- පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග
- පෞද්ගලික සමාගම්වලට පාඩු පියවාගැනීමට ලබාදෙන ක්‍රමවේදය කුමක්දැයි රජය මෙතෙක් පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කර නෑ
- පාඩු ලබන මිලකට ඉන්ධන අලෙවි කිරීමෙන් පසු නැවත ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය මුදල් සොයාගැනීම ගැටලුවක්
- පාඩු ලබන විටත් බලපත්‍ර ගාස්තුව ලෙස ලංකා අයි.ඕ.සී සමාගමෙන් රජයට වසරකට ඩොලර් මිලියන 2 ක්
- අඛණ්ඩව ඉන්ධන ආනයනයට, අලෙවි කළ හැකි ආර්ථික පරිසරයක් ඇතිකිරීම වැදගත්
- සිදුවන පාඩු තවත් මාස දෙකක් හෝ තුනක් හෝ නිශ්චිත කාලයක් දරාගන්නා ලෙස රජය ඉල්ලා සිටින්නේ නම්, ඊට සූදානම්
- මෙම වසරේ එක් කාර්තුවකදී පමණක් ලංකා අයි.ඕ.සී සමාගමට රුපියල් කෝටි 800කට ආසන්න පාඩුවක්
විමුක්ති එස් රුද්‍රිගු
මෙරට පෞපුද්ගලික ඉන්ධන සමාගම් සතුව මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති නමුත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බව ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ලංකාදීප එෆ්.ටී. කළ විමසීමකට පිළිතුරු දෙමින් පසුගියදා ප්‍රකාශ කළේය.
පෞද්ගලික ඉන්ධන සමාගම්වලට තවත් කොපමණ කාලයක් පාඩු දරාගෙන ඉන්ධන අලෙවි කිරීමට සිදුවන්නේද යන්න සහ එම පාඩු පියවාගැනීමට ලබාදෙන ක්‍රමවේදය කුමක්ද යන්න පිළිබඳව රජය මෙතෙක් පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කර නොමැති බවද එම ආරංචි මාර්ග පැවැසුවේය. පවතින ඉන්ධන තොග සියල්ල වෙළෙඳපොළට නිකුත් කිරීමෙන් තාවකාලිකව සැපයුම වැඩි කළ හැකි වුවද, පාඩු ලබන මිලකට එම ඉන්ධන අලෙවි කිරීමෙන් පසු නැවත ඉන්ධන ආනයනය කිරීම සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමේ ගැටලුවක් මතුවිය හැකි බවද ඔවුන් පෙන්වා දුන්නේය.
ඉන්ධන අලෙවියෙන් පාඩු ලබන විටත් බලපත්‍ර ගාස්තුව ලෙස ලංකා අයි.ඕ.සී සමාගම රජයට වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක් ගෙවන බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. එබැවින් ඉන්ධන තොග පවතින බව පමණක් සැලකිල්ලට ගෙන සැපයුම් සීමා කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික සමාගම්වලට චෝදනා කිරීම වෙනුවට, අඛණ්ඩව ඉන්ධන ආනයනය කිරීමට සහ අලෙවි කිරීමට හැකි ආර්ථික පරිසරයක් ඇතිකිරීම වැදගත් බව ආරංචි මාර්ග සඳහන් කළේය.
ඉන්ධන අලෙවියෙන් සිදුවන පාඩු තවත් මාස දෙකක් හෝ තුනක් හෝ නිශ්චිත කාලයක් දරාගන්නා ලෙස රජය ඉල්ලා සිටින්නේ නම්, තමන් ඊට සූදානම් බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. එහෙත් ඉන් අනතුරුව එලඹෙන මාස හත අටක කාලය තුළ එම පාඩු පියවාගැනීමට හැකිවන වැඩපිළිවෙළක් රජය ඉදිරිපත් කළ යුතු බවද ඔවුන් පැවැසුවේය.
එවැනි සැලැස්මක් ලැබුණහොත් ඉන්ධන සමාගම්වලට අනාගත ආනයන, මූල්‍ය අවශ්‍යතා සහ සැපයුම් කටයුතු සැලසුම් කිරීමට හැකිවන නමුත්, දැනට පවතින අවිනිශ්චිත තත්වය යටතේ එවැනි තීරණ ගැනීම අපහසු වී ඇති බව ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.
මැද පෙරදිග අර්බුදය හේතුවෙන් ගෝලීය ඉන්ධන වෙළෙඳපොළේ පවතින අස්ථාවර තත්වය තවත් මාස හයක් හෝ හතක් පැවැතිය හැකි බවට අපේක්ෂා කරන බැවින් රජය ඉදිරි කාලය සඳහා පැහැදිලි වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත්කිරීම අත්‍යවශ්‍ය බවද ඔවුන් ප්‍රකාශ කළේය.
ඇතැම් රටවල් මෙවැනි අවස්ථාවල පෞද්ගලික ඉන්ධන සමාගම් ලබන පාඩු යම්තාක් දුරට පියවීම සඳහා රජය බැඳුම්කර නිකුත් කළ අවස්ථාද තිබෙන බවද ආරංචි මාර්ග පැවැසුවේය. පසුගිය වසරේදී ලංකා අයි.ඕ.සී සමාගම රුපියල් කෝටි 1,100ක පමණ ලාබයක් ලබා තිබියදී මෙම වසරේ එක් කාර්තුවකදී පමණක් රුපියල් කෝටි 800කට ආසන්න පාඩුවක් සිදුවීමේ අවදානමක් මතුවීම සමාගමේ මූල්‍ය තත්වයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවද ආරංචි මාර්ග සඳහන් කළේය.
ලංකා අයි.ඕ.සී සමාගමේ කොටස්වලින් සියයට 26ක් පමණ ශ්‍රී ලාංකික ආයෝජකයන් සතුව පවතින බැවින් සමාගම ලබන පාඩු එම ආයෝජකයන්ටද බලපාන බව ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර ඉන්ධන අලෙවියෙන් සිදුවන පාඩු පියවාගැනීම සඳහා නෞකාවලට ඉන්ධන සැපයීම සහ ලිහිසි තෙල් අලෙවිය වැනි අනෙකුත් ව්‍යාපාරික කටයුතුවලින් උපයන ලාබය යොදාගැනීමට සිදුව ඇති බවද ඔවුන් ප්‍රකාශ කළේය.
සමාගමේ ව්‍යාපාරික කටයුතුවලින් සියයට 75ක් පමණ පෙට්‍රල් සහ ඩීසල් අලෙවියට සම්බන්ධ වන අතර ඉතිරි සියයට 25ක පමණ ව්‍යාපාරික කටයුතුවලින් උපයන ලාබයෙන් ප්‍රධාන ඉන්ධන අලෙවි අංශයේ පාඩු දිගින් දිගටම පියවාගැනීමට නොහැකි බවද ආරංචි මාර්ග පැවැසුවේය.
මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට පෞද්ගලික සමාගම්වලට අවසර තිබෙන බව රජය ප්‍රකාශ කළද, රජය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම අනුව ඉන්ධන මිල සූත්‍රය මත ගණනය කරන උපරිම අලෙවි මිල සෑම මාසයකම බලශක්ති අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කළ යුතු බව ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.
එම උපරිම මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට පෞද්ගලික සමාගම්වලට අවසර තිබුණද එම මිල ඉක්මවා ඉන්ධන අලෙවි කිරීමට ගිවිසුමෙන් අවසර නොමැති බවද ඔවුන් පැවැසුවේය.
එහෙත් සංශෝධිත උපරිම මිල රජය ප්‍රසිද්ධ නොකිරීම හේතුවෙන් පෞද්ගලික සමාගම්වලට තම පිරිවැය ආවරණය කරගැනීමට අවශ්‍ය පරිදි මිල සංශෝධනය කිරීමේ ගිවිසුම්ගත බාධාවක් මතුව ඇති බව ආරංචි මාර්ග චෝදනා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd