අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ලබාගත් විශිෂ්ට ජයග්‍රහණය ආර්ථික සංවර්ධනයට ඉතා වැදගත් දේශපාලන ස්ථාවරත්වය තහවුරු කරනු ඇත. නව ආණ්ඩුවේ ප්‍රමුඛ කාර්යයක් වනුයේ අයවැය හිඟය (රාජ්‍ය මූල්‍ය ඒකග්‍රතාව) ප්‍රගතිශීලි අන්දමින් අඩු කිරීමය. ආර්ථික ස්ථාවරත්වයට සහ වර්ධනයට එය පූර්ව අවශ්‍යතාවකි.

අයවැය හිඟය
අයවැයි හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9ක අගයක් දක්වා ඉහළ ගොස් ඇත. ආර්ථික ස්ථාවර කිරීමටත් ආර්ථික වර්ධනය ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය නම් 2021-2022 කාලයේදී අයවැය හිඟය දැන් තිබෙන අගයෙන් අඩක් දක්වා අඩු කරගත යුතු ය. දේශපාලන බල කිරීම් සහ මැතිවරණ දේශපාලනය හේතුවෙන් රාජ්‍ය මූල්‍ය ඒකග්‍රතාව, ළඟා කරගත නොහැකි දුෂ්කර අරමුණක් බවට පත්ව තිබේ.

අයවැය හිඟ (2015-2019 කාලයේ)
2015 වසරේ අගෝස්තු මාසයේ පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයට මහජන/දේශපාලන සහයෝගය ලබාගැනීම හේතුවෙන් ආණ්ඩුව කරන ලද රාජ්‍ය වියදම්, ප්‍රමාණය ඉක්මවා ගියේ ය. ඒ හේතුවෙන් එම වසරේදී අයවැය හිඟය සියයට 7.6ක් දක්වා ඉහළ ගියේය. එම තත්ත්වය ඊට පෙරද දක්නට ලැබිණි. 2015 වසරේ ජනවාරි මාසයේ පැවැති ජනාධිපතිවරණය සඳහා ඡන්ද ලබාගැනීමේ අරමුණින් එවකට පැවැති ආණ්ඩුව හිතුමතේ වියදම් කිරීමට ඉඩ දුන්නේ ය.

කෙසේ නමුත් ඉන් පසු වසරවලදී (2016-2018) අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.7ක්, 5.5ක් සහ 5.3ක් යන අගයන් දක්වා අඩු කරගැනීමට සමත් විය. ආදායම් වැඩි කිරීමේ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩසටහනක් මගින් එලෙස අයවැය හිඟය අඩු කරගත්ත ද 2019 වසරේ දී එය යළිත් වරක් පීලි පැන්නේ ය. ජනාධිපතිවරණයට පෙර දේශපාලන අරමුණු වුවමනා ඇතිව විය හියදම් කිරීම ඊට හේතුව විය.  නව කොරෝනා වයිරස වසංගතය සහ පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් මෙම අර්බුදය තවදුරටත් දිග්ගැස්සී ඇත.

දරුණුතම ප්‍රශ්නය
වසර ගණනාවක් මුළුල්ලේ මෙරට වඩාත් දරුණුම ආර්ථික ප්‍රශ්නය බවට පත්වූයේ අතිවිශාල අයවැය හිඟයයි. අති විශාල අයවැය හිඟ හේතුවෙන් රාජ්‍ය වියදම්වලදී ප්‍රමුඛත්වය දිය යුතු ආකාරය විපරීත තත්ත්වයකට පත් කළ අතර ආර්ථික සහ සමාජ සංවර්ධනය ආබාධිත තත්ත්වයකට පත් කළේය. කෙසේ නමුත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයේ වැදගත්කම තවමත් කිසිවකුත් නිසි ලෙස අවබෝධ කරගෙන ඇත.

අහිතකර බලපෑම්
අතිවිශාල අයවැය හිඟය උද්ධමන පීඩන ඇති කරයි. ඒ හේතුවෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ යන අතර ජාත්‍යන්තර වෙළෙඳපොළවලදී රටේ තරගකාරීත්වය පහත හෙළ යි. මේ තත්ත්වය නිසා අඩු උද්ධමන අනුපාත ඇති රටවල් සමඟ තරග කිරීම සඳහා රුපියල අවප්‍රමාණය කිරීමට සිදු වේ.

අපනයන ආදායම් අඩු වීම හේතුවෙන් රැකියා අහිමි වීමේ අවදානමක් මතු වේ. එමෙන්ම අපනයන ආදායම් පහළ වැටීමෙන් බලපෑමට ලක්වූ කර්මාන්තවල සිටින සේවකයන්ගේ වැටුප් ද පහත වේ. අනෙක් අතට අපනයන ආදායම් අඩු වීමෙන් වෙළෙඳ හිඟය ඉහළ යන අතර එය ගෙවුම් ශේෂයට බලපෑම් එල්ල කරයි. එයට ඇති එකම විසඳුම රුපියල අවප්‍රමාණය කිරීම ය. එසේ කිරීමෙන් අපනයනකරුවන්ගේ තරගකාරීත්වය ලිහිල් වේ. එහෙත් එමගින් තවදුරටත් උද්ධමනය ඇති වී ජනතාවට දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වේ.

උද්ධමනය
අති විශාල අයවැය හිඟ පැවැතීමෙන් ජිවන වියදම වැඩි වේ. ඒ හේතුවෙන්, විශේෂයෙන්ම අඩු වැටුප් ලබන පිරිස්වලට සහ විශ්‍රාම වැටුප් ලබන්නන්ට දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වේ. එය ඉහළ වැටුප් ඉල්ලා කරන විරෝධතා සහ උද්ඝෝෂණවලට ද හේතුවක් වනු ඇති අතර සමාජ කලබල හා නොසන්සුන්තා වුවද ඇති විය හැකිය.

රාජ්‍ය ණය වැඩි වීම
අති විශාල අයවැය හිඟ හේතුවෙන් ණය ගැනීමට ද සිදුවන අතර ඒවායේ ණය පොලී ද ඉතා ඉහළ ය. විශාල සමුච්ත ණය ප්‍රමාණය වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව පවතින අයවැය හිඟවල ප්‍රතිඵලයකි.

රාජ්‍ය ණය
වසර 2008 දී මෙරට ණය ප්‍රමාණය, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 80ක් විය. අති විශාල විදෙස් ණය සහ දේශීය ණය හේතුවෙන් 2009 වසරේදී මෙරට ණය ප්‍රමාණය, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 86.2ක් දක්වා ඉහළ ගියේය. පසුගිය වස‌ර අවසානයේදී මෙරට ණය ප්‍රමාණය ද.දේ.නි. යෙන් සියයට 85ක් දක්වා ඉහළ ගිය අතර මේ වසර පළමු අර්ධයේදී එය තවත් ඉහළ ගියේ ය.

රාජ්‍ය වියදම් ප්‍රමුඛතා  
අති විශාල රාජ්‍ය ණය සහ දුර්වල වෙමින් තිබෙන ණය පොලී ගෙවීම් ද හේතුවෙන් රාජ්‍ය වියදම්වලදී ප්‍රමුඛත්වය දීම විකෘති වී තිබේ. රාජ්‍ය වියදම් කළ යුත්තේ මොනවාටදැයි තීරණය කරගැනීමට නොහැකි තත්ත්වයක් එමගින් උද්ගත වී තිබෙන අතර එම නිසා ආර්ථික සංවර්ධනය ද වැළැකී තිබේ. රටේ ආදායමෙන් විශාල කොටසක් ණය පොලී ගෙවීමට වැයවන බැවින් ආර්ථික සංවර්ධනයට අවශ්‍ය කරන ආයෝජන කිරීමට ඉතිරි වන්නේ ඉතා සුළු මූල්‍ය ඉඩකි. එසේ ආදායමෙන් වැඩි කොටසක් ණය පොලී සඳහා අවශෝෂණය කරගන්නා බැවින් රටේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර වර්ධනය කිරීමට වියදම් කිරීමට ඉතිරි වන්නේ ද ඉතා සීමිත මුදලකි.

හේතු
අති විශාල අයවැය හිඟවලට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ සැලකිය යුතු ලෙස ආදායම් පහළ වැටීම ය. ඊට ප්‍රධානතම හේතුව රජයේ වියදම් ඉහළ නැංවීමට සමානව රජයේ ආදාායම් වැඩි කිරීමට පියවර නොගැනීම ය. පසුගිය කාලයේදී රජයේ වියදම් වැඩි වීමට මූලිකවම හේතු වූයේ ආරක්ෂාව සඳහා කරන ලද වියදම් වැඩි වීම ය. යුද්ධය පැවැති සමයේදීත් ඉන් පසුවත් ආරක්ෂාව වෙනුවෙන් කරන ලද වියදම් ඉහළ විය. අනෙක් අතට වැටුප් සහ වේතන, පොලී ගෙවීම් සහ රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති මත කරන ලද වියදම් හේතුවෙන් එලෙස රජයේ වියදම් වැඩි විය. කෙටියෙන් සඳහන් කරන්නේ නම් ප්‍රමාණවත් පරිදි ආදායම් නොලැබීමත් සහ රජයේ වියදම් වැඩි වීමත් යන කරුණුවල ප්‍රතිඵලයක් ලෙස පසුගිය කාලයේදී රාජ්‍ය වියදම් ඉහළ ගියේය.

මැතිවරණ
රජයේ වියදම් වැඩි වීමට මැතිවරණ හේතුවක් වන අවිවාදිතය. ඒ ගැන කිසිදු සැකයක් නොමැත. ආර්ථිකයේ මන්දගාමී වර්ධනය ප්‍රමාණවත් පරිදි ආදායම් නොලැබී යෑමට තවත් හේතුවකි.

ණය පොලී ගෙවීම්
අයවැය හිඟය ඉහළ යෑමට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ අයවැයෙන් රාජ්‍ය ණය සඳහා ඉහළ ණය පොලී ගෙවීම් ය. ඒ වෙනුවෙන් විශාල වියදමක් දරන්නට සිදුව තිබේ. මේ සම්බන්ධයෙන් කිසිදු මතභේදයක් නැත. වසර 2008 දී රාජ්‍ය ආදායමෙන් සියයට 90.5ක් ණය පොලී ගෙවීම සඳහා වැය කරන ලදි. මේ තත්ත්වය හේතුවෙන් තවදුරටත් ණය ගැනීමට සිදු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වාර්ෂික ණය පොලී ගෙවීම් ඉහළ ගියේය.

ණය වැඩි වීම නිසා මේ අගය තවදුරටත් ඉහළ යා හැකි අතර වාණිජ ණය ගැනීම් නිසා ණය පොලී ගෙවීම් තවදුරටත් ඉහළ යා හැකිය. ඊට අමතරව ආදායම් ලැබීම් ද අපේක්ෂා කළ මට්ටමට පැමිණ නැත. එසේ ආදායම් වැඩි වූවා නම් ණය පොලී ගෙවීම් සඳහා යොදාගන්නා ආදායම් ප්‍රමාණය ද ඉහළ යා හැකිව තිබිණි.

කාලයක් තිස්සේ පවතින ඉහළ අයවැය හිඟ හේතුවෙන්  මෙලෙස ණය එකතු වී තිබේ.එහි ප්‍රතිඵලයක් ලෙස ණය පොලී ඉහළ ගොස් තිබේ. විශේෂයෙන්ම 80 දශකයේ අග භාගයේ සිට ආරක්ෂාව වෙනුවෙන් කරන්නට සිදු වූ ඉතා විශාලවියදම් මෙලෙස ණය එකතුවීමට එක් වැදගත් ප්‍රධාන සහ වැදගත් හේතුවක් වීම පුදුමයට කරුණක් නොවේ. එහෙත් ඉහළ රාජ්‍ය ණයවලට සම්පූර්ණ හේතුව ආරක්ෂාව වෙනුවෙන් කරන ලද වියදම් යැයි සිතීම වැරැදි තේරුම් ගැනීමකි. රටේ ආරක්ෂාව වෙනුවෙන් කරන වියදම් ඉහළ මට්ටමක ඇති විටකදී දූරදර්ශි අයවැය ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු ය. ණය පද්ධතිය දැඩි කිරීම සහ නව සහ ඉහළ බදු හඳුන්වාදීම එම ක්‍රියාමාර්ගවලට ඇතුළත් වේ.

එවැනි ක්‍රියාමාර්ගවලින් රටේ (දළ දේශීය නිෂ්පාදතයේ අනුපාතයක් ලෙස) බදු අනුපාතය ඉහළ යයි. නව බදු හඳුන්වා දුන්න ද රටේ අක්‍රමවත් බදු කරණ පද්ධතිය හේතුවෙන් කාලයත් සමඟ රටේ බදු ආදායම් ඉහළ ගොස් නැත. අනෙක් අතට ආරක්ෂාව වෙනුවෙන් ඉහළ වියදම් කරද්දි ඊට සමානව අනෙක් වියදම් සීමා කිරීමට හෝ පාලනය කිරීමට කිසිදු පියවරක් ගෙන නැත.

අනෙක් අතට ඇතැම් රාජ්‍ය වියදම් “නාස්තිකාර රාජ්‍ය වියදම්” ලෙස හැඳින්වීමේ කිසිදු වරදක් නැත. කිසිදු නිෂ්පාදනයක් නොමැති එවැනි රාජ්‍ය වියදම් පසුගිය කාලයේදී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. රාජ්‍ය පරිපාලනය වෙනුවෙන් කෙරෙන වියදම් වැඩි වීම, රාජ්‍ය සේවා සඳහා කෙරෙන අති විශාල බඳවාගැනීම් සහ වැටුප් වේතන වැඩි කිරීම මෙන්ම සාධාරණීයකරණය කළ නොහැකි විශාල කැබිනට් මණ්ඩල වෙනුවෙන් කරන වියදම්වල බර මෙන්ම එක් අයකු වෙනුවෙන් තවත් අයකුට කෙරන ගෙවීම් (එක් පුද්ගලයකු නිසා තවත් පිරිසක් ලබන ප්‍රතිලාභ) යනාදිය එවැනි නාස්තිකාර වියදම්වලින් සැලකිය යුතු ඒවා ය. ඊට අමතරව තවත් සැලකිය යුතු නාස්තිකාර ඉහළ වියදමක් වනුයේ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය වෙනුවෙන් කරන වියදම් ය.

අවශ්‍යයෙන්ම කළ යුතු දෑ  
ආර්ථික ස්ථාවරත්වයටත් වර්ධනයටත් අයවැය විනය අත්‍යවශ්‍ය පූර්ව අවශ්‍යතාවකි. විරැකියාවේ සහ දරිද්‍රතාවේ අර්බුද විසඳීමටත් අපේක්ෂිත ඉහළ වර්ධන අනුපාත ළඟා කරගැනීමටත් අයවැය හිඟය සීමා කිරීම රටේ ආර්ථිකයට ඉතා වැදගත් ය. කෙසේ නමුත් වරින් වර පත් වූ ආණ්ඩු සියල්ලම පාහේ අයවැය හිඟය සීමා කිරීම හා පාලනය කිරීම මඟ හැරියේ ය.

පිරිවැය අඩු කිරීමේදී කැබිනට් මණ්ඩලයේ ප්‍රමාණය අඩු කිරීම ප්‍රයෝජනවත් පියවරකි. කළමනාකරණ ව්‍යුහයේ කරන ප්‍රතිසංස්කරණ සහ මිලකරණ ප්‍රතිපත්ති මාර්ගයෙන් රාජ්‍ය ව්‍යවසායවල පාඩු අඩු කරගත යුතු ය. ඉතා හොඳ බදුකරණ ක්‍රියාවලියක් සහ බදු පරිපාලනයකින් ආදායම් වැඩි කරගත හැකිය.

අයවැය හිඟයට ප්‍රධානම හේතුව ආරක්ෂාව වෙනුවෙන් කරන ඉතා ඉහළ වියදම් යැයි චෝදනා එල්ල විය. යුද්ධය අවසන් වීමත් ආරක්ෂාව වෙනුවෙන් කරන වියදම් අඩු වීමත් නිසා මේ වනවිට අයවැය හිඟය අඩු කිරීමට අවස්ථාවක් ලැබී තිබේ. එහෙත් එය පමණක් ප්‍රමාණවත් නොවේ. පලදායී නොවන නාස්තිකාර වියදම් අඩු කිරීම, රාජ්‍ය ව්‍යවසායවල පාඩු අවම කිරීම ද යනාදිය දැනට අවශ්‍ය කර තිබෙන අනෙකුත් දූරදර්ශී මූල්‍ය ක්‍රියාමාර්ග ය.

වඩා හොඳ බදුකරණ පද්ධතියක් සහ බදු පරිපාලනයකින් ආදායම් වැඩි කරගත යුතු ය. ශීඝ්‍ර ආර්ථික වර්ධනයකට සහ සංවර්ධනයකට පදනම දමන රාජ්‍ය මූල්‍ය ඒකග්‍රතා ක්‍රියාවලියක් ආරම්භ කිරීමට මේ වසරේදී ඉඩකඩ තිබේ.

අවසාන වශයෙන්
මේ වසරේදී අයවැය හිඟය අඩු කිරීමටත් ඉදිරි පස් වසරේදී ප්‍රගතිශීලී අන්දමින් එය තවදුරටත් පහත හෙළීම සඳහා දැඩි ධෛර්යයක් හා අධිෂ්ඨානයක් තිබිය යුතු ය. පහළ අයවැය හිඟයක් ළඟා කර ගැනීම සඳහා, රජයේ ආදායම්වලට සමාන්තරව රාජ්‍ය වියදම් අඩු නොවුණහොත් ණය ගැනීමට සිදුවන විශාල අයවැය හිඟවල චක්‍රය නැවත නැවතත් ක්‍රියාත්මක වනු ඇත. එමගින් ආර්ථික වර්ධනය සහ සංවර්ධනය දිගින් දිගටම දුර්වල කර අබ්බගාත තත්ත්වයකට පත් කරනු ඇත.  
 

(*** ආචාර්ය නිමල් සඳරත්න විසිනි)
(*** සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවු ලිපියේ  සිංහල පරිවර්තනය හර්ෂණ තුෂාර සිල්වා)