කාම්බෝජයේ චම්රොන් පොලිටෙක්නිකල් විශ්වවිද්‍යාලය (Chamroeun University of Poly-Technology – CUP) සිය ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ආසියා පැසිෆික් කලාපීය සහකාර අධ්‍යක්ෂ ධුරයට ශ්‍රී ලාංකික විද්වතෙකු සහ ව්‍යාපාර නායකයකු වන මහාචාර්ය ආචාර්ය ඇන්තනි ඩෙක්ස්ටර් ප්‍රනාන්දු මහතා පත් කර තිබේ. ආසියා පැසිෆික් කලාපය පුරා ජාත්‍යන්තර අධ්‍යාපන සහයෝගීතාව පුළුල් කිරීම සහ උසස් අධ්‍යාපන අවස්ථා වර්ධනය කිරීම සඳහා විශ්වවිද්‍යාලය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළෙහි වැදගත් පියවරක් ලෙස මෙම පත්වීම සැලකේ. 
ජාත්‍යන්තර වශයෙන් සිය ක්‍රියාකාරිත්වය පුළුල් කිරීම, උපායමාර්ගික අධ්‍යාපන හවුල්කාරිත්ව ගොඩ නැගීම සහ අධ්‍යාපනය, පර්යේෂණ හා වෘත්තීය සංවර්ධන ක්ෂේත්‍රවල කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම CUP විශ්වවිද්‍යාලයේ ප්‍රධාන අරමුණු අතර වේ. නව ධුරය යටතේ ජාත්‍යන්තර අධ්‍යාපන සබඳතා පුළුල් කිරීම, විදේශීය අධ්‍යාපන ආයතන සමග උපායමාර්ගික හවුල්කාරිත්ව ඇති කිරීම සහ ඒකාබද්ධ උපාධි පාඨමාලා සඳහා අවස්ථා සලසා දීමේ කටයුතු මෙහෙයවීම ප්‍රනාන්දු මහතා වෙත පැවරී ඇත. ව්‍යාපාර පරිපාලනය, කළමනාකරණය, අලෙවිකරණය, පරිගණක තාක්ෂණය, මුල් ළමාවිය අධ්‍යාපනය, රූපලාවණ්‍ය විද්‍යාව, ප්‍රමාණ සමීක්ෂණය, මැණික් විද්‍යාව සහ මනෝ විද්‍යාව ඇතුළු විෂය ක්ෂේත්‍ර රැසක් මෙම වැඩපිළිවෙළට ඇතුළත් වේ.


CUP විශ්වවිද්‍යාලය මෑතකදී ශ්‍රී ලංකාවේ Asia Institute of Advanced Studies (AIAS) ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹීම ජාත්‍යන්තර අධ්‍යාපන සබඳතා ශක්තිමත් කිරීමේ තවත් වැදගත් පියවරකි. එම ගිවිසුම මගින් ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර අධ්‍යාපන සහයෝගීතාව, ආයතනික සබඳතා සහ ඒකාබද්ධ අධ්‍යාපන වැඩසටහන් තව දුරටත් පුළුල් කිරීමට අවශ්‍ය පදනම සකසා තිබේ. මහාචාර්ය ආචාර්ය ඇන්තනි ඩෙක්ස්ටර් ප්‍රනාන්දු මහතා අධ්‍යාපන උපදේශනය, කළමනාකරණය, අලෙවිකරණය සහ වෘත්තීය සංවර්ධනය යන ක්ෂේත්‍රවල පුළුල් අත්දැකීම් සහිත විද්වතෙක්, ව්‍යවසායකයෙක් සහ ආයතනික නායකයෙක් වේ. කළමනාකරණය සහ අලෙවිකරණය සම්බන්ධ පශ්චාත් උපාධි හා ආචාර්ය උපාධි මට්ටමේ සුදුසුකම් රැසක් හිමි ඒ මහතා අධ්‍යාපන හා ව්‍යාපාර නායකත්ව ක්ෂේත්‍රවලට ක්‍රියාකාරී දායකත්වයක් දී ඇත. විශේෂයෙන් සිසුන්ට ජාත්‍යන්තර අධ්‍යාපන අවස්ථා උදා කර දීම, ඒකාබද්ධ පර්යේෂණ දිරි ගැන්වීම, සහයෝගී අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ උසස් අධ්‍යාපනය සඳහා ප්‍රවේශය පුළුල් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරේ.