

බාහිර කම්පන සහ ඒවායේ බලපෑම
දැනට පවතින මැදපෙරදිග අර්බුදයට මුහුණ දීමේදී ශ්‍රී ලංකාව අසාමාන්‍ය ලෙස බලපෑමට ලක්ව පවතී. මෙරට ආර්ථිකයේ ඇති ව්‍යුහමය අඩුපාඩුකම් තුනක් ඒ සඳහා බලපා ඇති බව පෙනේ. ආනයනික ඉන්ධන මත ඇති ඉහළ රැඳියාව, විදේශ ප්‍රේෂණ මත ඇති ඉහළ රැඳියාව, සහ ප්‍රධාන භාණ්ඩ සහ සේවා අපනයන කීපයක් මැදපෙරදිග කලාපය මත ඇති ඉහළ රැඳියාව එම කරුණු තුනය. මෙරට සමස්ත ආනයන වියදම්වලින් සියයට 18-20ක් පමණ ඉන්ධන ආනයන සඳහා වැය කරනු ලබයි. එමෙන්ම, ඩොලර් බිලියන 8ක් පමණ වාර්ෂික විදේශ ප්‍රේෂණවලින් වැඩි කොටස මැදපෙරදිග කලාපයෙන් ලැබේ. තේ, නාවික සේවා සහ ගුවන් සේවා වැනි අපනයන සඳහා මැදපෙරදිග කලාපය සුවිශේෂී වැදගත් කමක් ගන්නා අතර මුළු භාණ්ඩ සහ සේවාවලින් සියයට 10-15ක ප්‍රමාණයක් මෙම කලාපයට අපනයනය කෙරේ.
වත්මන් අර්බුදය තෙල් මිල ඉහළ යාම, නාවික බාධා සහ භූ-දේශපාලනික අවදානම් දැනටමත් ඉන්ධන මිල වැඩිවීම්, උද්ධමනය, විදේශ විනිමය පීඩනය සහ බාහිර සමතුලිතතාවේ අවදානම් ලෙස ආර්ථිකයට ප්‍රතිචාර දක්වමින් පවතී. ඒ අනුව, මැදපෙරදිග යුද ගැටුම් නිසා මෙරට ආර්ථිකය බාහිර කම්පන තුනකට මැදිව ඇති බව පැහැදිලිය. එක් පැත්තකින් ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල ඉතා ශීඝ්‍රයෙන් ඉහළයාමෙන් කම්පනයක් ඇති වී ඇති අතර, දෙවනුව විදේශ විනිමය ලැබෙන මූලාශ්‍ර බිඳවැටීම හේතුවෙන් ගෙවුම් ශේෂයට අදාළව බාහිර කම්පනයක් හටගෙන ඇත. තුන් වෙනුව පොහොර හිඟය සහ ඒවයේ මිල ගණන් ඉහළයාම හේතුවෙන් කෘෂි කර්මාන්තය මූලික කරගත් කම්පනයක් හටගෙන ඇත.
මෑතක දී Kiel Institute මගින් ප්‍රකාශයට පත්කළ පර්‌යේෂණයකට අනුව හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමන තත්වයක් යටතේ ශ්‍රී ලංකාවට ඉතා අහිතකර බලපෑම් එල්ල වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. විශේෂයෙන්ම, ආනයනික ඉන්ධන සහ පොහොර මත ඇති ඉහළ රැඳියාව සහ කෘෂි අංශය ආර්ථිකය තුළ සැලකිය යුතු අංශයක් වන හෙයින් ඉන්ධන සහ පොහොර මිල ගණන් ඉහළයාම මෙන්ම එම භාණ්ඩවල සැපයුම අඩාළවීම හේතුවෙන් ආහාර මිල ගණන් සියයට 15කින් පමණ ඉහළ යන බවත් සුබසාධනය සියයට 4-6ත් අතර ප්‍රමාණයකින් පහළ යන බවත් ඇස්තමේන්තු කර ඇත. විශේෂයෙන්ම මිලදී ගැනීමේ හැකියාව පහත වැටීම මෙන්ම නිෂ්පාදන කටයුතුවලට බාධා එල්ලවීම හේතුවෙන් රැකියා සහ ආදායම් උත්පාදනයට අදාළව අහිතකර තත්ව ඇති විය හැකි බව එම වාර්තාව වැඩිදුරටත් කියා සිටී.
එම වාර්තාවට අනුව පූර්ණ වශයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමන තත්වයක් යටතේ කෙටිකාලීනව ගෝලීය ආර්ථිකයට බලපෑම් කරනු ලබන අතර, එම බලපෑම අසමමිතිකව ඇති වන බව පෙන්වා දී ඇත. විශේෂයෙන්ම ආනයනික ඉන්ධන සහ පොහොර මත ඉහළ රැඳියාවක් සහිත දකුණු ආසියාතික සහ අප්‍රිකානු රටවල්වලට අදාළව ඉහළ බලපෑමක් එල්ලවන බව ප්‍රකාශිතය. එම පර්‌යේෂණ වාර්තාවට අනුව හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට අදාළව දෙවැනියට වඩාත් දැඩි බලපෑමක් (ආහාර මිල ඉහළ යාමට සහ සමාජ සුබසාධනය පහළ යාමට අදාළව) ලංකාවට ඇති වන බව ප්‍රකාශිතය. ඉහත දක්වන තත්ව තුළ මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඇතිවී ඇති සහ ඇතිවනු ඇතැයි අපේක්ෂා කළ හැකි තත්වයට මුහුණදීම සඳහා මෙරට කුමන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුද යන්න විමසා බැලීම කාලෝචිත යැයි හැගේ. මෙම ලිපියේ අරමුණ වන්නේ මැදපෙරදිග යුද ගැටුම් නිසා ඇති වන අහිතකර තත්වයට මුහුණදීමට කෙටි කාලීනව සහ දිගු කාලීනව සලකා බැලිය යුතු ප්‍රතිපත්ති කවරේද යන්න පිළිබඳ කෙටි විවිරණයක් කිරීම වේ.
කෙටිකාලීන ප්‍රතිපත්ති මොනවාද?
කෙටි කාලීනව, ශ්‍රී ලංකාව ආර්ථික ස්ථායිකරණය පවත්වාගෙන යාමට අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. එහි ප්‍රධාන කොටසක් වන්නේ ඉන්ධන ආරක්ෂාව සහ මිල ස්ථායිකරණයයි. ඒ සඳහා ඉන්ධන මිල ගණන් ඊට අදාළ වියදම් නිරූපණය වන අයුරින් පවත්වාගෙන යාම ඉතා වැදගත් වේ. දැනටමත් රජය ඉන්ධන මිල දෙවරක් ඉහළ දැමීමට කටයුතු කර ඇති අතර, ඊට අමතරව ඉන්ධන භාවිතය පහත හෙළීමට කෝටා ක්‍රමයක් හඳුන්වා දී ඇත. එවැනි මිල හැඩගැස්සවීම් ඉදිරියේදීත් කිරීමට කටයුතු කිරීම ඉතා වැදගත්ය. ඉන්ධන මිල ඉතා ඉහළ අගයකින් ඉහළයත්ම පහළ ආදායම්ලාභීන්, ගොවීන්, ධිවරයන්, මෙන්ම කුඩා නිෂ්පාදකයන්ට එය ඉතා අහිතකරව බලපානු ලබයි. එම පිරිස් ඉලක්ක කර යම් සහනාධාර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. සියලු දෙනාටම සහන සලසන ආකාරයේ ක්‍රියාමාර්ගවලට යාමෙන් වැළකීසිටීම වැදගත්ය.
එමෙන්ම, දින 30-60 කට පමණ ප්‍රමාණවත් වන පරිදි උපායමාර්ගිකව ඉන්ධන ගබඩා ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. ඉන්ධන පමණක් නොව අත්‍යවශ්‍ය වන්නා වූ පොහොරවලට අදාළව ද සංචිත පවත්වාගෙන යාම පිළිබඳව අවධානය යොමු කිරීම යෝග්‍ය වන්නේ වත්මන් යුද ගැටුම් කුමන දිශාවට වර්ධනය වේවිදැයි නිශ්චිතව පුරෝකථනය කිරිම අපහසු බැවිනි. එමෙන්ම ඉන්ධන ලබාගත හැකි විකල්ප මූලාශ්‍ර කෙරෙහිද අවධානය යොමු කිරීම වැදගත්ය. ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම කෙරෙහි අප වඩා වැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍ය වන්නකි.
මෙහිදී කෙටි කාලීනව අවධානය යොමු කළ හැකි එක් අංශයක් වන්නේ මාර්ගගත ක්‍රමය භාවිතයෙන් වැඩ කිරීම මෙන්ම අධ්‍යාපන කටයුතු කිරීමට ඇති හැකියාව සොයා බැලීමය. විශේෂයෙන්ම ද්විතීයික සහ තෘතීයික අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමය භාවිතයෙන් කිරීමට ඇති හැකියාව සොයා බැලිය යුතුය. ඊට අමතරව රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද කටයුතු මාර්ගගත ක්‍රමය භාවිතයෙන් කිරීමට උනන්දු කරවීම යහපත් යැයි හැඟේ. පහළ සහ මධ්‍ය ආදායම් ලබන කුටුම්භවල ප්‍රවාහන වියදම යනු මුළු වියදමේ සැලකිය යුතු කොටසක් වන අතර මාර්ගගත ක්‍රමය වැඩි වශයෙන් භාවිතයට ගැනීමෙන් ප්‍රවාහන වියදම් වැනි දෑ පහත හෙළිය හැකිය. මැදි කාලීනව අවම වශයෙන් ආර්ථික කටයුතුවලින් සියයට 20ක් පමණවත් මාර්ගගත ක්‍රමය භාවිතයෙන් කිරීමට ප්‍රවර්ධනය කිරීම වඩාත් යෝග්‍ය වන්නකි.
කෙටි කාලීනව අවධානය යොමු කළ යුතු තවත් වැදගත් අංශයක් වන්නේ ගෙවුම් ශේෂය සහ විනිමය ස්ථායිකරණය වේ. එක් පැත්තකින් ආනයන වියදම් ඉහළ යන තත්වයක් තුළ අනෙක් පැත්තෙන් විදේශ විනිමය ලැබීම් සැලකිය යුතු මට්ටමකින් පහළ යන්නේ නම් ගෙවුම් ශේෂය සහ විනිමය අනුපාතය මත විශාල තෙරපුමක් ඇතිවීම අනිවාර්ය වේ. එවන් තත්වයක් තුළ මෙරටට ගලාඑන සීමිත විදේශ විනිමය සකසුරුවමෙන් යුතුව ප්‍රමුඛතා මත යෙදවීම යෝග්‍ය වේ. එහිදී කිසිදු ආකාරයේ කෘත්‍රීම පාලන ක්‍රියාමාර්ගවලට ගමන් කිරීම උචිත නොවේ. විනිමය අනුපාතය හැකිතාක් දුරට වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම බලවේගමත තීරණයවීමට ඉඩ ලබාදීම යෝග්‍ය වේ. එමෙන්ම, ඉන්ධන, ආහාර සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා ආනයන ප්‍රමුඛතාව ලබාදීම, නිල මාර්ගයෙන් විදේශ ප්‍රේෂණ ගලා ඒම වැඩි කිරීමට ප්‍රතිලාභ ලබාදීම, අවශ්‍ය නම් තාවකාලික මූල්‍ය ප්‍රවාහ කළමනාකරණ ක්‍රියාමාර්ග භාවිත කිරීම සහ IMF වැඩසටහන සමග අනුකූලතාව පවත්වාගෙන යාම මෙයට ඇතුළත් වේ.
මැදපෙරදිගින් ලැබෙන විදේශ ප්‍රේෂණ සැලකිය යුතු කොටසක් වන බැවින් ඒවාට ඇති අවදානම විදේශ විනිමය වෙළෙඳපොළට සෘජුව බලපායි. බංග්ලාදේශය සහ පාකිස්ථානය ආනයන සීමා කිරීම, තුර්කිය විනිමය වෙළෙඳපොළට මැදිහත්වීම සහ පිලිපීනයෙහි මූල්‍ය සහ මධ්‍යම බැංකු සම්බන්ධීකරණය වැනි ක්‍රියාමාර්ග මෙහි උදාහරණ වේ. ශ්‍රී ලංකාව දැඩි පාලන මාර්ගවලට යාමෙන් වැළකී, විශ්වාසය රැකගැනීම සඳහා ප්‍රේරණාත්මක ක්‍රම සහ IMF විශ්වසනීයතාව භාවිත කළ යුතුය. විදේශ රැකියා කරන්නන් සහ ඔවුන්ගෙන් ලැබෙන විදේශ ප්‍රේෂණ ආරක්ෂා කිරීමද අතිශයින් වැදගත්ය. ඒ සඳහා ගල්ෆ් රටවල් සමග හදිසි කම්කරු ගිවිසුම්, සේවකයන් සඳහා ආරක්ෂණ සහ ඉවත් කිරීමේ යාන්ත්‍රණ සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සඳහා ආයෝජන මෙවලම් හඳුන්වාදීම වැනි ක්‍රියාමාර්ග අවශ්‍ය වේ.
මෙය සමාජ ප්‍රශ්නයක් පමණක් නොව, විශාල ආර්ථික අවදානමක් ලෙස සලකා බැලිය යුතුය. 2022 වසරේ සිදු වූ ණය අර්බුදයට පෙර කාලපරිච්ඡේදය තුළ විදේශ විනිමය අනුපාතිකයට අදාළව එවකට ගනු ලැබූ වැරදි ප්‍රතිපත්ති ස්ථාවර යළි ඇති නොවන්නට වගබලා ගත යුතු අතර විශේෂයෙන්ම වෙළෙඳපොළේ සහභාගී වන්නන්ගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කිරීම වැදගත්ය.
උද්ධමනය පාලනය සහ සමාජ ආරක්ෂාවද කෙටි කාලීනව වැදගත්ය. සියලු දෙනා ආවරණය වන අයුරින් සහනාධාර ලබාදීමක් වෙනුවට ඉලක්කගත මුදල් ආධාර, පොදු ප්‍රවාහන සහ ආහාර සඳහා සහය, තාවකාලික මිල ස්ථායිකරණ ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය. ඉන්ධන මිල ඉහළ යාම ආහාර සහ ප්‍රවාහන වියදම් වැඩි කරමින් උද්ධමනය තවත් තීව්‍ර කරයි. එබැවින්, අඩු ආදායම්ලාභී කණ්ඩායම් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ. 2022 වසරේ සියයට 70ක් පමණ මට්ටමක් දක්වා ඉහළ ගිය උද්ධමනය ඉතා කෙටි කලක් තුළ මූල්‍ය ප්‍රතිපත්තියේ සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල බලපෑම හේතු කරගෙන පහළට ගමන් කළ අතර පසුගිය කාර්තුවේ උද්ධමනය වාර්තා වූයේ සියයට 2 වඩා අඩු අගයකය. තෙල් මිල ඉහළයාම හේතුකර ගෙන ඉදිරියේ දී උද්ධමනකාරී තත්වයක් ඇති වීමට ඉඩකඩක් පැවතුනත්, දැනට පවත්නා පහළ උද්ධමනකාරී තත්වය හේතුවෙන් වත්මන් මිල ගණන් ඉහළයාම යම්තාක් දුරට අවශෝෂණය කිරීමේ හැකියාවක් ලැබී ඇත.
Kiel Institute පර්‌යේෂණයට අනුව හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණ වශයෙන් වසා දමන තත්වයක් තුළ මෙරට අාහාර ද්‍රව්‍යවල මිල ගණන් සියයට 15 පමණ ඉහළ යතැයි ගණන් බලා ඇත. කෙටි කාලීනව සමාජයේ පහළම ආදායම් ලබන්නන් වෙනුවෙන් යම් සමාජ ආරක්ෂණයක් අවශ්‍ය වන්නේ මෙරට දුප්පත්කම ඉතා ඉහළ අගයක් ගන්නා බැවිනි. ලෝක බැංකු ගණනය කිරීම්වලට අනුව 2022 ආර්ථික අර්බුදය සහ ඊට පිළියම් සෙවීම සඳහා අනුගමනය කරනු ලැබූ ප්‍රතිපත්ති හේතුවෙන් සෑම පුද්ගලයන් සිව් දෙනකුගෙන් එක් අයකු දරීද්‍රතාවෙන් පෙළේ. පසුගිය අවුරුද්දේ අවසාන භාගයේ සිදුවූ දිට්වා සුළිකුණාටුව හේතුවෙන් මෙරට දුප්පත්කම තවදුරටත් ඉහළ යන්නට ඇතැයි සිතිය හැක. ඒ අනුව ගත්කල වත්මන් යුද ගැටුම් මත වර්තමානය වනවිට ඇති වී පවතින තත්වය තුළ මෙරට දුප්පත්කම තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. මේ නිසා සමාජ ආරක්ෂණ වැඩසටහන් පිළිබඳව අවශ්‍ය අවධානය යොමු කිරීම වැදගත්ය.
විශේෂයෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ ඇති කළ එක් වැදගත් අවශ්‍යතාවක් වූයේ රාජ්‍ය මූල්‍ය ඉතිරියක් සහ විදේශ සංචිත ඉහළ මට්ටමකින් පවත්වා ගැනීම විය. එසේ රාජ්‍ය මූල්‍ය ඉතිරියක් පවත්වාගෙන යාමට මූලික හේතුව වූයේ යම් අභ්‍යන්තර හෝ බාහිර කම්පනයක් හේතුවෙන් ඇති වන අහිතකර තත්වයට මුහුණදීමට අවශ්‍ය වන්නා වූ ධාරීතාව සකස් කිරීම විය. ඒ අනුව යමින් 2024 අවසන් වනවිට රුපියල් බිලියන 800 ඉක්ම වූ රජ්‍ය මූල්‍ය අතිරික්තයක් පවත්වාගෙන යාමට රජයට හැකියාව ලැබිණි. මේ වනවිට එම මුදල රුපියල් ට්‍රිලියනය ඉක්මවා ඇති බව පසුගිය දා ප්‍රකාශ විය. ඒ අනුව, එම මුදල්වලින් කොටසක් භාවිත කරමින් සමාජ ආරක්ෂණය තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට රජයට හැකියාවක් පවතී. එවැනි පියවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති රාජ්‍ය මූල්‍ය ඉලක්කවලට කිසිඳු හානියක් වීමට ඉඩක් නොපවතී.
එමෙන්ම, දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති ඉලක්කවලට අදාළව යම් සංශෝධනයක් කිරීමට හැකියාවක් ඇත්දැයි සොයා බැලීම ද ඉතා වැදගත් වේ. වත්මන් අර්බුදය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඒ ආකාරයෙන්ම සපුරා ගැනීමට යාමෙන් ආර්ථිකයට දැඩි පීඩනයක් ගෙන දීමේ හැකියාව ඇති අතර ඒ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුවත් කිරීම සහ දැනට ක්‍රියාත්මක ගිවිසුමට අදාළව යම් යම් සංශෝධන කළ හැකි ද යන්න විමසා බැලීම යෝග්‍ය වේ. විශේෂයෙන්ම මධ්‍යම පන්තිය මත පනවා ඇති ඉහළ ආදායම් බදු මෙන්ම වැට් බදු අනුපාත සහ වැට් බද්දට යටත් වන භාණ්ඩ සහ සේවාවලට අදාළව යම් සහනයක් ලබාදිය හැකි ද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ.
වෙළෙඳ හා ලොජිස්ටික් පද්ධති අඛණ්ඩව පවත්වා ගැනීම ද අවශ්‍ය වේ. විකල්ප නාවික මාර්ග සුරක්ෂිත කිරීම, රජය විසින් රක්ෂණ සහතික ලබාදීම, ප්‍රමුඛ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ද්විපාර්ශ්වික ගිවිසුම් සහ තේ හා ඇඟලුම් වැනි ප්‍රධාන අපනයන ක්ෂේත්‍ර සඳහා සහාය ලබාදීම මෙයට ඇතුළත් වේ. අපනයන අංශයට එල්ල වී ඇති අවාසි සහගත තත්ව පිළිබඳව නිතර අවධානය යොමු කිරීම කළ යුතුය. හැකි සෑම සහයෝගයක්ම අපනයනකරුවන්ට ලබාදීම පිළිබඳව අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන්ම අපනයනකරුවන් මුහුණ දෙනු ලබන පිරිවැය තත්ව පහත දැමීමට ඇති හැකියාව සොයා බැලිය යුතු අතර අපනයන අංශයට අදාළව පෙර පැවති ආකාරයේ පහළ බදු අනුපාත ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සොයා බැලිය යුතුය.
පිරිවැය නිරූපිත මිල ගැළපීම් යෝග්‍ය වන්නේ වී නමුදු තවදුරටත් ඉන්ධන මිල (විදුලිය ද ඇතළුව) ඉහළ දැමීමට සිදු වන්නේ නම් එය ඉතා පරිස්සමින් කළ යුතුය. සඳුදා දිනයේ දී විදුලි මිල ඉහළ දමන ලද අතර, එය සාමාන්‍යයක් වශයෙන් සියයට 10ක මිල වැඩි වීමකි. තෙල් සහ විදුලි මිල වැඩිවීම හේතුවෙන් සැලකිය යුතු පිරිවැයක් දැනටමත් නිෂ්පාදන කටයුතුවලට එකතු වී හමාරය. පිරිවැය නිරූපිත ආකාරයෙන් මිල ඉහළ දැමීම යෝග්‍ය වුවත් තවදුරටත් මිල ඉහළ යාමක් සිදුවන තත්වයක් ඇති වුවහොත් එමගින් නිෂ්පාදන කටයුතු මෙන්ම ඵලදායී ආර්ථික කටයුතු බිඳවැටීමට බලපා හැක. විශේෂයෙන්ම, මිල ගණන් ඉහළයාමෙන් සමාජයේ ඉහළම ආදායම් ලබන ජනකොටස්වල ඉන්ධන සුරක්ෂිතතාව ඇති කිරීමට හැකියාව ලැබුණත් එම ඉන්ධන ඵලදායී කටයුතුවලට යොදා ගන්නේ ද යන්න ගැටලු සහගතය.
ඒ අනුව, ඉදිරියට මිල ගණන් නැවත වරක් ඉහළ දමන්නේ නම් ඊට සමගාමීව ඵලදායී කටයුතුවලට ඉන්ධන ප්‍රමාණවත් පරිදි ලැබීම සහතික කිරීම සඳහා වූ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වේ. මිල ගණන් ඉහළ දැමීමෙන් පමණක් මෙම අර්බුදය විසඳීම ඉතා අහිතකර සමාජ, ආර්ථික ප්‍රතිඵල උදාකරනු ඇත. විශේෂයෙන්ම, ඉන්ධන මිල ඉහළයාමත් සමග ආර්ථිකයේ සමස්ත මිල ගණන් ඉහළ යන අතර වත්මන් යුද ගැටුම් අවසන්ව ඉන්ධන මිල යළි පහළට ගමන් කළද ආර්ථිකයේ අනෙකුත් භාණ්ඩවලට අදාළව ඉහළයන ලද මිල ගණන් පහළට ගමන් කිරීමක් මද වශයෙන් පමණක් සිදුවනු ඇත. මේ නිසා ඉදිරියට කරනු ලබන මිල ගැළපීම් ඉතා කල්පනාකාරීව කළ යුතු වේ.
දිගුකාලීන ප්‍රතිපත්ති මොනවාද?
දිගු කාලීනව, මෙරට ආර්ථිකයේ ඇති ව්‍යුහමය දුර්වලතා විසඳීමට පියවර ගැනීම අතිශ්‍යය වැදගත්ය. එහි ප්‍රධානම ක්ෂේත්‍රය වන්නේ ඉන්ධන ස්වාධීනත්වයයි. සූර්ය හා සුළං ශක්තිය වැනි නවීන ශක්ති මූලාශ්‍ර ව්‍යාප්ත කිරීම, LNG ආයෝජන සහ ප්‍රවාහන ක්ෂේත්‍රය විදුලිකරණය කිරීමෙන් තෙල් ආනයන මත ඇති රැඳියාව අඩු කළ හැක. එමෙන්ම, අපනයන ප්‍රවර්ධනය සහ විවිධාංගීකරණය කිරීම සඳහා සෘඡු විදේශ ආයෝජන වැඩි වැඩියෙන් ලබාගැනීම කෙරෙහි අවධානය යොමුකිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ. එමෙන්ම, ප්‍රේශණ සඳහා ද විවිධීකරණය සිදුකරමින් අඩු දක්ෂතා ඇති කම්කරු මූලික ගමන් මාර්ගවලින් ඉහළ දක්ෂතා සහිත ක්ෂේත්‍ර වෙත යාමත්, නව රටවල් වෙත විහිදීමත් කළ යුතුය.
අවසන් වශයෙන්, මූල්‍ය හා ආර්ථික ස්ථායීකරණය ශක්තිමත් කිරීම සඳහා ප්‍රාථමික අතිරික්තය පවත්වා ගැනීම, විදේශ විනිමය සංචිත වැඩි කිරීම සහ ස්වාධීන මූල්‍ය ආයතන පිහිටුවීම වැදගත් වේ. ඒ සමගම, දිගුකාලීනව බලශක්ති හා ආහාර ගබඩා පද්ධති සහ ජාතික අර්බුද කළමනාකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුය. ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝගය තෙල් මිල ඉහළ යාමක් පමණක් නොව, බලශක්ති ආනයන, ප්‍රේෂණ සහ අපනයන ආදායම් යන අංශවලින් එකවර එල්ලවන ත්‍රිත්ව බාහිර කම්පනයකි. එබැවින්, ප්‍රතිපත්ති, ප්‍රතිචාර බලශක්ති, විදේශ අංශය සහ කම්කරු වෙළෙඳපොළ අතර සම්බන්ධීකරණය කරමින් ක්‍රියාත්මක කළ යුතුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd