• හේතුව වී ඇත්තේ ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් නිකුත් කරන ඩිජිටල් රියැදුරැ බලපත්‍ර මෙරට තාවකාලික රියැදුරැ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය මගින් මේ වනවිට නොපිළිගැනීමයි.

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී (BIA) තාවකාලික රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේදී ගැටලු‍ මතුව තිබේ.

BIA හි ආගමනික සංචාරකයන් සඳහා තාවකාලික රියැදුරු බලපත්‍ර නිකුත් කරන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කවුන්ටරයෙන් අදාළ රට විසින් නිකුත් කරන ලද භෞතික රියැදුරු බලපත්‍රයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ.

ප්‍රමුඛ පෙළේ ගමනාන්ත කළමනාකරණ සමාගමක නියෝජිතයකු පැවසුවේ, ශ්‍රී ලංකාවේ විශාලතම සංචාරක වෙළෙඳපොළ වන ඉන්දියාවෙන් පැමිණෙන සංචාරකයන් මෙම ගැටලු‍වට වැඩි වශයෙන් මුහුණ දෙන බවයි.

ඉන්දීය සංචාරකයන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා කුලී රථ ලබාගන්නා අතර, මෙරටට පැමිණීමෙන් පසු තාවකාලික රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමට කටයුතු කරති.

“ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා කුලී රථ සේවා භාවිත කරනවා. ඔවුන් පැමිණි පසු තාවකාලික බලපත්‍රය ලබා ගැනීමට කවුන්ටරයට ගියත්, ඔවුන්ගේ ඩිජිටල් රියැදුරු බලපත්‍රය ශ්‍රී ලංකාව නොපිළිගන්නා නිසා ආපසු හරවා යවනවා. මෙය රජයට ලැබිය හැකි ආදායම අහිමිවීමටත් හේතුවක්,” ඔහු පැවසීය.

BIA කවුන්ටරයෙන් වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයට යොමු කළ ඇතැම් සංචාරකයන්ටද තාවකාලික බලපත්‍රය ලබා ගැනීමට නොහැකි වී ඇති බව ඔහු සඳහන් කළේය.

“අද වනවිට ගුවන් තොටුපොළේදී අපි විශාල ගැටලු‍වකට මුහුණ දී සිටිනවා. භෞතික රියැදුරු බලපත්‍රයක් ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා ඉන්දීය ජාතිකයන්ට තාවකාලික රියැදුරු බලපත්‍ර නිකුත් කරන්නේ නැහැ. මේ නිසා ඉන්දීය සහ පාකිස්ථාන සංචාරකයන්ට විශාල අපහසුතාවක් ඇතිවෙනවා,” චෙන්නායි සිට නිරන්තරයෙන් කොළඹට පැමිණෙන සංචාරකයකු වන ජේ. ජයකුමාර් පැවසීය.

“අද බොහෝ ඉන්දීය සංචාරකයන් විශාල මුදල් ප්‍රමාණයක් රැගෙන එන්නේ නැහැ. ඇතැම් අවස්ථාවල ඔවුන් භෞතික ක්‍රෙඩිට් කාඩ්පත් පවා රැගෙන එන්නේ නැහැ. ඔවුන් තම මූල්‍ය ගනුදෙනු ජංගම දුරකතන හෝ ස්මාර්ට් ඔරලෝසු හරහා සිදු කරනවා,” කර්මාන්ත නියෝජිතයා පැවසීය.

මෝටර් රථ කුලියට ලබා දෙන සමාගම් නියෝජනය කරන මලිත් ජයසිංහ පැවසුවේ මෙම තත්වය මෝටර් රථ කුලියට දීමේ කර්මාන්තයටද බලපා ඇති බවයි.

ඉන්දියාව සහ පාකිස්ථානය යන රටවල් දෙකම ඩිජිටල් රියැදුරු බලපත්‍ර හඳුන්වා දී ඇති අතර, එම රටවල බොහෝ රියැදුරන් සාමාන්‍යයෙන් තම රියැදුරු බලපත්‍රයේ කඩදාසි හෝ ප්ලාස්ටික් පිටපත් රැගෙන යාම අවශ්‍ය නොවන තත්වයක් පවතී.

එහෙත් යුරෝපා රටවලින් සහ වෙනත් රටවල් කිහිපයකින් පැමිණෙන සංචාරකයන් භෞතික රියැදුරු බලපත්‍ර රැගෙන පැමිණෙන බැවින් ඔවුන්ට ශ්‍රී ලංකාවේදී තාවකාලික රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට හැකියාව තිබේ.

විදේශීය සංචාරකයන් සඳහා තාවකාලික රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මෑතකදී හඳුන්වා දී ඇති අතර, ඒ සඳහා රුපියල් 15,000කින් ආරම්භ වන ගාස්තු අය කෙරේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පැවසුවේ ඉන්දියාව, පාකිස්ථානය සහ තවත් රටවල් කිහිපයක ජාතිකයන්ට මේ වනවිට තාවකාලික රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමට නොහැකි වී ඇත්තේ එම රටවල ඩිජිටල් රියැදුරු බලපත්‍ර පද්ධති සමග සම්බන්ධ වීමට මෙරට පවතින පද්ධතිය තවමත් සූදානම් නොමැති වීම හේතුවෙන් බවයි.

“මෙම පද්ධති කිහිපයක් පිළිගෙන ඒවා සමග සම්බන්ධ වීමට අපේ පද්ධතිය තවමත් සූදානම් නැහැ. කෙසේ වෙතත්, එය නිවැරදි කිරීමේ කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතිනවා. ඒ සඳහා අපට නව උපකරණ කිහිපයක්ද අවශ්‍යයි,” එම නිලධාරියා පැවසීය.

“ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය ගැන කතා කරන අවස්ථාවක මෙය විශාල අඩුපාඩුවක්,” ICT ක්ෂේත්‍රයේ නියෝජිතයෙක් පැවසීය.

සංචාරකයන්ට සිදුවන අපහසුතා මෙන්ම තාවකාලික රියැදුරු බලපත්‍ර සහ මෝටර් රථ කුලියට දීම හරහා රජයට සහ කර්මාන්තයට අහිමි විය හැකි ආදායම වළක්වා ගැනීම සඳහා මෙම ගැටලු‍ව කඩිනමින් විසඳිය යුතු බවද ඔහු සඳහන් කළේය.