නවීකරණය වූ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළට SLT-MOBITEL වෙතින්පරිපූර්ණ ඩිජිටල් තාක්ෂණ පහසුකම් 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ ව්‍යාපෘතියට ඩිජිටල් තාක්ෂණික පහසුකම් ඔස්සේ සිය දායකත්වය ලබාදීමට කටයුතු කළේය. මෙය ජාතික අවශ්‍යතා ඉටුකරලීම සඳහා නවීන තාක්ෂණය භාවිතයට ගැනීමට සහාය වීම සම්බන්ධයෙන් SLT-MOBITEL සතු දැක්ම මැනැවින් නිරූපණය කළ මෙහෙවරක් ලෙස හැඳින්විය හැක. 
මෙහිදී හුදෙක් ටිකට්පත් ඩිජිටල්කරණය කිරීමට සීමා නොවී, මගීන්ගේ දෛනික ගමනාගමන කටයුතු පහසු කිරීම සඳහා වඩාත් පුළුල් ලෙස දායක වීම SLT-MOBITEL හි අරමුණ විය. මගීන්ගේ පහසුව සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විනිවිදභාවය මෙන්ම, දුර ගමන් බස් රථ සේවා සම්බන්ධයෙන් මගීන් තුළ පවතින විශ්වාසය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමට සහ පුරවැසියන් ඉලක්ක කරගත් රජයේ සේවා වැඩිදියුණු කිරීමට සහයෝගය ලබාදීම සඳහා SLT-MOBITEL දරන නිරන්තර උත්සාහය මැනැවින් පිළිබිඹු කරයි. 
නවීකරණය කරන ලද කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් විවෘත කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය නවීකරණය කිරීමේ ප්‍රයත්නයන්හි සුවිශේෂී හැරවුම් ලක්ෂයක් ලෙස හැඳින්විය හැකි වේ. 
මෙම නවීකරණ ක්‍රියාවලිය සඳහා තොරතුරු තාක්ෂණික පදනම බවට පත් වූයේ SLT-MOBITEL සතු උසස් ඩිජිටල් විසඳුම් පෙළයි. මගීන්ගේ පහසුව, මෙහෙයුම් කටයුතුවල කාර්යක්ෂමතාව සහ ජාතික සම්බන්ධතාව වැඩිදියුණු කිරීම සඳහා මෙම විසඳුම් භාවිතයට ගෙන තිබේ. මේ ආකාරයට දිවයින පුරා රාජ්‍ය සේවා ශක්තිමත් කරන ආරක්ෂිත, විධිමත් සහ පුරවැසි කේන්ද්‍රීය ඩිජිටල් වේදිකා ගොඩනැංවීමට දායක වීම සඳහා SLT-MOBITEL කැප වී සිටී.
මෙම නවීකරණ ව්‍යාපෘතිය සඳහා SLT-MOBITEL විසින් තත්‍යකාලීන කාලසටහන් සහ පොදු පණිවිඩ ප්‍රදර්ශනය කරන ඩිජිටල් පුවරුවක් ඇතුළුව තොරතුරු හා සන්නිවේදන යටිතල පහසුකම් සපයන ලදී. එමෙන්ම මධ්‍යම බස් නැවතුම්පොළ තුළ ස්ථාපිත කර ඇති ඇති Wi-Fi විසඳුමක් මගින් එහි මගීන් ගැවසෙන සියලු‍ම ස්ථානවලට අන්තර්ජාල සම්බන්ධතා පහසුකම් ලබා දී තිබේ. මෙම පහසුකම් මගින් දිනපතා මෙම බස් නැවතුම්පොළ භාවිත කරන මගීන් දහස් ගණනකට විශ්වාසනීය තොරතුරු සමග වඩාත් පහසු ගමනාගමන අත්දැකීමක් හිමිවනු ඇති අතර, එමගින් පොදු ප්‍රවාහනය කෙරෙහි ඔවුන් තුළ ඇති විශ්වාසය වැඩිදියුණු වනු නිසැකය. 
මෙහිදී මාකුඹුර - මාතර සහ මාකුඹුර - ගාල්ල යන ගමන් මාර්ග ආවරණය වන පරිදි ‘මාකුඹුර නියමු ව්‍යාපෘතිය’ ලෙස නම් කර ඇති බස් ටිකට්පත් වෙන්කරවා ගැනීමේ සේවයක්ද දියත් කරන ලදී. මෙහි අරමුණ වී ඇත්තේ මගීන්ට දිගු පෝලිම්වල රැඳී සිටීමෙන් තොරව, කල්තබා බස් රථවල ආසන වෙන්කරවා ගැනීමට අවස්ථාව සලසා දීමය. මෙමගින් මගීන්ගේ පහසුව මෙන්ම සමස්ත ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවද වැඩිදියුණු වේ. එමෙන්ම බස් රියැදුරන් සහ නියාමකවරුන් සම්බන්ධයෙන් ගත් විට එය කාලසටහන් සැකසීම සහ පිටත්වීම් සම්බන්ධ විනිවිදභාවය, මෙහෙයුම්වල විවෘතභාවය සහ විධිමත් බව වැඩිදියුණු කරයි.