරයට තරගකාරීත්වය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින පසුබිමක් තුළ පවා අමානා බැංකුවට දිගින් දිගටම මෙබඳු ඇගයීම් හිමි වීම විශේෂත්වයකි.
මැලේසියාවේ REDMoney  සමූහය විසින් සංවිධානය කරනු ලබන IFN සම්මාන උළෙලට වසර 20 ක ඉතිහාසයක් ඇත. මෙම සම්මාන උළෙල මගින් ගෝලීය ඉස්ලාමීය මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතන සහ සුවිශේෂී ගනුදෙනු ඇගයීමට ලක්කරනු ලබයි. අමානා බැංකුව වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා ඩුබායිහිදී පැවති මෙම සම්මාන උළෙලට සහභාගී විය.
මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, කටාර්, කුවේට්, ඕමානය, ඊජිප්තුව, පාකිස්ථානය, බංග්ලාදේශය, තුර්කිය, එක්සත් රාජධානිය, ඉන්දුනීසියාව සහ දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් රැසක ක්‍රියාත්මක වන ඉස්ලාමීය ආයතන රාශියක් මෙම සම්මාන උළෙලට වාර්ෂිකව ඉදිරිපත් වේ. බැංකු සහ මූල්‍ය සේවා ආයතනවලට අමතරව සුකුක් (Sukuk)  මූල්‍ය උපකරණ, තිරසාරත්වය අරමුණු කරගත් මූල්‍යකරණය, ඒකාබද්ධ මූල්‍යකරණය, ජාත්‍යන්තර මූල්‍යකරණය සහ සමාජයේ යහපත අරමුණු කරගත් මූල්‍යකරණය වැනි ක්ෂේත්‍රවල විශිෂ්ට ඉස්ලාමීය මූල්‍ය ගනුදෙනුද IFN සම්මාන උළෙලේදී ඇගයීමට ලක්කරනු ලබයි.